විසි එක්වන සියවසේ දී එක් තීරයක් එක් මාවතක් කලාපයේ රටවල ආර්ථික සංවර්ධනයේ ගමන් මඟ | දිනමිණ

විසි එක්වන සියවසේ දී එක් තීරයක් එක් මාවතක් කලාපයේ රටවල ආර්ථික සංවර්ධනයේ ගමන් මඟ

මේ වන විට චීන ජනාධිපති ෂින් ජින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ “එක් තීරයක් එක් මාවතක්” දෙවන රාජ්‍ය තාන්ත්‍රික සමුළුව පසුගියදා ආරම්භ කෙරිණි. එහිදී සේද මාවතේ ආර්ථික තීරය හා විසි එක්වන සියවසේ නාවුක සේද මාවත සියලු රාජ්‍යයන් එකමුතුව ගොඩ නැගීම සඳහා ඔහු අවධාරණය කළ අතර එම සමුළුව අමතා ඉදිරි ක්‍රමෝපායන් සහ සහයෝගීතාව පිළිබඳ ද අවධාරණය කෙරිණි.

2013 වර්ෂයේ දී චීන ෂින් ජින් ජනාධිපතිවරයා මුල්වරට චීනයේ “එක් තීරයක් එක් මාවතක්” සංකල්පය හඳුන්වාදීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණු බව පෙනේ. මෙයින් රටවල් අතර ශ්‍රමය, තාක්‍ෂණය, වෙළෙඳාම, සංස්කෘතිය හා කලාව එකිනෙකාට ගෞරවය වන පරිදි හුවමාරු වීම අපේක්‍ෂා කළ අතර, මෙම වසර හතරක කාල පරිච්ජේදයේ දී විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.

වසර දෙදහසකට එපිට යූරෝ ආසියාවේ ධෛර්යමත් ජාතීන් ප්‍රධාන ශිෂ්ටාචාරයන් වෙළෙඳ හා සංස්කෘතික වශයෙන් සම්බන්ධීකරණ වෙළෙඳ තීරයන් කිහිපයක් හඳුනාගෙන තිබේ. එම වෙළෙඳ තීරයන් ප්‍රධාන වශයෙන් ආසියාව, යුරෝපය හා අප්‍රිකාව සම්බන්ධ කොට තිබිණි. එම ඵෙතිහාසික සේද මාවත මෙම ප්‍රධාන මහද්වීපයන් සම්බන්ධ කොට තිබිණි. ඒ සම්බන්ධ වන තීරයන් වන්නේ දකුණු සේද මාවත, උතුරු සේද මාවත සහ නෞකා සේද මාවත වශයෙනි. දකුණු සේද මාවත යුරෝපයේ මාර්ගය මධ්‍යම මාර්ගය සහ නැඟෙනහිර මාර්ගය සම්බන්ධ කොට ඇත.

දකුණු තීරයේ සේද මාවත සිටුචාන්වල චෙන්ඩු හරහා යුවාන් සිට මියන්මාරය දක්වා ද, ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ බටහිර ආසියාව, යුරෝපයේ මධ්‍යධරණි ප්‍රදේශයන් ආවරණය වේ. උතුරු සේද මාවත ඉතා වැදගත් වන්නේ ඵෙතිහාසික වශයෙන් වයඹදිග චීනය, මධ්‍යම චීනය සම්බන්ධ කරමින් දකුණු සහ බටහිර ආසියාව මෙන්ම යුරෝපය හා අප්‍රිකාව සම්බන්ධ කරන බැවිනි. නෞකා සේද මාවත ඵෙතිහාසික වන්නේ චීනයේ සිට ලෝකයේ අනෙකුත් කලාපයන් සම්බන්ධ කරන බැවිනි. එහිදී ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් දක්නට ලැබේ. නැඟෙනහිර චීන මුහුදු නැව් මාර්ගය සහ දකුණු චීන මුහුදු නැව් මාර්ගය වශයෙනි. ඒ අනුව ලෝකයේ සියලු මහද්වීපයන් ගොඩබිම් සහ මුහුදු මාර්ගය ඔස්සේ ආවරණය වී තිබිණි.

“එක් මාවතක් එක් තීරයක්” සංකල්පයේ නිර්මාතෘවරයා වන්නේ චීනයේ ජනාධිපති සින් ජින්පින් මහතාය. මුල් වරට මෙම සංකල්පය සේද මාවතේ ආර්ථික තීරය සහ විසි එක්වන සියවසේ නාවුක සේද මාවත එළි දක්වන ලද්දේ 2013 වර්ෂයේ මධ්‍යම හා අග්නිදිග ආසියාවේ රටවල කළ සංචාරවල දී ය.

මෙම ව්‍යාපෘතිය යටතේ ආර්ථික තීරයන් 6ක් චීනය මගින් හඳුන්වා දී තිබේ. එමගින් ආසියාව, යුරෝපය හා අප්‍රිකාව නම් වශයෙන් චීනය, මොංගෝලියාව, රුසියානු ආර්ථික කොරිඩෝව ආවරණය වන අතර නව යූරෝ - ආසියා ගොඩබිම් ආර්ථික පාලම ඔස්සේ චීනය, මධ්‍යම ආසියාව, බටහිර ආසියාව ආර්ථික කොරිඩෝව හරහා ද බංගලාදේශය, චීනය, ඉන්දියාව, මියන්මාරය ආර්ථික කොරිඩෝව හරහා ද චීනය, ඉන්දුනීසියාව, පෙනිසියුලාව ආර්ථික කොරිඩෝව හරහා ද ආර්ථික කලාපයන් හා තීරයන් හයක් හරහා විවෘත වූත් එකිනෙකට අත්‍යන්ත වශයෙන් වාසි සහගත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අපේක්‍ෂිතය.

මෙම එක් තීරයක් එක් මාවතක් සංකල්පයේ මූලික හරයන් පහක් හඳුනාගත හැකිය.

ප්‍රතිපත්ති සම්බන්ධීකරණය - සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රාජ්‍යයන් අතර සම්බන්ධීකරණය මෙයින් අපේක්‍ෂා කරයි.

සම්බන්ධතාව- රේගු සහයෝගීතාවය ගොඩනැගීමෙන් වෙළෙඳ ආයෝජන අවස්ථාවන් මහද්වීපික තුන මැදිකොට ගනිමින් ඇති කිරීම මූල්‍යය සහසම්බන්ධතාව ඇති කිරීම- රාජ්‍යයන් අතර මූල්‍ය සහයෝගීතාවක් ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම සඳහා නව බැංකු පද්ධතියක් ඇති කිරීමට යෝජනා කරයි. කලාපය තුළ කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක් ඇති කිරීම- ඒ තුළින් සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව, පුද්ගල හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, තරුණ හා කාන්තා හුවමාරුව අපේක්‍ෂා කරයි. ජනතාව ජනතාව අතර සහසම්බන්ධතාව ඇති කිරීම - මෙම සංකල්පයේ ප්‍රධාන ප්‍රවාහයන් දෙකක් දැකිය හැකි වේ. එ් සේද මාවතේ ආර්ථික තීරය හා විසිඑක්වන සියවසේ සමුද්‍රීය සේද මාවත වශයෙනි.

සේද මාවතේ ආර්ථික තීරය වශයෙන් ගොඩබිම් මාර්ගය හැඳින්වෙන අතර, එය චීනයෙන් ආරම්භ වී මධ්‍යම ආසියාවේ සිට යුරෝපය දක්වා විහිදී යයි. විසිඑක්වන සියවසේ සමුද්‍රීය සේද මාවත මාර්ගය වශයෙන් හැඳින්වෙන මෙය මුහුදු මාර්ගයෙන් සම්බන්ධ අතර එය ගිණිකොන දිග ආසියාවෙන් ආරම්භ වී අප්‍රිකාව, මැදපෙරදිග හරහා යුරෝපය කරා ළඟා වෙයි. මෙම ක්‍රමයන් දෙක හරහා ලෝකයේ රටවල් 65ක් සම්බන්ධ වන අතර ලෝකයේ ජනගහනය බිලියන 44ක් හා ලෝකයේ ජනගහනයෙන් සියයට 63ක් ආවරණය කෙරේ. එය ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය සඳහා සියයට 29%ක දායකත්වයක් සපයනු ලබයි. මෙම අළුත් මුහුදු හා ගොඩබිම් මාර්ගයන් සම්බන්ධවීම නිසා ලෝකයේ ආර්ථිකය තවදුරටත් පුළුල් ලෙස පිබිදෙන අතර රටවල් අතර ආයෝජනයන් සඳහා වෙළෙඳාම පුළුල්වීම් සඳහා බලපෑම් කරණු ලබයි. එහි වාසිය චීනයට පමණක් නොව අනෙකුත් රාජ්‍යයන් වල ආයෝජනයන්ට හා වෙළෙඳාමටත් බලපානු ලබයි.

මේ සියලු ආයෝජන සඳහා මෑතක දී ස්ථාපනය කරන ලද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසි එක්වන සියවසේ බහු පාර්ශ්වීය සංවර්ධන බැංකුවක් ලෙස කටයුතු කරයි. මෙම බැංකු හරහා ආසියානු කලාපයෙි් සියලු යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍යය, විදුලිබල නිෂ්පාදනය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මාන්ත සංවර්ධනය, විදුලි සංදේශ, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය යන සියල්ල ආවරණය කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා චීනය අමෙරිකානු ඩොලර් බිලියන 100ක් මූලික ප්‍රාග්ධනයක් සිදු කරයි. පළමු අවුරුදු පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 10-15 අතර ප්‍රමාණයක් මෙම ක්‍ෂේත්‍රවල ආයෝජනය කිරීමට අපේක්‍ෂා කරයි.

එක් තීරයක් එක් මාවතක් යටතේ චීන සහයෝගීතාවේ ධාරිතාව

එක් තීරයක් එක් මාවතක් විදේශ ප්‍රතිපත්තිය යටතේ චීනයේ සහ දියුණු වෙමින් පවතින රටවල් අතර ගොඩනැගෙන සම්බන්ධතා වලින් දියුණු වෙමින් පවතින රටවල පවතින කෘෂි කර්මාන්තය, යටිතල පහසුකම් සංවර්ධනය, ඌණ කාර්මීකරණය, නාගරීකරණය, ඌණ දරිද්‍රතාව, ඌණ ශ්‍රම ගුණාත්මකභාවය, සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම ආදී ප්‍රශ්න සඳහා යහපත් විසඳුමක් වන බව මහාචාර්ය ෂුලී පෙන්වා දෙයි.

ඒ අතරම මෙම ව්‍යාපෘතිය යටතේ ජනතාවගේ සම්බන්ධතාව ශක්තිමත් කිරීම මගින් ගැඹුරු ලෙස ආර්ථික හා වෙළෙඳ ක්‍ෂේත්‍රය පුළුල් වීමක් ද අපේක්‍ෂා කරයි. ඒ අතර කලාපයේ රටවල් අතර වටිනාකම් දියුණු කිරීම, කාර්මික තරග කාරීත්වය ඉහළ නැංවීම, නව කර්මාන්ත ඇති කිරීම මෙමගින් අපේක්‍ෂා කරයි.

2017 වර්ෂයේ දී පැවැති සමුළුවේ දී ෂි ජින්පින් මහතා පෙන්වා දෙන්නේ ආර්ථික සංවර්ධනයේ දී කර්මාන්ත ඉතා වැදගත් වන බවත් විවිධ රටවල් වල පවතින කාර්මික ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් ගැඹුරින් කාර්මික සබඳතාව ගොඩනැගීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සබඳතා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, කාර්මික උපකරණ නිෂ්පාදනය, නව කාර්මීකරණය මගින් මහා පරිමාණයේ කර්මාන්ත ඇති කිරීම මගින් ව්‍යාපාරික දියුණුවක් අඛණ්ඩ සංවර්ධනයක් ඇති කළ යුතු බව පෙන්වා දෙයි. මේ සඳහා ද චීනය අනෙකුත් රටවල් සමඟ විදේශීය සබඳතා වැඩි දියුණු කිරීම සිදු කළ යුතු බවත් ඒ සඳහා ආර්ථික තීරයන් උපයෝගී කර ගත හැකි බව පෙන්වා දෙයි. රටවල් අතර කාර්මික තරගකාරීත්වයක් ඇති කිරීම කලාපයේ නිදහස් නිෂ්පාදන හුවමාරුවක් ඇති කිරීම තාක්‍ෂණය සම්පත් හා වෙළෙඳපළ නිදහසේ හැසිරීම මෙමගින් අපේක්‍ෂා කරයි.

එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ විදේශ සම්බන්ධතාවල දී වියට්නාමය, මියන්මාරය, ලාඕසය හා තායිලන්තය වැනි රටවල පසුගිය ව්‍යාපාරවල දී ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගෙන තිබේ. ආසියානු රටවල සාමාන්‍ය ආර්ථික වර්ධනය සියයට 5 ඉක්මවා තිබිණි. ලෝක බැංකු වාර්තාවන්ට අනුව වසර 2005 සිට 2015 කාල පරිච්ජේදයන්වල දී ලාඕසයේ ආර්ථික වර්ධනය සියයට 7.4 ඉක්මවා තිබේ. දළ දේශීය ආදායම ඇ. ඩො 319 සිට 1970 දක්වා ඉහළ ගොස් තිබේ. වියට්නාමයේ දළ දේශීය නිෂ්පාදනයේ සාමාන්‍ය වර්ධනය සියයට 6ක් ද මැලේසියාවේ එය සියයට 6ක් ද මියන්මාරයේ සියයට 7.7 ද වශයෙන් වර්ධනය වෙමින් පවතී.

දැනටමත් ඉදිවෙමින් පවතින චීන ආසියානු නිදහස් වෙළෙඳ කලාපය සහ කලාපීය සංයුක්ත ආර්ථික සහයෝගීතාව මගින් මෙම කලාපයේ වෙළෙඳාම නිෂ්පාදනය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත. මෙම රටවල ආර්ථිකයන් සියල්ල සහසම්බන්ධ වීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කරන අතර, අන්‍යෝන්‍ය වශයෙන් ශ්‍රම සම්පාදනය තාක්‍ෂණය කර්මාන්ත හා සේවා හුවමාරුව මගින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේක්‍ෂා කරයි. චීනය මෙයින් ලාපයේ සම්බන්ධීකරණය හා පහසුකම් සලසන්නා වශයෙන් අපේක්‍ෂා කරන්නේ ද කලාපයේ ආර්ථික සහයෝගීතාව මගින් කලාපයේ රටවල සමබර සංවර්ධනයක් ඇති කිරීමයි.

ශිනෝ - නේපාල් සහයෝගීතා කාර්මික කලාපය-ලාඕස ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධන කලාපය ආයෝජන හා සංවර්ධන නේපාල කර්මාන්ත කලාපය චීන ජින් ඇන් ටයිම් සමාගම එකතුව සහයෝගිතා රාමුවක් සහිතව ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව ෂිසෝ නේපාල සහයෝගතා කාර්මික කලාපයක් ස්ථාපනය කර තිබේ. එය 2017 වර්ෂයේ දී ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් එක් තීරයක් එක් මාවතක් යටතේ කලාපයේ රටවල් විශාල ප්‍රමාණයක් එක් කරමින් ගොඩනැගෙන නව ආර්ථික සමාජීය හා සංස්කෘතික සහයෝගීතාව ඉදිරි දශකයේ ලෝකයේ ආර්ථිකයේ සුවිසල් පරිවර්තනයක් සිදුවන බව නොවනුමානය.

මෙම වසර හතරක කාල පරිච්ජේදයේ දී යටිතල පහසුකම්වල වර්ධනයක් විශාල වශයෙන් සිදුවී තිබේ. ඒ යටතේ මහා මාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනයෙන් කලාපයේ රටවල් එකිනෙකට සම්බන්ධ කොට තිබේ.

ජකර්තා-බන්ඩුන් අධිවේගී දුම්රිය මාර්ගය, චීන-ලාඕෂ දුම්රිය මාර්ගය, අඩිස් අබාබ් ඩිබ්‍රට් දුම්රිය මාර්ගය, හංගේරියා-සර්බියානු දුම්රිය මාර්ගය හා ග්‍රාවාඩා-පිලිසියස් වරායන් ඒ අතර මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත බව පෙන්වා දෙයි. ඒ යටතේ චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව, චීන-මොංගෝලියානු-රුසියානු ආර්ථික කොරිඩෝව, නව යූරෝ ආසියානු මහද්වීපික පාලම යටතේ අනාගතයේ ගොඩබිම්, මුහුදු සහ අහස් ගමනාගමනයන් එකිනෙකින් සියලු රටවල් සහ කලාපයන් සම්බන්ධ වනු ඇත.

පසුගිය වසර හතරක කාල පරිච්ජේදයේ දී වෙළෙඳාම සම්බන්ධීකරණයවීමෙන් වෙළෙඳාම පමණක් නොව ආයෝජනයන් ද ඉහළ නංවා තිබේ. කලාපයේ ව්‍යාපාරික පරිසරය ද යහපත් තත්ත්වයට පත්ව තිබේ. කසකස්තානය හා මධ්‍යම ආසියානු රටවල පමණක් රේගුවේ භාණ්ඩ නිශ්කාෂණ විශේෂයෙන් කෘෂිකාර්මික භාණ්ඩ සඳහා සියයට 90කින් වේගවත් වී ඇත.

චීනය කෘෂිකාර්මික භාණ්ඩ සඳහා එම රටවලට විවෘතව පවතී. 2014-2016 කාලපරිච්ජේදයේ පමණක් චීනය සහ එක් තීරයක් එක් මාවතක් යටතේ සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනය දක්වා ඉහළ ගොස් තිබේ. චීන ආයෝජනයන් අමෙරිකානු ඩොලර් බිලියන 50ක් පමණ වේ. චීන සමාගම් ආර්ථික සහයෝගීතා කලාපය 56ක් රටවල් 20ක පමණ ස්ථාපනය කර තිබේ. අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක බදු ආදායමක් ද 180,000 පමණ නව රැකියා අවස්ථාවන් ද ඇති කර තිබේ.

චීන ජනාධිපතිවරයා අවසාන වශයෙන් අවධාරණය කරන්නේ චීනයේ “එක් තීරයක් එක් මාවතක්” තුළින් ලෝකයේ සාමය ස්ථාපනය විය යුතු බවත් ලෝකයේ සෞභාග්‍යය ඇති කිරීමත් සියලු රටවල් ආර්ථිකමය වශයෙන් විවෘතභාවයක් ඇති කිරීමත් සියලු ක්‍ෂේත්‍රයේ නව්‍යකරණයක් ඇති කිරීමත් “එක් තීරයක් එක් මාවතක්” තුළින් විවිධ වූ ශිෂ්ටාචාරයන් එක් කිරීමත් වැදගත් වන බවයි.


නව අදහස දක්වන්න