ක්‍රීඩාවට යොමු කිරීමෙන් අනාගත පරපුර අන්තවාදයෙන් මුදාගන්න පුළුවන් | දිනමිණ

ක්‍රීඩාවට යොමු කිරීමෙන් අනාගත පරපුර අන්තවාදයෙන් මුදාගන්න පුළුවන්

සිතාරා සේනානි

පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසු සමාජයේ විශාල හිඩැසක් හා කඩාවැටීමක් සිදුව තිබෙන නිසා ජනතාව තුළ ක්‍රමානුකූලව විශ්වාස ඇතිවන අන්දමින් කටයුතු කළ යුතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම සිද්ධියේදී, ලැබී තිබූ තොරතුරු අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස සමාජයේ විශ්වාසය බිඳ වැටීමට හේතුවී තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.

පාසල් ආරම්භ කළ ද නගරබද පාසල්වල සිසුන්ගේ පැමිණීම වැඩිවන්නේ විශ්වාසය වැඩිවන තරමට බැවින් ක්‍රමානුකූලව එම විශ්වාසය සමාජය තුළ ගොඩනැඟිය යුතුව ඇතැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී 1983 ඇතිවූ කෝලාහලවලින් පසු පාසල් විවෘත කළ විට නගරබද පාසල්වල සිසුන්ගේ පැමිණීම 75%ක් හෝ 85%ක් වීමට සති දෙකක පමණ කාලයක් ගතවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888 දෙනකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්කිරීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ 13දා පැවැති උත්සවයේදී ය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අද පාසල් ක්‍රීඩා අංශයට මේ ගුරුවරුන් බඳවා ගැනීම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂ දිනයක්. මම අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ තීරණය කළා පාසල් අධ්‍යාපනය කියන්නේ විභාගවලට ඉදිරිපත් වීම පමණක් නොවේ කියලා. පාසලකදී ක්‍රීඩාවට, කලාව ආදී හැම දෙයකට ම ඉඩක් තිබිය යුතුයි. ඒ නිසා විශේෂයෙන් ම පාසල් ක්‍රීඩා අංශය ආරම්භ කර එදා පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගන්න ක්‍රියා කළා. සෑම ආණ්ඩුවක් ම මේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කළේ නෑ. 2015දී අධ්‍යාපන අමාත්‍යාංශය අකිල විරාජ් කාරියවසම් මහතා භාර ගත් අවස්ථාවේ ඒ බඳවා ගැනීම් ආරම්භ කරන්න තීරණය කළ නිසා තමයි අද මේ විශාල සංඛ්‍යාවක් බඳවා ගෙන තිබෙන්නේ. විශේෂයෙන් ම අධ්‍යාපන ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා මේ කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන් ම එක් එක් අංශවල පරිවර්තනයක් සිදුකර තිබීම ගැන. අඩුපාඩුකම් තිබෙන අංශවල එම අඩුපාඩු සපුරා දීමට ක්‍රියා කර තිබෙනවා. අලුත් අංශ ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් ම අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයට කැපවී තිබෙනවා.

අවුරුදු 13ක අධ්‍යාපනය වැඩපිළිවෙළට සාමාන්‍ය පෙළින් පසු කණ්ඩායම් හඳුනා ගත යුතුයි. එහිදී ඒ හැම දෙනාම විශ්වවිද්‍යාලයට ඇතුළුවන විෂයයන් හදාරයි කියලා බලාපොරොත්තුවක් තියන්න බෑ. ඒ නිසා අපි විශේෂයෙන් ම අනෙක් අංශ දිහා බැලිය යුතුයි. එහි එක අංශයක් වන්නේ ක්‍රීඩාව දියුණු කිරීමයි. කලාව දියුණු කිරීම තව අංශයක්. එදා අපි ආරම්භ කළේ විශේෂයෙන් ම විෂය මාලාව කියන්නේ කුමක්ද කියලා සිතා බලායි. විෂය මාලාව මේ විෂයයන්ට විතරක් සීමා නොකර විෂය බාහිර ක්‍රියාකාරකම් දියුණු කරන්න කටයුතු කළා. ඒ අනුව ක්‍රීඩා අංශය, කලා අංශය මෙන්ම වෙනත් පාසල් සමාජ ඒ සියල්ල ම දියුණු කළා. ඒ නිසා තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනෙකුත් ක්ෂේත්‍ර ගැන උනන්දුවක් දියුණුවක් දක්වන්න පටන් ගත්තේ. විෂය මාලාව කියන්නේ ක්‍රීඩා, කලා ආදී මේ සියල්ලමයි. අපි දැනගන්න ඕනා මේවා විෂය මාලාවේ ම කොටසක් ලෙස සලකන්න. තවමත් සමහරු සලකන්නේ ඒක විෂය මාලාවෙන් බාහිර දෙයක් ලෙසයි. ඒක බාහිර නෙවෙයි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සියල්ල ම විෂයයන් ලෙස පිළිගෙන ක්‍රියා කළ යුතුයි. නැතිනම් අපට අවුරුදු 13ක අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න බෑ.

ක්‍රීඩා කරන අයටත් අද හොඳ ආදායම් මාර්ග තිබෙනවා. අපේ කාලයේ ඒවා තිබුණේ නෑ. අපි ඒවා කළේ වෙනත් දේවල් කරන අතරයි. හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් වුණොත් යම් කිසි මුදලක් උපයා ගන්න පුළුවන්. හොඳ ගායකයෙක් වුණොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙම තමයි අපි බලන්න ඕනෑ අපේ ක්‍රීඩාව දියුණු කරලා ඒ අයටත් ආදායම් ලබා දෙන්න. අකිල විරාජ් ඇමැතිතුමා මේ කරන වැඩපිළිවෙළ වගේම පාසල්වලට අලුත් තාක්ෂණය ලබා දෙන්න, ටැබ් ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. මම අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී එක වසරක ගියා ඔබ්සවර් පුවත්පතේ වාර්ෂික පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියා බලන්න. එයට ඉදිරිපත්වුණේ වෙන කවුරුත් නෙවෙයි අර්ජුන රණතුංග ඇමැතිවරයා. එතුමා පසුව අපේ ජාතික ක්‍රිකට් කණ්ඩාමත් ඉදිරියට ගෙන ගියා.

විශේෂයෙන් ම අද තිබෙන තත්ත්වය අනුව මම මේ ක්‍රීඩා ගුරුවරුන්ටත්, අධ්‍යාපන අමාත්‍යාංශයටත් කියන්න කැමතියි, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවේ යොදවා ගන්න, නැතිනම් කලාවේ යොදවා ගන්න කියලා. එසේ ක්‍රීඩාවේ යෙදෙනවා නම්, කලාවේ යෙදෙනවා නම් අන්තවාදී අදහස්වලට යන අවස්ථා බොහෝ දුරට අඩු වෙනවා.

අපි පාසල් ගිය කාලයේ අන්තවාදී අදහස්වලට වෙලාවක් තිබුණේ නෑ. පාසලෙන් පසු ක්‍රීඩා කළා, නැතිනම් ගෙදර කළා. සති අන්තයේත් කොහේ හෝ ගොස් ක්‍රීඩා කළා. සමහරු සංගීතය කළා. සමහරු සංගීත කණ්ඩායම් ඇති කළා. ඉතින් වෙන අන්තවාදී අදහස් ලබා ගන්න වේලාවක් තිබුණේ නෑ. ඒ නිසා මම කියන්න කැමතියි අද තිබෙන තත්ත්වය අනුව අන්තවාදී අදහස් ඉවත් කරන්න තිබෙන එක මාර්ගයක් තමයි පාසල් තුළ ක්‍රීඩාව, කලාව සහ වෙනත් විෂය බාහිර අංශ දියුණු කිරීම.

ඇත්ත වශයෙන් ම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ දක්ෂතා තිබෙනවා. ඒ දක්ෂතා ඉදිරියට ගෙන යන්න ඔබ සියලුදෙනාට ම වගකීමක් තිබෙනවා. මේ රටේ තිබෙන අන්තවාදය අනාගත පරපුරෙන් ඉවත් කරන්න නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවට යොමු කර, ඔවුන්ගේ එම දක්ෂතා ඉහළ නැංවිය යුතුයි.

විශේෂයෙන් ම පළාත් අමාත්‍යාංශවලටත්, ජාතික අමාත්‍යාංශයටත් පුළුවන් විවිධ ක්‍රීඩා තරග දිස්ත්‍රික් මට්ටමින් තියන්න. ඒවාට සහභාගී වන අයට තෑගි ලබා දෙන්න. ඒ විදිහට තමයි වැඩි වැඩියෙන් පාසල්වල ක්‍රීඩා කරන සංඛ්‍යාව දියුණු කළ යුතු වෙන්නේ.

පාසල්වල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ කණ්ඩායම, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් කණ්ඩායම සඳහන් කරනවා. ඒ වගේම ක්‍රීඩාවලට සහභාගී වන සංඛ්‍යාවත් දාන්න ඕනෑ. ඒ නිසා විදුහල්පතිවරුන් ඒ අංශයත් බලන්න ඕනෑ. ඒ නිසා පත්වීම් ලබන මේ සියලු ගුරුවරුන් මේ අරමුණු සමඟ තමන්ගේ පාසල්වලට ගොස් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අපි දැන් පාසල් විවෘත කරලයි තිබෙන්නේ. ගම්බද පාසල්වලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව වැඩිවෙනවා. ඇත්තවශයෙන් ම ක්‍රමානුකූලව තමයි නගරබද පාසල්වලට ළමයින් පැමිණෙන්නේ. මට මතකයි මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ක්‍රියා කරද්දී 1983 කෝලාහලවලින් පසු පාසල් විවෘත කළාම සති දෙකක් ගියා 75%ක්, 85%ක් නගරබද පාසල්වලට එන්න. ඒ එන්නේ විශ්වාසය වැඩිවෙන්න වැඩිවෙන්නයි. ඉතින් අපි ඒකට අවස්ථාව දීලා අපේ වැඩකටයුතු කරගෙන යමු. අපි ඒ විශ්වාසය අපි ඇති කරන්න ඕනෑ. ඒ විශ්වාසය ඇතිකරන ක්‍රම කුමක් ද කියා අපි හිතන්න ඕනෑ. මොකද මේ සිද්ධියේදී, ඒ ලැබුණු තොරතුරු අනුව ක්‍රියා නොකිරීම ගැන අද සමාජයේ විශාල වශයෙන් විශ්වාසය කඩාවැටී තිබෙනවා. රජය කෙරෙහි තිබෙන විශ්වාසය කඩා වැටී තිබෙනවා. දේශපාලනඥයන් කෙරෙහි තිබෙන විශ්වාසයත් කඩා වැටී තිබෙනවා. ඇත්ත වශයෙන් ම සමාජය අතරමංවෙලා වගේ බලන්නේ මේ මොකක්ද වෙන්නේ කියලා.

මීට පෙර දකුණේ තිබුණ ත්‍රස්තවාදයත්, උතුරේ තිබුණ ත්‍රස්තවාදයත් අපි එකඟ නොවුණත් යම්කිසි අරමුණක් සඳහා තමයි ඒ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ. දැන් අහනවා මොකක්ද මේ ත්‍රස්තවාදය කියලා? විශාල හිඩසක්, විශ්වාසය කඩාවැටීමක් කියන දෙකම මේ නිසා රටේ සිදුව තිබෙනවා. අපි ඒක පිළිගන්න ඕනෑ. ඒක පිළිඅරගෙන ජනතාවගේ විශ්වාසය ඇති වෙන විදිහට අපි ක්‍රමානුකූලව ක්‍රියා කරන්න ඕනෑ.

මෙම සති අන්තයේත්, ගිය සතියේත් අපේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණා. මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපි ඉල්ලීමක් කළේ වෙසක් පොහොය පිළිබඳ තීරණය කරන්න කියලා. විශේෂයෙන් ම වෙසක් පොහොය පවත්වන පන්සල් හා ප්‍රදේශයේ විහාරස්ථාන සමඟ සාකච්ඡා කරන්නත්, වෙසක් දන්සල්, තොරණ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගෙන ඒ අනුව ක්‍රියා කරන්නත්.

දැන් ඒ පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේ තීරණ දී තිබෙනවා. ඒ තමයි පන්සල්වල ආමිස පූජා පවත්වන්න. ඒ නිසා අපේ ආණ්ඩුවේ තීරණය මහානායක ස්වාමීන් වහන්සේලාගේ තීරණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමයි. ආණ්ඩුවේ යාන්ත්‍රණයත්, එම යාන්ත්‍රණයට ඇතුළත් ආරක්ෂක ක්ෂේත්‍රයත් ඒ වැඩකටයුතුවලට ආධාර උපකාර කරන්නත් කටයුතු කරනවා.

බෞද්ධ සියලුදෙනා බලාපොරොත්තු වෙන්නේ පන්සල්වලට පැමිණ මල් පූජාකර ඒ වැඩකටයුතු කරන්නයි. එයින් කොටසක් සිල් ගන්නත් තීරණය කරයි. කෙසේ හෝ ආමිස පූජා පැත්ත අමතක කරන්න එපා. මොකද වෙසක් පොහොය පෘතුගීසීන්ටවත් නතර කරන්න බැරි වුණා. අප සියලුදෙනා ම වෙසක් පෝයට සම්බන්ධ වී අපේ බෞද්ධ ආගමික කටයුතුවල යෙදෙමු කියලා මම කියන්න කැමතියි. ආණ්ඩුවක් හැටියට අපි සම්පූර්ණයෙන් ම මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඒ තීරණවලට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.

තොරණ, දන්සල් ගැන ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමහර තැන්වල තොරණ හා දන්සල් පවත්වා අනෙක් ස්ථානවල ඒවා කල් දාන්න තීරණය කර තිබෙනවා. ඒ නිසා ඒ වැඩකටයුතුත් ආරක්ෂක අංශ කියූ හැටියට ම සිදුවෙනවා.

ඒත් අපි වෙසක් උත්සවය කල්දාන්න වුවමනා නෑ. වෙසක් උත්සවය නවත්වන්න වුවමනා නෑ. විශේෂයෙන් ථෙරවාදය ආරක්ෂා වුණේ ශ්‍රී ලංකාවේ. අපේ මහානායක ස්වාමීන් වහන්සේලා පොදු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිවේදනය ක්‍රියාත්මක කරන්න අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුවේ නොවන අංශත් ඒ සහයෝගය ලබා දෙනවා.

සමහර අය විටින් විට මේ පිළිබඳ කටකතා යවයි. ඒත් අපේ මහානායක ස්වාමීන් වහන්සේ මේ ගැන දැනුම් දෙයි. ඒ වගේම මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලීමක් කර කළා බ්‍රහස්පතින්දා, සිකුරාදා වනවිට මීට අදාළ ආරක්ෂක තත්ත්වය ගැන ප්‍රකාශයක් රටට ලබා දෙන්න කියලා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-

මම ඉතාම සතුටට පත් වෙනවා විෂය භාර ඇමැතිවරයා වශයෙන් අද මේ අවස්ථාව උදා කර ගැනීමට හැකිවීම ගැන. මෙය දිගු සටනක ප්‍රතිඵලයක්. ඇත්තෙන් ම මීට වසරකටත් පෙර තමයි අපි තමුන්නාන්සේලාව ඒ බඳවා ගැනීමට අවශ්‍ය ක්‍රියාදාමය සිදුකළේ. නමුත් අපට විවිධ හේතු සහ බාධක නිසා අපට පුළුවන්කමක් ලැබුණේ නෑ මේ කටයුත්ත ලේසියෙන් කරන්න. නමුත් ඒ අභියෝගාත්මක කටයුත්ත අද යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. අද මේ කටයුත්ත කරගන්න හැකි වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසයි. එතුමා ඒ සහයෝගය නොදුන්නා නම් මට ඇමැතිවරයා ලෙස මා කොපමණද සටන් කළත් මේ කටයුත්ත යථාර්ථයක් බවට පත් කර ගන්න මට හැකි වෙන්නේ නෑ. මේ සඳහා අනේක විධ බාධා ආවා.

අපට වුවමනා වුණේ අධ්‍යාපනය දියුණු කරන්න. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය දියුණු කරමින් යනවිට, භෞතික සම්පත් දියුණු කරමින් යනවිට ඒ වගේම හැම සිසුවකුටම කුමන හෝ ක්‍රීඩාවක් අනිවාර්ය කරලා ඒ අයට ශක්තිමත්ව ඒ ක්‍රීඩාව කර ගෙන යන්න අවශ්‍ය පදනම හදා දෙන්නයි. මේ සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් විධිමත්ව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් අපට තිබුණේ නෑ. සමහර අයගෙන් විවිධ චෝදනා ආවා. දැනටත් සමහර මාධ්‍ය අපට පහර දෙනවා. මට නම් ප්‍රශ්නයක් නෑ. ගතවු අවුරුදු හතර ඇතුළත අපි හරි දේ කර තිබෙනවා.

මේ ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදය හරියට දන්නේ නැතිව සමහර අය පහර දෙනවා. සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න තිබෙන බව කියනවා. සමහර අය විවිධ කාරණා කියනවා. මේ අද බඳවා ගෙන තිබෙන්නේ ක්‍රීඩාව ඇඟේ තිබෙන මේ රටේ කුමන හෝ ක්‍රීඩාවක් කරලා ජාතික මට්ටමේ පළමුවෙනි, දෙවැනි, තුන්වැනි හෝ දිස්ත්‍රික් මට්ටමේ පළමුවැනි හෝ දෙවැනි ස්ථාන ගත් අය පමණයි. මම අහනවා මීට වැඩිය තිබෙන්න ඕනෑ සුදුසුකම මොකක්ද කියලා. මේ 3888ක් බඳවා ගනිද්දී මගේ දිස්ත්‍රික්කයෙන් ඉන්නේ හාරසිය ගණනයි. හැම දිස්ත්‍රික්කයකින් ම බඳවා ගෙන තිබෙන්නේ හැකියාව තිබෙන, දක්ෂතාව තිබෙන අයයි. මෙතැන ඉන්නවා ජාත්‍යන්තර මට්ටමේ කුසලතා තිබෙන අය. ජාතික මට්ටමේ විවිධ දක්ෂතා දැක්වූ අය මෙතැන ඉන්නවා.

ඒ අයට අතීතයේ පුළුවන්කමක් තිබුණේ නෑ තමන් ක්‍රීඩාවේ කොපමණ ඉදිරියට ගියත් තමන්ට මේ වගේ පත්වීමක් ලබා ගන්න. ඉතිහාසයේ සමහර විට සාමාන්‍ය පෙළින් වගේ බලා පත්වීම් දුන්නාට ක්‍රීඩාව ප්‍රධාන සුදුසුකමක් සේ සලකා පත්වීම් ලබා දුන්නේ නෑ. අපි සාමාන්‍ය පෙළ සුදුසුකමත් බැලුවා, එයට අමතරව ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය දීමටත් වගබලා ගත්තා. ඒ නිසා මෙතරම් පත්වීම් ප්‍රමාණයක් කවදාවත් ඉතිහාසයේ මේ ක්ෂේත්‍රයේ දී නෑ. ඒ නිසා මේක විප්ලවීය තීන්දුවක්.

මේ 3888 ලංකාව පුරා විසිරී ගොස් කටයුතු කරන විට පාසල් ක්‍රීඩා අංශ කොපමණ දියුණු කරන්න ලැබෙනවා ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් සිදුකරනවා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය, සුරක්ෂා රක්ෂණාවරණය, ළඟම පාසල හොඳම පාසල ආදී බොහෝ වැඩසටහන් ආරම්භ කළා. උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීම මේ වනවිට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය බඳවා ගැනීම් සිදුකළා. මේවායේ ප්‍රතිඵල එන්න ටිකක් ප්‍රමාද වෙයි. අධ්‍යාපනයේ මුල් තිත්තයි නමුත් ඵලය ඉතා රසවත්. සමහර විට විට අද ගන්න තීන්දුවල ප්‍රතිඵල එන්න තව පරම්පරාවක් ගත වෙන්න පුළුවන්. හැබැයි අපි විශාල වැඩකොටසක් කළා.

සාමාන්‍ය පෙළ විෂයයන් නවයම අසමත් වුණත් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා නම් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ අපි ඒ අයව උසස් පෙළට ගෙන යනවා. විවිධ ක්ෂේත්‍ර 26ක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මේවා අධ්‍යාපනයේ දැවැන්ත වෙනස්කම්. ලෝකයේ අත්දැකීම් එක්ක අපි ඒ වෙනස්කම් කර තිබෙනවා.

පසුගියදා ඇතිවූ සිදුවීම්වලින් පසු සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන, ආරක්ෂක අංශ, බුද්ධි අංශ මේ සියල්ලේ ම අදහස් සැලකිල්ලට ගෙන පාසල් ආරම්භ කරන්න අපි කටයුතු කළා. මේක අමාරු වැඩක්. එළියේ ගොඩක් අය විවේචනය කරද්දී අපි පාසල් ආරම්භ කරන්න තීරණය කළා. පාසල් වසා තබන්න, රට අඩපණ කර තබා ගන්න, සංචාරකයන් එන එක නවත්වන්න, ආර්ථිකය අඩපණ කරන්න තවත් කණ්ඩායම්වලට වුවමනාවී තිබෙන බව අපට පේනවා. සාමාජ මාධ්‍ය ජාලය, පාර්ලිමේන්තුව ගත්තත්, එළියේ කරන සංවාද දිහා බැලුවත් ඒ හැමෝට ම වුවමනාවී තිබෙන්නේ දේශපාලනය කිරීම මිස මේ රට ඉදිරියට ගෙන ගොස් ජනතාව වෙනුවෙන් නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට ඇවිත් වඩකටයුතු ආරම්භ කිරීම නෙවෙයි.

රටේ ආරක්ෂක අංශ ඉතාම කෙටි කාලයකදී වැරදිකරුවන් අල්ලාගෙන රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර තිබියදී මේ වනවිට කටකතා ඇතුළු විවිධ කටයුතුවලින් අද පාසල් පද්ධතිය අඩපණ කිරීමට කටයුතු කර තිබෙනවා. දැන් මාස එකහමාරකට වැඩියි දරුවන් අධ්‍යාපනයෙන් ඈත්වෙලා. මෙහෙම දිගටම යන්න ගියොත් මේ රටේ පාසල් දරුවන් නැවත අධ්‍යයන කටයුතුවලට හුරු කරගන්න තවත් කාලයක් ගත වෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා-

අපේ අණ්ඩුවක් පවතින අවස්ථාවක පාසල් ක්‍රීඩාව නංවන්න ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණේ 1982දී පාසල් ක්‍රීඩකයකු ලෙස සිටියදීයි. මට ඒ අවස්ථාව ලැබුණේ එදා අපට සිටි පුහුණුකරුවන් නිසයි. එදා සිටි පුහුණුකරුවන් මුදලට කටයුතු කළ අය නෙවෙයි. ඔවුන් අපේ ක්‍රීඩා කුසලතා හොඳින් වටහා ගෙන අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. මා ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත් කළේ එවකට අපේ පුහුණුකරු වූ ලයනල් මෙන්ඩිස් මහතායි. එතුමා අද ජීවතුන් අතර නෑ. මා විතරක් නෙවෙයි අරවින්දලා, මුරලිදරන්ලා, මහේලලා, සංගක්කාරලා වැනි ක්‍රීඩකයන් බිහි කළේත් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්. ඒ නිසා මේ පත්වීම් රැකියාවන් ලෙස සලකා කටයුතු නොකරන ලෙසත්, එය සේවයක් ලෙස සලකන ලෙසත් මා මේ පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන්න පුළුවන් එක දරුවකු පාසලකින් බිහි කරන්න පුළුවන් වුණොත් ඒ ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්. අදටත් මේ රටේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් සිටින්නේ පිට පළාත්වලයි. ඒ දරුවන්ගෙන් 10%ක්වත් මේ වනවිට හඳුනා ගෙන නැත්තේ අප සතුව දක්ෂ පුහුණුකරුවන් නැති නිසයි. ඒ නිසා ඔවුන් හඳුනා ගෙන ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ වගකීම නවක ක්‍රීඩා පුහුණුකරුවන් වන ඔබ සතු වගකීමක් වෙනවා. ඒ වගේම විනයවත් ක්‍රීඩක පරපුරක් තැනීමත් ඔබ සතු වගකීමක්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා-

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කර නැවත රටට පැමිණෙන විට ගුවන්තොටුපළේදී මල් මාලා දමා පිළිගන්නවා. අත්පුඩි ගසනවා. ජය ඝෝෂා කරනවා. නමුත් ඒ අයට අද ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පත්වීම් දෙන විට එය ඉවසන්න බැරි අය අහනවා ඇයි ඒ අයට රැකියා දෙන්නේ කියලා. රටට කීර්තියක් ලබා දුන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ පුහුණුකරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන ඇමැතිතුමා ගත් පියවර අප අගය කළ යුතුයි. මෙය හැකියාවට, නිපුණතාවට දුන් රැකියාවක්. රටට අවශ්‍ය ක්‍රීඩක පරපුරක් බිහිකිරීමේ අරමුණ ඇතිවයි මේ පත් කිරීම් සිදුකර තිබෙන්නේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ද අදහස් දැක්වූවා ය.

ඇමැතිවරුන් වන රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහත්වරු ඇතුළු දේශපාලනඥයන් රැසක් ද, අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න