දරුවා පාසලට කැඳවීම | දිනමිණ

දරුවා පාසලට කැඳවීම

ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

අධ්‍යාපනය යනු විශ්වසනීය උද්වේගී කරුණාවන්ත කාර්යයකි. එහෙයින් ඉගැන්වීමේ දී ආදරය අභ්‍යාස කිරීම ඉතා වැදගත්ය. - ජොසේ මාර්ටි

පසුගිය පාස්කු ඉරු දින අන්තවාදීන් විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයත් සමඟ සමස්ත සමාජය කම්පනයට පත් විය. ඉන් භයානක ලෙස මානසික ආතතියට ගොදුරු වූයේ කුඩා දරුවාය. බිය, සැක සහ අපේක්ෂාභංගත්වය විසින් කුඩා මනසේ ගොනු කළ අතෘප්තිමත්භාවය තව බොහෝ කලක් රැඳී තිබෙනු ඇත. අනෙකා සැක කිරීම සහ අවිශ්වාසය අතීතයේ සිට ලාංකික සමාජය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන හැසිරීම් රටාවන්ය. ලාංකිකයාගේ ලේ නහර ඇට මිඳුළු තුළ එකී අසම්මතය කා වැදී ඇත. අනෙකා නොඉවසීම නිදන්ගත රෝගාබාධයක් සේ ඉහමොළ කා දමා ඇත. එකී උන්මාදය ඉවත් කොට දරුවා සුවපත් කිරීමට පාසල සමත් වේ ද?

අතීත සිදුවීම්

ලාංකික දරුවා පාසලින් ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. 1971-1983, 1978 -79 සමයේ පමණක් නොව, සිවිල් යුද සමයේ උතුරු නැගෙනහිර දරුවාට ද පාසල් යාමේ අයිතිය අහිමි විය. අන්තවාදය විසින් ඉස්මතු කරන ප්‍රචණ්ඩත්වය සහ ගැටුම්කාරී තත්ත්වයන් මත දරුවාගේ උදාසීන ප්‍රතිචාරය සමහන් කිරීමට අධ්‍යාපනය සර්වාංග ශික්ෂණ විද්‍යාවක් (holistic pedagogy)ලෙස භාවිත කිරීමට බලධරයෝ සමත්වේ ද?. සැබැවින්ම ලාංකිකයා අතීත ආශ්වාදයේ ජීවත්වෙමින්, අනාගතය දෙස සැක මුසු බියකින් පසුවන, වර්තමානයට ආගන්තුක වුවෙකි. පසු නිදහස් සමයේ සමාජය භින්නව බෙදීයාම සමස්ත දේශපාලනයේ පසුබෑමකි. අධ්‍යාපනය දාර්ශනික ශික්ෂාකාමිත්වයකට ප්‍රවේශ නොවීම සහ එවන් කම්පිත සමාජයක් සුවපත් කිරීමට ගෙවී ගිය කාලයේ පාසල අසමත් වූයේ ද?

1980 සමස්ත සමාජය විවෘත ආර්ථික කෝවේ හොවා ප්‍රතිව්‍යූහගත කොට එකිනෙකා මත නොහික්මුණ තරගකාරිත්වය ආරෝපණය කළ විට අධ්‍යාපනය පරිභෝජන භාණ්ඩයක් ලෙස පරිවර්තනය විය. දරුවාගේ ළමා කාලය සොරා ගනිමින් සංවේ දී අංගෝපාංග සියල්ල කප්පාදු කොට ප්‍රචණ්ඩ සත්ත්වයකු ලෙස වැඩිහිටියාගේ තරග භූමියේ දිගේලි කෙරිණ. තරග විභාග ක්‍රමය මත වසරින් වසර අනෙකා අභිභවා යාමට වෙර දරන දරුවා, යන්ත්‍රයක් මෙන් පෙළ පොත පමණක් වනපොත් කරන ගිරාපෝතකයෙකි. අලුයම අවදි වී රාත්‍රිය වන තෙක් ඒකාකාරී දිවි පෙවෙතකට හුරු වූ ඔහු අනෙකකුගේ කෑදර අරමුණු වෙනුවෙන් හසුරවන රූකඩයකි. පළමු වසරේ සිට පහේ ශිෂ්‍යත්වය දක්වා කාලය සියුමැළි දරුවාගේ මනස රළු පරළු අන්දකාරයේ ගිල්වා දමන වධකාගාරයකි. දරුවා රජයේ පාසලට වඩා පෞද්ගලික උපකාරක පංති වෙත ආකර්ෂණය වීම තරගකාරිත්වය විසින් ජනිත කළ ව්‍යාජ පෙළගැස්මකි. එහෙත් එකී කෑදර අවස්ථා යටපත් කොට දරුවාට පාසල ආකර්ෂණීය ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට රාජ්‍යය සමත්වේ ද? සමනලයා බිහි වන්නේ අවස්ථා හතරක දී බව නොදන්න දරුවා, සැඳෑ අහසේ පාට පාට වලාකුළු පෙළගැස්ම නොදකින දරුවා, වායු ගෝලයේ ජල වාශ්ප මත හිරු එළිය ඇඳි දේදුන්න නොදකින දරුවා, හිමිදිරියේ විහඟ ගී හා වස්සානයේ ගෙම්බන්ගේ තර්ක විතර්ක නොඅසන දරුවා, සැඳෑ අහසේ වුවුලු කුරුලු රටා නොදකින දරුවා, පූර්ණ හඳ නොදකින දරුවා, සමනලයෙක් බත්කූරෙක් පසු පස හඹා නොගිය දරුවා, මඩවළක දඟලන්නේ නැති දරුවා සොබාදහමේ දරුවෙක් නොවේ.

තෝරාගැනීමක් නැති සමාජයක එකෙක් අභිභවා තවකෙක් ඉස්මතු වීමේ තරගකාරිත්වය සෑම අයෙක් ම දිනපතා පිළිපදින ශික්ෂා පදයක් සේ මනසේ මුල් බැස ඇත. අවශ්‍යතාවට වඩා තරගකාරිත්වය විසින් අනෙකාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ චේතනාව මෝදු කර ඇත. සැබවින් ම අනවශ්‍ය අවශ්‍යතාව ඇති කිරීම සඳහා මානව මනසේ දුර්වලතාව ඉතා වැදගත්ය. සමාගම් එම දුර්වලතාව ඉතා හොඳින් තේරුම් ගෙන භාණ්ඩවලට ආදරය කිරීමට මානවයා පොළඹවයි.“දරුවා තරුණ අවදියේම අල්ලාගන්න” (catch them young) එය මංකොල්ලකාරී වෙළෙඳ පොළ යාන්ත්‍රණයේ උදෘත පාඨයයි. ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණයේ පූර්ණ අවධානය කුඩා දරුවන් හා තරුණ පරපුර වෙත යොමු වී ඇත. එහෙයින් මාධ්‍ය සමාගම් ගෝලීය ක්‍රීඩකයන් හා නළුවන් ලෙස ඉස්මතුවෙමින් තාරුණ්‍යය තම මතවාදය තුළට ආකර්ෂණීය ව ඇද ගැනීම සඳහා දඟකාර හා හැඩකාර තරග ඉසව් නිර්මාණය කර නව අවස්ථා හා අපේක්ෂා ජනනය කරයි. ලොව පුරා මාධ්‍ය සමාගම් එහි අනුකාරකයන් ලෙස පරිභෝජන මතවාදය ප්‍රවර්ධනය කොට තාරුණ්‍යය තරගකාරිත්වයට කැඳවයි.

ජනප්‍රිය අධ්‍යාපනයේ අසමතුලිතතාව

ගෝලීය අධ්‍යාපන දත්ත හා වාර්තාවලට අනුව දුප්පත් රාජ්‍යවල දරුවන් මුහුණ දී සිටින වසර සියයක අධ්‍යාපන පරතරය අද පවතින ප්‍රතිපත්ති හා ක්‍රමවේද එලෙස අනුගමනය කිරීමෙන් සමනය කර ගැනීම දුෂ්කර කරුණකි. දරුවන් පාසල් අධ්‍යාපනය තුළ අඛණ්ඩව රැඳී සිටීම, පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම, විචාරාත්මක සාක්ෂරතාවේ ඵලය, ගණිතය හා විද්‍යාව පිළිබඳ කුසලතාව මත මෙම පරතරය සටහන් වෙයි. ජීවන කුසලතා ගැටලු විසඳා ගැනීමේ හැකියාව, විශ්ව දැනුම, අනෙකා සමඟ සහවාසය, සොබාදහම සමඟ සහසම්බන්ධතාව ගැන හැදෑරීම තරගකාරී සමාජයක විචාරාත්මක සාක්ෂරතාවට ඉතා වැදගත්ය. තවමත් පාසල උක්ත සමාජ අගයන් බෙදා හැරීමට සමත්ව ඇත්දැයි විමසීම ඉතා වැදගත්ය.

ගෝලීය අධ්‍යාපන පරතරය

එක්සත් ජාතීන්ගේ වත්මන් තක්සේරුවට අනුව සංවර්ධනය වු හා සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රාජ්‍ය පද්ධතියේ අධ්‍යාපන පරතරය වසර සියයකට ආසන්නය. නැගෙනහිර ආසියාතික රාජ්‍යයන් අධ්‍යාපනයේ ඉහළ ස්ථානයකට පැමිණිය ද අනෙකුත් ආසියානු, අප්‍රිකානු හා ලතීනියානු රාජ්‍යයන් දුප්පත්කම රාජ්‍ය අසමත්භාවය, දේශපාලනික හා වාර්ගික නො සන්සුන්තා, සිවිල් යුද තත්ත්ව වැනි හේතූන් මත තවමත් ගතානුගතිකත්වයෙන් මිදීමට දැඩි වෙහෙසක් දරයි. සංවර්ධනය වූ රාජ්‍යයන් 19 සියවස අවසානයේ මුහුණ දුන් ඇතැම් ගැටලු දුප්පත් රාජ්‍යයන් තුළ උද්ගත ව ඇත්තේ 21 වන සියවසේ දීය. මෙම අභියෝගය ජයගැනීමට අද සිට ක්‍රියාත්මක වුවහොත් එම රාජ්‍ය පද්ධතියට තවත් වසර 85 ක් පමණ බලා සිටීමට සිදුවනු ඇතැයි එම වාර්ථාව පෙන්වා දෙයි.

සැමට අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමට සම අවස්ථා ලබාදීම සඳහා පාසල් පද්ධතිය සංවර්ධනය කරන්නේ කෙසේ ද? වසර සියයක පරතරයේ ස්වභාවය කුමක් ද? පාසල් අධ්‍යාපනය සංවර්ධනය සඳහා අන්තර්ජාතික හා ස්ථානීය අනාගත සැලසුම් මොනවා ද? පසුගිය වසර 200 ක කාලය තුළ ගෝලීය වශයෙන් ලබා ඇති ප්‍රගතියේ පලය නම් ප්‍රජාතන්තවාදය, සමානාත්මතාව, නිදහස හා මානුෂිකත්වය අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමයි. එමෙන්ම වර්තමානයේ පාසල ආගමික, වාර්ගික සහ සංස්කෘතික වශයෙන් කර ඇති කෘත්‍රීම වර්ගීකරණය වහා ඉවත් කොට 21 සියවස සඳහා දැනුම මත පදනම් නිෂ්පාදන ආර්ථිකයක් වෙත පාසල නවීකරණය කළ යුතුය.

අන්තර්ජාතික අධ්‍යාපන සමීක්ෂණ

අධ්‍යාපන පරතරය වසර සියයකට වඩා පසුපසින් සිටින්නේ 18 සියවසේ යටත් විජිත පාලනය ඇති කළ සමාජය ආගමික සහ වාර්ගික පදනම යටතේ බෙදා පාලනය කිරීමේ දේශපාලනික ව්‍යූහය එලෙසම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙනි. එකී නොපෑහීම අනිවාර්යයෙන්ම සමාජ ගැටුම් ඇති කරන වහා ගිනි ඇවිලෙනසුලු පසුගාමී ක්‍රමවේදයකි.

පාසල් අධ්‍යාපනය ශ්‍රේණි ගත කිරීමේ දී අන්තර්ජාතික ඇගයීම් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් වැඩසටහන (OECD’s Pisa tests)අමෙරිකානු පර්යේෂකයන්ගේ (TIMSS tests) සහ ලතීනියානු (TERCE tests)සංවර්ධනය වූ හා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමානයන් සේ සලකා මෙම ඇගයීම් සිදු කර ඇත. වාර්තා ත්‍රිත්වයම දකුණු කොරියාවේ පැවැති ලෝක අධ්‍යාපන සමුළුවේ දී ප්‍රකාශයට පත් විය. මෙම වාර්තා වෙත අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 වසරේ ළඟා විය යුතු අධ්‍යාපන ඉලක්ක නැවත සැලසුම් කළේය.

අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආසියාතික රාජ්‍යයන් පංති කාමරයේ අභියෝග ජයගැනීම සඳහා දක්ෂ හා ආකර්ෂණීය ගුරුවරුන් ආයෝජනය කිරීම, සෑම සිසුවකුගේම අවශ්‍යතා හා දක්ෂතා පරිපූරණය කරගත හැකි ලෙස නව ක්‍රමවේද සැලසුම් කිරීම හා අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය වසරින් වසර වර්ධනය ද කර තිබිණ. දුගී අධ්‍යාපන ප්‍රතිපත්ති හා භාවිතයන් දක්නට ලැබුණ බොහෝ රාජ්‍යයන් ආර්ථික අර්බුද, සමාජ නොසන්සුන්තා හා දේශපාලන අසමත්භාවය නිසා සැලසුම් ගත ඉලක්ක වෙත ළඟාවීමට නොහැකි විය. 2015 සැමට අධ්‍යාපනය සඳහා යුනෙස්කෝ UNESCO සහස‍්‍රක ඇගයීම් වාර්තාව 2015 අපේ‍්‍රල් මස 9 දින ඉදිරිපත් විය. ඉදිරි වසර පහළොව සඳහා නව අධ්‍යාපන ඉලක්ක 9 ක් ද සංවර්ධන ඉලක්ක 8 ක්ද එම වාර්තාවට අතුළත් කර ඇත.

අනාගත ආයෝජනය හා රාජ්‍ය අසමත්භාවය

2015 වසරේ ගෝලීය දූෂණ හා වංචා වාර්තාවට අනුව අධ්‍යාපන අරමුදල් අවභාවිතය නිසා අදාළ ඉලක්ක සපුරා ගැනීමට බොහෝ රාජ්‍යයන් අසමත් විය. 2015 වසරේ නයිජීරියාවේ ඩොලර් මිලියන 10.5 ක් ද, කෙන්යාවේ ඩොලර් මිලියන 8.5 ක් විනිවිදභාවය නොමැතිකම හා වංචනිකව සඟවා ගැනීම නිසා අධ්‍යාපනයේ ප්‍රගතිය වෙනුවෙන් යොදවා ගැනීමට නොහැකි විය. ඇතැම් රටවල අධ්‍යාපනය සඳහා ලබාදුන් අරමුදල් 30% - 50% ක් දූෂණයට ගොදුරු වීමෙන් දුප්පත් සිසුන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනයෙන් මඟ හැරී ගියේය. රාජ්‍යයන් සුළු ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් ලද විදේශ අරමුදල් විනිවිදභාවයෙන් හා පලදායිකව යොදවා සත්‍ය වාර්තා ඉදිරිපත් කළ ද, ඇතැම් රාජ්‍යයන් ඉදිරිපත් කළ වාර්තා අසත්‍ය බව විමර්ෂණයේ දී තහවුරු වී ඇත.

උසස් තත්ත්වයේ අධ්‍යපනයක් ලබාදීම සඳහා ලෝකයේ රටවල් 25 ක් අධ්‍යාපනය සඳහා ආයෝජනය 6% කින් ඉහළ දැමීමට නිර්දේශ කළේය. බංග්ලාදේශය, පකිස්තානය, අතුළු රාජ්‍යයන් 23 ක දරුවන් විශාල සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනය නොලබන අතර අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජනය 3% ට වඩා අවම මට්ටමක පවතී. සමානාත්මතාව හා සිසු අවශ්‍යතා මත පදනම් වූ සම්පත් භාවිතය හා බෙදාහැරීම ඉතා යහපත් පලදායකත්වය උසස් මට්ටමක පවතින රාජ්‍ය අධ්‍යාපනය සඳහා 10% වඩා වැඩි ආයෝජනයක් පවත්වා ගෙන යයි. ඇතැම් රාජ්‍යයන් ප්‍රතිපාදන ලබාදීමේ දී විවිධ ජන කණ්ඩායම්වලට ප්‍රදේශවලට විවිධාකාර පහසුකම් හා නොසලකා හැරීම් දක්වන බව පැහැදිලිව දක්නට ලැබේ.

බොහෝ රාජ්‍යයන් හි ආර්ථික වර්ධනය රඳා පවතින්නේ අධ්‍යාපනය වෙනුවෙන් කරන මූල්‍ය ආයෝජනය ඉහළයාමෙනි. චීනය හා ඉන්දියාව පසු ගිය දශක දෙක තුළ පාසලින් බැහැර වූ දරුවන් විහාල පිරිසක් පාසල් අධ්‍යාපනයට ගොනු කර ගැනීමට සමත්විය. ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය හා ජපානය අධ්‍යාපනයේ නව සොයාගැනීම් අනුව ගෝලීය අධ්‍යාපනයේ පෙර ගමන්කරුවෝ වෙති. මෙක්සිකෝව පාසල් අධ්‍යාපනයේ අසමතුලිතතාව සමනය කරමින් ජයග්‍රහණ වෙත ළඟා වූයේ අධ්‍යාපනය වෙනුවෙන් කළ අයෝජනය ඉහළ දැමිමෙනි. දරුවා නැවත ගතානුගතික පාසල වෙත කැඳවීම නොව, දරුවා 21 සියවසේ විශ්ව මානවකයෙක් වශයෙන් නිර්මාණය කිරීමට පාසල සමත්වේ ද?

නව අදහස දක්වන්න