ඉවසීමේ වටිනාකම | දිනමිණ

ඉවසීමේ වටිනාකම

මහාචාර්ය රොබට් ටෙලෙන්ඩර්

මධ්‍යම පාන්තික මුස්ලිම් සැදැහැවතුන් බහුතරය සිය විශ්වාසය ඒකාකාරී චර්යා විධියක් බවට පත්කර ගැනීමෙන් එය එක්තරා ආකාරයක පූජා විධියක් බවට පත්වීමේ අත්දැකීම විඳිමින් සිටිති. මෙම ඒකාකාරීත්වයෙන් ඔබ්බට යාම ඔවුන්ව අපහසුවට පත් කරන්නකි. සැබෑ ලෙසම කෙරෙන ආයාචනවලට පිළිතුරු ලබා දීමේ ක්‍රියාව මඟින් මෙවැනි මුස්ලිම් භක්තිකයන් ඔවුන්ගේ විශ්වාසයේ පාදස්ථල වෙතින් ඔබ්බට රැගෙනගොස් ඔවුන් චර්යාත්මකව සුවිශේෂී අනන්‍යතාවයකින් යුතු, සමාජීය වශයෙන් වැඩදායක පුද්ගලයන් බවට පත් කෙරෙනු ඇත.

තමන් හිඳින තැන සිට සැබෑ ලෙසම තමා අවශ්‍ය කරන තැනට පියවර තබන පුද්ගලයන් කවරෙක් හෝ වේවා අන්‍යන්ගේ ජීවිතවලට අර්ථාන්විත ලෙස පරෝපකාරී වන්නවුන් බවට පත්වනු ඇත. එවැන්නෝ හජ් වන්දනාවක පංගුකරුවන් බවට ද පත්වන්නෝය. හජ් වන්දනාව ශුද්ධ මැකා නගරය වෙත කෙරෙන වන්දනාගමනක් නොව විශ්වාසයේ වන්දනාගමනකි. මෙම කුඩා පියවර මඟින් එකම ඉස්ලාම් දහමක්, එකම ‍දෙවිකෙනෙක් හා එකම ප්‍රජාවක් තුළ සියලු ඉස්ලාම් බැතිමතුන් ඒකාත්මික කරනු ඇත.

ප්‍රජාවක් හැඩගැස්වීමට විශ්වාසය පමණක් නොව හැසිරීම ද වැදගත්ය. අවශ්‍ය තන්හීදී ක්‍රියාත්මක නොවීම මඟින් අවිශ්වාසයක් මුල්බැස ගැනීම සිදු වුවත් එලෙස ක්‍රියාවෙන් දායකත්වය සපයන්නේ නැත්තවුන්ට සැලකිය යුතු හානියක් සිදුවන්නේ ද නැත. සිදුවන්නේ එවැනි පුද්ගලයන් හුදෙකලා මෙන්ම හරිහැටි හැඩ නොගැස්වූ, නමට පමණක් ඉස්ලාම් භක්තිකයන් පිරිසක් බවට පත්වීමය. මේ නිසා අප ජීවිතය ගැන සැලකිය යුතු වන්නේ අනාවරණ සොයායන, ආරම්භයකින් හා අවසානයකින් යුතු චාරිකාවක් (හජ්) ලෙස මිස විශ්වාසයේ පරික්ෂාවක් ලෙස නොවේ. ඔබ ජීවත් වන, ඔබට වඩාත්ම සමීප ප්‍රජාවට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රජාවක් තුළ ගෙවන ජීවිතය වඩාත් විපුල වනවා නියතය. ඉස්ලාමය තුළ වඩාත් අර්ථාන්විත මෙන්ම සමෘද්ධිමත්වූ සැබෑ ප්‍රජාවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්නට විස්තරාත්මක අවබෝධයක් ලබාගත් අපි දැන් ලොවට සාමය ගෙන ඒමට එය අවියක් කරගමු.

පෘථිවි තලය මත සාමය

සිසුවෙකු ලෙස ගෙවී ගිය කාලයේ දී වරක් මට මැද පෙරදිග හරහා මවුරට බලා යන අතර ටෙහෙරාන් නුවර ඉරාන ජාතිකයන් සමඟ දින කිහිපයක් ගත කිරීමට අවස්ථාවක් ලැබුණි. මුස්ලිම් ආගමික රටවල මම අනුගමනය කළ පුරුද්දක් වූයේ විවේක ගැනීමට බොහෝ විට ඉස්ලාමීය දේවස්ථානයක් වෙත ගොස් නිහඬව හිඳගෙන සිටීමයි. ටෙහෙරානයේ දී ද මම එසේ කළෙමි. මුල්ලා කෙනකු මා වෙත පැමිණ ඉංග්‍රීසියෙන් මගෙන් විමසා සිටියේ, “ මෙහි කුමක් කරන්නේද?“ කියායි. “ මෙය යාච්ඤාවේ මන්දිරයක්, සාමයේ ස්ථානයක්. මම ආවේ ඒ සෙවණැල්ලට මුවාවී මඳක් විවේක ගන්න.“ මම කියා සිටියෙමි. කිසිවක් නොකියූ මුල්ලා ඉවතට ගියේය.

මැදීනා නුවර මොහොමඩ් නබිනායකගේ නිවස මෙන්ම, මුල් යුගයේ මුස්ලිම් දේවස්ථාන ද විශ්වාසිකයන්ට එක්රැස්ව, එකිනෙකා හා මුහු වෙමින් යාච්ඤා කිරීමට ඉඩකඩ සැලසූ ‘නිවෙස්‘ විය. එමඟින් ද ඉස්ලාම් දහම සමාජීය වශයෙන් ප්‍රකාශයට පත් විය. එහි රැස්ව එකට යාච්ඤා කරමින් එකිනෙකා සමඟ සහෝදරත්වයක් ගොඩනඟාගත් ඉස්ලාම් බැතිමතුන් වඩාත් පුළුල්ව සමාජය සමඟ මුසු වූ විට දේවස්ථානය තුළ සාමය සමස්ත සමාජයේ සාමයක් සඳහා ආදර්ශකයක් ලෙස ක්‍රියා කළේය.

ආගමික නිකායන් අතර භේදභින්න වීම් නිසා සිදුවන්නේ විශ්වාසික ප්‍රජාව අතර විරසක හට ගැනීමය. ඉස්ලාමයේ ප්‍රධානම නිකාය දෙක වන සුන්නි හා ෂියාවරුන් ඇතුළු සූෆි හා වෙනත් සෙමිටික ආගම් ද, යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් ද එකම දෙවියන් තුළ එකම ශරීරයක් ලෙස එකමුතු වීම වළක්වාලමින් චිරන්තන දෘෂ්ටීන් හා චර්යාත්මක නීතිවලින් සමන්විත බෙදුම්වාදී ප්‍රාකාර ගොඩනඟාගෙන තිබේ. මෙවැනි බෙදීම් යටපත්කර දමා සියලු පාර්ශ්වයන් අතර සමඟි සන්ධානයක් ඇති කළ යුතුය. මෙම සමඟි කිරීම පළමුකොටම ෂියා හා සුන්නි මුස්ලිම්වරුන් අතර සමඟි සන්ධානයක් ඇති කිරීමෙන් ආරම්භ කිරීම, එනම් ගැටලුවේ හරයේ සිට පරිමිතිය දක්වා විහිදෙන අයුරින් කිරීම වැදගත්ය.

යාච්ඤාවේ ප්‍රජාවක් තුළ සුන්නි හා ෂියාවරු

ලෙයින් හා ප්‍රචණ්ඩත්වයෙන් මුද්‍රා තැබුණු ෂියා හා සුන්නිවරුන් අතර බෙදුම්වාදයේ තුවාල, යාච්ඤාවේ මහිමයෙන් නිවා සන්සිඳුවීමට කාලය දැන් එළැඹ තිබේ. ආගන්තුක ෂියාවරයකු සුන්නි ආගමික දේවස්ථානයකට ඇතුළු වූ විට ඉමාම්වරයකු පැමිණ ඔහු හෝ ඇය ඉන් පිටමං කිරීමට උත්සාහ දරාවිද? මගේ අත්දැකීමට අනුව ඔවුන් කිසි විටෙකවත් මා දේවස්ථානයෙන් පිට කිරීමට උත්සාහ දැරුවේ නැත. (නමුත් දැන් දැන් යුරෝපයේ මුස්ලිම් දේවස්ථාන ඉස්ලාමීය නොවන අය ඇතුළු වීම තහනම් කරමින් සිටී.) හැම මුස්ලිම් බැතිමතකුම එකට එක්ව යාච්ඤා කිරීම සඳහා සිකුරාදා දිනවල නොවරදවා දේවස්ථානයට යන්නේ නැත. නොසලකා හැරිය හැකි නානාවිධ හේතු නිසා ඔවුහු දේවස්ථානය වෙත යාම පැහැර හරිති. කරුණු එසේ නම් තම කැමැත්තෙන්ම දේවස්ථානය වෙත පියනඟන්නවුන් ඉන් වළක්වන්නේ කුමන හේතුවක් නිසාද?

යම් ෂියාවරයකු එලෙස දෙවස්ථානයකට ඇතුළු වී සාමුහිකව යාච්ඤාවන්ට සහභාගි වී, සවනට වැකෙන අවසන් යාච්ඤාවට ප්‍රතිචාර දක්වමින්, සහෝදර මුස්ලිම් බැතිමතෙකුගේ අවශ්‍යතාවයට පිළිතුරු දීමට හජ් පිළිවෙතට අනුව පියවර ගන්නේ නම්, ඔහු හෝ ඇය ඉස්ලාමී ප්‍රජාවේ සාමාජිකයකු හෙවත් එකම දෙවියන් තුළ එකම විශ්වාසයකට නතු වූවකු බවට පත් වනු ඇත. කිසිවකු හෝ එවැනි සැදැහැවතකුව මිථ්‍යා ලබ්ධිකයෙකු යැයි හංවඩු ගසමින් ඔහු ඉස්ලාමීය ප්‍රජාවෙන් නෙරපා හැරීමට අතක් නොඔසවනු ඇත. ඒ අතර කුරානයේ අරුත් දැක්වීම් පහදා දීමට ප්ලේටෝගේ නිගමනාත්මක තර්ක භාවිත කරන ෂියා අයතුල්ලාවරු, මුල්ලාවරු හා ඉමාම්වරු යනාදී නායක පූජකයන් සියල්ලන්ම පාහේ කරන්නේ ඉස්ලාමය නිර්වචනය කිරීමක් නොව, තමන් සෑහීමට පත්කර ගැනීමක් පමණි. වඩාත් පුළුල්ව විශ්වාසික ප්‍රජාව සමඟ අන්‍යෝන්‍ය සැබැඳියාවෙන් යුතුව ක්‍රියාකරනු වෙනුවට මොවුන් ප්‍රජාවෙන් දුරස්ථ වූවන් සේ සිටිනු ඇත. මේ නිසා එවැන්නන් මිථ්‍යා ලබ්ධිකයන් ලෙස හඳුන්වන්නේ නැතිව, තමන්ට අවබෝධ කරගත හැකි විශ්වාසයක අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නිගමනාත්මක තර්කයක් අවැසි ‘දුරස්ථ වූ මුස්ලිම්වරුන්‘ ලෙස හැඳින්විය යුතුය.

දුරස්ථ හෙවත් ආගන්තුක වූ මුස්ලිම් බැතිමතෙකු ඝාතනය කිරීමෙන් කිසිවකුට ඉස්ලාම් දහම ශෝධනයකට ලක් කළ නොහැක. එවැනි ඝාතනවලින් සිදුවන එකම දෙය ඔවුන්ගේ ප්‍රජාව සංඛ්‍යාත්මකව අඩු වීමෙන් තව දුරටත් දුරස්ථ වූ ආගන්තුකයන් සේ විසීමට තවත් හේතුවක් ස්ථාපනය වීම පමණි.

ඉවසීම ප්‍රගුණ කිරීමෙන් සිදුවන්නේ ඉස්ලාමය දුර්වල වීමක් නොව, දුරස්ථ වූවන්ට නැවත සිතීමට හා එකමුතු වීමට අවස්ථාවක් ලබා දීමය. සමාව දීම යනු පිළිගැනීමකි. නෙරපා හැරීම මඟින් සිදුවන්නේ ජීවනදායක ජලයට විෂ කැවීමකි. ඉවසීමක් නැතිකමින් සිදුවන්නේ එකම දෙවියන් තුළ වූ එකම ප්‍රජාවක් ලෙස ගෙවෙන වඩාත් විපුල වූත් සමෘද්ධිමත් වූත් ජීවිතය අහිමි වීමය.

ක්‍රිස්තියානි ආගමිකයකු හෝ ඊශ්‍රායල ජාතික යුදෙව්වකු හෝ යාච්ඥා කිරීමට මුස්ලිම් දේවස්ථානයකට ඇතුළු වුවහොත් කුමක් සිදුවනු ඇති ද? පළමුකොට ම ඔවුන් මුස්ලිම් බැතිමතකු සේ යාච්ඤා කිරීමට නොදන්නා නිසා කැපී පෙනෙන්නට ගනු ඇත. බහුතර මුස්ලිම් දේවස්ථාන කාන්තා හා පුරුෂ පාර්ශ්වයන් වෙන්කොට තබන නිසාවෙන් මෙවැනි අන්‍යාගමිකයන්ට ද ඔවුන් උදෙසා එවන් වෙන්කොට තැබූ ඉඩකඩක් අවශ්‍ය වනු ඇත. ඩැමස්කස් නුවර උමායඩ් දේවස්ථානයේ පිහිටා ඇති යුදෙව්වන්ට, ක්‍රිස්තියානින්ට, මෙන් ම මුස්ලිම්වරුන්ටත් පූජනීය ක්‍රිස්තුන්වහන්සේගේ ඥාතියෙකු වූ ‘ස්නාවක ජොහාන්ගේ සොහොන‘ සඳහාම වෙන් කළ තැනක් මහා පල්ලිය තුළ දැකගත හැකිය.

මුස්ලිම් බැතිමතුන් සමඟ එක්ව යාච්ඤා කිරීමට පැමිණෙන්නට තරම් එඩිතර වූවන් කවුරුන්ද ? ඒ නිර්භීත, වික්‍රමාන්තවිත අහිංසක වූවන් පමණය. ඒ යාච්ඤා කරන ආකාරයේ වෙනස්කම් කිසිසේත් ම මිසදිටු දෘෂ්ටින් හා සම වන්නේ නැත. විශ්වාසය තුළ පුරුදුකොට තිබෙන ඉවසීම නිසා ඉස්ලාමය අල්ලාහ් නම් වූ එකම දෙවියන් තුළ එකම පවුලක් බවට පත්කරනු ඇත. අනෙකුත් සෙමිටික ආගම්වලට ප්‍රතිවිරුද්ධ ලෙස සැලකූ කළ සැබෑ ලෙසම මිසදිටු දෘෂ්ටිය වන්නේ අන්‍යයන් වැරදිකොට සැලකීම හා යාච්ඤා කිරීමට පිළි නොගැනීම නමැති ස්ථීරසාර මුල්බැස ගැනීම් මිස අනෙකක් නොවේ.

අවිශ්වාසවල තිබෙන ධ්‍රැවීකරණය නිසා ඇතැමුන් ද්වේෂයෙන් හා වෛරයෙන් පිරී පැමිණෙනු ඇත. ඕනෑම හජ් පිළිවෙතකට අනුව වන්දනාව සඳහා පැමිණෙන ක්‍රිස්තියානීන්, යුදෙව්වන් හෝ මුස්ලිම් බැතිමතුන් සැබෑ වන්දනාකරුවන් සේ, සාක්කු හෝ වෙනත් බඩුබාහිරාදිය කිසිවක් නැති සුදු පැහැ දිගු ලෝගුවලින් නියමිත පරිදි සැරසිය යුතුය. ‘පොතේ සඳහන් ජනතාව‘ මෙවැනි වෙනුවෙන් වන්දනාකරුවන්ගේ වස්ත්‍රයෙන් සැරසීම සඳහාත්, බඩුබාහිරාදිය තැන්පත් කිරීම සඳහාත්, පහසුකම් දේවස්ථාන පිහිටි භූමිභාගවලින් පිටත පිහි‍ටුවිය යුතුය. එවිට ඔවුන්ට නිසි ලෙස සෝදා පවිත්‍ර වී දේවස්ථානයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

යාච්ඤාවට පැමිණ අවසන් යාච්ඤාවේදී නැඟෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන සියලුම මුස්ලිම් භක්තිකයන් මෙන්ම ෂියා හා සුන්නිවරුන් ද ඒ අනුව ඉස්ලාමීය ප්‍රජාව තුළ විශ්වාසී සාමාජිකයන් බවට පත්වනු ඇත. කිසිදු සාමාජික අවසරපතක හෝ බෞතීස්මයක හෝ චර්ම ඡේදනයක අවශ්‍යතාවයකින් තොරව ම ඒ සියල්ලන් ම අල්ලාහ් දෙවියන්ගේ පවුලේ සාමාජිකත්වය ලබනු ඇත. අප සියල්ලන් ම වැඩිදුර නොසිතා හුදෙක් ඒ දෙයම කළහොත්, ‘අලි කුම් සලාම්‘ යන්න යථාර්ථයක් වනවා නියතය. සුප්‍රකට ක්‍රීඩා භාණ්ඩ සන්නාමයක් වන ‘නයික්‘ සමාගම ‘එය කරන්න !‘ (just Do it !) යන උද්යෝග පාඨය සහිත ක්‍රීඩා කමිස විකුණයි. නමුත් සියලුම මුස්ලිම් භක්තිකයන් එම ආදර්ශ පාඨය අනුගමනය කරන්නේ නම් සාමය නිර්මාණය කිරීම අභියෝගයක් නොවනු ඇත.

එකම දෙවියන්ගේ පවුල

එකම දෙවියන්ගේ පවුල නම් වූ පදනම පිහිටුවීම මඟින් සිය විශ්වාසය ක්‍රියාවට නඟන්නවුන්ට ඉස්ලාමයේ පරිදි විශ්වාසයේ බහුවිධ අනුවාද පවත්වා ගැනීමටත්, නැවත පිහිටුවාගැනීමටත් අවස්ථාව හිමිවේ. පළමුකොට ඒක පුද්ගල හැකියාවන් බෙදා හදා ගැනීම මඟිනුත් දෙවනුකොට පරස්පර ආර්ථිකමය බෙදා හදා ගැනීම තුළිනුත් මෙම අවස්ථාව ළඟාකර ගැනීමට මඟ සලසා දෙනු ඇත. එලෙස මෙම පදනම විසින් මුස්ලිම් බැතිමතුන්ගේ එකී සුවිශේෂී සාමුහික යැදීම්වලදී ප්‍රසිද්ධියේ කියැවෙන ඉල්ලීම් ඉටුකිරීමට ඉදිරිපත් වන කාරුණික සැදැහවතුන්ට සහාය වීම පිණිස සූක්ෂ්ම මුල්‍ය සංචිතයක් නිර්මාණය කරයි.

මෙම පදනම විසින් අවශ්‍යතාවයෙන් පෙළෙන්නවුන්ට පොලී අයකර ගැනීමකින් තොරව ණය ලබාදීම සඳහා අමානා බැංකුවේ ආර්ථික සංචිත අරමුදලක් ස්ථාපනය කොට තිබේ. මෙම අරමුදලෙන් එලෙස පොලී රහිතව ණය ලබා දෙන්නේ එක්තරා කොන්දේසියකට යටත්වය. ඒ තමන් මෙන්ම මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන අනෙක් සහෝදරයන්ට ද ඉන් ප්‍රතිලාභ ලැබිය හැකිවන පරිදි ලබාගත් ණය මුදල තමන් හෝ තමන්ගේ පවුලේ උදවිය හෝ හිතමිතුරන් විසින් ආපසු ගෙවීමටය.

මෙවැනි ණය මුදල්වලින් නීත්‍යානූකූල වූ යාච්ඤාවන්ට පිළිතුරු ලබා දීමක් මිස පොලී අයකර ගැනීමක් හෝ ලාභ ලැබීමක් සිදුවන්නේ නැත. මුස්ලිම් දේවස්ථානයක හෝ දේවස්ථානයකදී හෝ සිනගෝගයක දී එවැනි යාච්ඤා මුවින් තෙපළද්දී ඒවා විශ්වාසයේ ආදායමක් බවට පෙරලේ. සියලුම පැහැරහැරීම් විශ්වාසය තුළ අහිමිවීමක් (අලාභයක්) බවට පත් වේ. යම් හෙයකින් කාලයාගේ ඇවෑමෙන් මෙම මුල්‍ය සංචිතය ක්ෂය වී ශුන්‍ය තත්ත්වයට පත්වුවහොත් එය විශ්වාසිකයන්ට එක්තරා අන්දමක අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියාකරනු ඇත. ඒ මුදල් මෙන්ම ඉස්ලාමයත්, කිතුදහම හා යුදෙව් දහමත් නොසැලකිල්ල හා නොතකා හැරීම නිසාවෙන් එලෙස නැති වී යා හැකි බවටය. මෙයාකාරයට මෙම පදනම සිය සේවය ලබාදෙන්නේ අනුස්මරණ තිළිණයක් ලෙස නොව, සියලුම පුද්ගලයන්ගේ ජීවිතවල විශ්වාසය ජීවත් කරවන ආකාරයේ ප්‍රාමාණික මිම්මක් ලෙසය. යමකු ලබාගත් ණය මුදල යළි ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් වීමට හේතු විය හැකි කාරණා දෙකකි.

1. ප්‍රජාවේ කිසිවෙකු හෝ සහායට නොපැමිණීම නිසා කරන්නට අන්දෙයක් නැති තැන, අවශ්‍යතාවයෙන් පෙළෙන්නා සිය ණය බරින් නිදහස් වීමට ජීවිතය දිගු කර ගත්ත ද, සිදු වූයේ ණයෙන් නිදහස් වීමට මුදල් සොයා ගැනීමට අසමත් වීම පමණි.

2. සජීවි විශ්වාසයක් ලෙස පැවතීමට නම් සියලුම සෙමිටික ආගම් සැබෑ ලෝකය තුළ සාපේක්ෂව දැවැන්ත, උපේක්ෂා සහගත සමාජයක් තුළ පැවතීමේ හැකියාවෙන් සමන්විත විය යුතුය. ඒ ස්වර්ගයේ මෙන්ම මිහිපිට ද එකම ‍දෙවියන්ගේ රාජ්‍යයක් පිහිටුවීමට ඔවුන් අදිටන් කරන්නේ නම් පමණි.

(07/05/2019 දින මහාචාර්ය රොබට් ටෙලෙන්ඩර් විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කර තිබූ ලිපිය ඇසුරින් සකස් කෙරිණි.)

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න