මුදල් දෙපාර්තමේන්තුව ප්‍රසම්පාදන ක්‍රමය වෙනුවෙන් තෙවන වරටත් සම්මානයට | දිනමිණ

මුදල් දෙපාර්තමේන්තුව ප්‍රසම්පාදන ක්‍රමය වෙනුවෙන් තෙවන වරටත් සම්මානයට

මහා භාණ්ඩාගාරය යටතේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශයේ රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධව ප්‍රතිපත්ති, ක්‍රමවේද, නීති හා රෙගුලාසි සහ උපදේශන සේවා සපයනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය දෙපාර්තමේන්තුව වේ. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ, දකුණු ආසියානු රටවල් අතර නව්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හා යහ භාවිතාවන් සඳහා තරඟකාරීව තෝරා ගැනීමෙන් පසු පිරිනමනු ලබන සම්මානය තෙවන වරටත් නොකඩවා දිනා ගනිමින් රටට මහත් කීර්තියක් අත් කර දී ඇත.මෙවර 2018 වර්ෂය සඳහා වූ සම්මාන ප්‍රදානය සිදු කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 22 සිට 24 දක්වා භූතානයේ තිම්පු නුවර පැවති හයවන ආසියානු කලාපීය ප්‍රසම්පාදන සමුළුවට සමගාමීවය. මෙවරද සම්මාන ප්‍රදානය සදහා සත්කාරකත්වය දරනු ලැබුවේ ලෝක බැංකුව හා ඊට අනුබද්ධිත අයි-නෙට් (i-net) ආයතනයයි. මෙවර සම්මාන ප්‍රදානයේදී සළකා බලන ලද්දේ සාමාජික රටවල් විසින් සිය ප්‍රසම්පාදන කටයුතු සඳහා යොදා ගන්නා ලද නව්‍ය හා තත් කාර්ය ක්‍රමවේදයන් වේ.2018 වර්ෂය සඳහා වූ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී, ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 08 කින් ලද ඉදිරිපත් කිරීම් ගණනාවක් සළකා බලන ලදී. “රාජ්‍ය අංශයේ පොදු යටිතල පහසුකම් ප්‍රසම්පාදනයේ ප්‍රමාදයන්” යන මැයෙන් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊ.ඒ. රත්නසීල මහතා විසින් ඉදිරිපත් කළ සිද්ධි අධ්‍යනය, ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය.

යටිතල පහසුකම් සම්බන්ධ රජයේ ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා මෑතකදී හඳුන්වාදුන් ප්‍රධාන පියවර පිළිබඳ මෙම සිද්ධි අධ්‍යනයෙන් අවධානය යොමු කොට තිබේ. තාක්ෂණික පිරිවිතර, සැලසුම්, ප්‍රමාණ පත්‍රයන් හා යථාර්තවාදී පිරිවැය ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ප්‍රසම්පාදන කාල සටහන් වලට අනුගත වීමේ වැදගත්කම හා ලංසු ලේඛනවල නිවැරදි බව හා සම්පූර්ණ බව යන පුළුල් පරාසයක ගැටළු විසඳීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. මේ සඳහා හඳුන්වා දුන් ප්‍රසම්පාදන ක්‍රමවේද වන්නේ ලංසු ඉදිරිපත් කිරීම සඳහා දෙනු ලබන අවම කාල සීමාව සංශෝධනය කිරීම, ප්‍රසම්පාදන සැලැස්මට අනුගත වීම, අභියාචනා ක්‍රියාවලිය වේගවත් කිරීම, නියමිත කාලයේදී කොන්ත්‍රාත් ප්‍රදානය, කල්තබා සූදානම් වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය කලින් ආරම්භ කිරීම හා රාජ්‍ය ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් ප්‍රකාශයට පත් කිරීම යනාදිය වේ.

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊ.ඒ. රත්නසීල මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ ප්‍රධාන කරුණු පහත සඳහන් පරිදි වේ.

රාජ්‍ය පිරිවැය සැළකිය යුතු මට්ටමින් ඉහළ අගයක් ගන්නා බැවින්, අනවශ්‍ය ප්‍රමාදයන් ඇති වීම මගින් රටේ සමස්ත ආර්ථිකයට දරුණු අහිතකර බලපෑම් එල්ල වේ. එබැවින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙහි කාර්යක්ෂම වර්ධනයක් ලඟා කර ගැනීමට මේ වන විට හදුන්වා දී ඇති පුළුල් ක්‍රියාමාර්ග මගින් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව සම්පත් හා කාලය ඉතුරු කර ගැනීම මගින් සමස්ත ආර්ථිකයට හිතකර බලපෑමක් මෙමගින් ඇති කරනු ඇත. එමෙන්ම කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අමතරව, මින් පෙර නොසලකා හරිනු ලැබ තිබූ විභවතාවයෙන් යුතු පුළුල් පරාසයක ලංසුකරුවන් අතර යහපත් තරඟකාරීත්වයක් ඇති කිරීම යන වෙනත් කරුණු ද ඇතුලත් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ද නව ක්‍රියාමාර්ග මගින් හැකියාව ලැබී ඇත. නව ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අස්ථිත්වයන්ට සහය වීම සඳහා දෙපාර්තමේන්තුව තුල සේවා සැපයුම් කවුළුවක් ද ස්ථාපිත කරන ලදී. මේ වන තෙක් මෙම සේවා සැපයුම් දෙපාර්තමේන්තුවට ලැබුණු විවිධ විමසුම් මත පදනම්ව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදනයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට ඉවහල් වන නව ක්‍රියාමාර්ග අදාළ කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රසම්පාදන අස්ථිත්ව සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය කරන ලදී.

පෙර සඳහන් කළ අන්දමට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින්, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නිසි කලට සම්පූර්ණ කිරීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයන් ලෙස වැදගත් අංශ ගණනාවක්ම හඳුනා ගන්නා ලදී. මෙම අභියෝග ජය ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ද අදාළ පාර්ශ්වකාර සංවිධාන හා සාකච්ඡා කොට හඳුනා ගන්නා ලදී. මෙම ගැටළු විසදීම සඳහා රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අතිරේක කිහිපයක් නිකුත් කිරීමට අමතරව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහන යටතේ USAID (STAIR Project) කෙටිකාලීන සහයෝගිතා ව්‍යාපෘතිය හා එක්ව පුහුණුකරුවන් පුහුණු කිරීම (TOT) ,රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් (PPP), කොන්ත්‍රාත් පරිපාලනය හා ව්‍යාපෘතිය කළමනාකරණය යනාදී වශයෙන් රාජ්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් මාලාවක් ද සංවිධානය කරන ලදී. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ආසන්න වශයෙන් ප්‍රසම්පාදනයට සම්බන්ධ 4000 ක් පමණ නිලධාරීන් සඳහා පුහුණුව ලබා දෙන ලදී.

විවිධ පාර්ශවකරුවන්ගෙන් ලද යහපත් ප්‍රතිචාර විමසා බැලීමේදී නව ක්‍රියාමාර්ග සාර්ථකව අදාළ කර ගැනීමේ නිදර්ශන මේ වන විටත් විද්‍යාමානව පවතී. නව ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව අදාළ කර ගැනීම සඳහා ප්‍රසම්පාදන අස්ථීත්ව අතර පවතින උනන්දුව ඉහළ යමින් පවතින අතර රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ඉහත සඳහන් කළ අන්දමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍යප්‍රසම්පාදන ක්‍රියාවලියේ විශ්වාසීභාවයද සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස් තිබේ. මෙම භාවිතාව අනෙක් රටවල්වලද තිරසාරාත්මක පදනමෙන් කලාපීය අන් රටවලද ක්‍රියාත්මක කළ හැකි බව සංවිධායකයන්ගේ මතය විය. මේ අනුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් වැදගත් ගැටළු ගණනාවක්ම හඳුනාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවයෙන් දෙනු ලැබූ විසඳුම් බොහෝ රාජ්‍ය සංවිධාන මගින් හොඳින් පිළිගනු ලබන බවට සනාථ වී තිබේ. විශේෂයෙන්ම ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍ය ප්‍රසම්පාදනය තුළ විශ්වසනීයත්වය හා විනිවිදභාවය ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ඉහත ක්‍රියාකාරකම් වලින් උගත් ප්‍රධාන පාඩම වන්නේ රාජ්‍ය ප්‍රසම්පාදනය තුළ රාජ්‍ය අංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර අඛණ්ඩ සබඳතාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි . මෙමඟින් ඉහත සඳහන් කරන ලද ගැටළු ගණනාවකටම කඩිනම් විසඳුම් ලබා දීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ හා සමගාමීව, ප්‍රසම්පාදනය ආශ්‍රීත රෙගුලාසි පිළිබඳව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් විසින් රාජ්‍ය ප්‍රසම්පාදනය හා ආශ්‍රීත ක්‍රියාකාරකම්වල නියුතු රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පිරිස් වල අවබෝධය ඉහළ නැංවීම තුලින් මහඟු දායකත්වයක් ලබා දී ඇත.

ජයසිරි මුණසිංහ


නව අදහස දක්වන්න