අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ගරුත්වය අත්‍යවශ්‍ය සාධකයක් | දිනමිණ

අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ගරුත්වය අත්‍යවශ්‍ය සාධකයක්

නෙල්කා මැදගෙදර

අගවිනිසුරු ජයන්ත ජයසූරිය

සක්‍රීය සහ බලාත්මක අධිකරණ පද්ධතියක් ඇතිකරලීමට නම් අධිකරණය කෙරෙහි ඇති ජනතා විශ්වාසය සහ ගරුත්වය අත්‍යාවශ්‍ය සාධකයක් වන බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැසීය.

එම ගරුත්වය සහ විශ්වාසය ඇතිකරලීම සඳහා වඩා හොඳ නඩු තීන්දු ලබා දීම බියකින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීම ඇතුළු කාර්යයන් මඟින් විනිසුරුවරුන් ද කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරු ලෙස පත්වූ ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීම සඳහා ඊයේ (15) උපරිමාධිකරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති නිල උත්සවයේදී සිය නිල දේශනය පවත්වමින් ඒ මහතා මේ බව කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසාධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම නිල උත්සවය පැවැත්විණි.

එහිදී සිය දේශනය පවත්වමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ ජනතා විශ්වාසය කඩවන පරිදි එක් විනිසුරුවරයකු හෝ කටයුතු කළහොත් එය අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි හානියක් වන බවය.

සිය කටයුතු කිරීමේදී විනිසුරුවරුන් විවෘත මනසකින් සහ බියකින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බව ඒ මහතා කීය. නීතිය හා සාමය මත පවතින ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා එය වැදගත් වන බව අගවිනිසුරුවරයා කීය.

සමාජයක යහ පැවැත්මට නිදහස, සාමය, නීතිය සහ යහපාලනය අත්‍යාවශ්‍ය වන බව අගවිනිසුරුවරයා කීය.

නීතිපති දප්පුල ද ලිවේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද මෙහිදී දේශනා පැවැත්වූහ.

නව අදහස දක්වන්න