මිත්‍රයන් අතරේ ත්‍රස්තයන් නැත! | දිනමිණ


 

මිත්‍රයන් අතරේ ත්‍රස්තයන් නැත!

ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කිරීම සඳහා ආසියාවේ රාජ්‍යයන් ඒකාබද්ධ විය යුතු බව ද පොදු එකඟතාවකින් යුතු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා යථෝක්ත අදහස් පළ කරන්නේ මානව ශිෂ්ටාචාරය පිළිබඳ ආසියානු සමුළුවේදී ය. මේ සමුළුව රටවල් හතළිස්හතක නියෝජිකත්වය ඇතිව චීනයේ බෙයිජිං නුවරදී පැවැත්වෙන්නේ පළමුවරටය. ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිකර ගැනීම මෙහි අරමුණ බව පෙනෙයි. චීනය එහි නායකත්වය ගෙන සිටියි. ත්‍රස්තවාදය හා අන්තවාදය බිහි වන්නේ ද මානව ශිෂ්ටාචාරයේ ගැටලුවක් හැටියට ය.

ත්‍රස්තවාදය විවිධ නම්වලින් හැඳින්වීමට ද විවරණය කිරීමට ද දේශපාලන විචාරකයන් උත්සාහ දරා ඇත. ගෝලීය ත්‍රස්තවාදය, බෙදුම්වාදී ත්‍රස්තවාදය, ආගමික ත්‍රස්තවාදය ඊට අදාළ නාමකරණයන් කිහිපයකි. කුමන නමකින් හැඳින්වුව ත්‍රස්තවාදයේ මූලික ලක්ෂණය ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය යි. මේ ක්‍රියාකාරකම් දෙකම ශිෂ්ටත්වයට එරෙහිව ද, මිනිස් සමාජයේ ප්‍රගමනයට එරෙහිව ද ගමන් කරයි. ලෝකය ආපස්සට හරවන බලවේගයක් ලෙස ද ත්‍රස්තවාදය හැඳින්විය හැකි ය. ලෝක නායකයන් ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසිය යුත්තේ එය ශිෂ්ටාචාරයේ ගැටුමක් ලෙස ද සලකාගෙන ය. ඒ අනුව ත්‍රස්තවාදය ලොව හමුවේ ඇති අංක එකේ අර්බුදය ලෙස ද ගත හැකි ය. මන්දයත්; ශිෂ්ටාචාරය බිඳ වැටීම, මානව සමාජයේ විනාශයට හේතුසාධයක් බැවිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරය පිළිබඳ නව සංවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ චීනයේ මූලිකත්වයෙන් ආරම්භ කිරීම අතිශය වැදගත් බව ය. එය තාර්කික පදනමක් මත ඉදිරිපත් කරන මතවාදයක් බව පැහැදිලි ය.‍ ඓතිහාසික තත්ත්වයට අනුව ලොව ඉපැරැණි ශිෂ්ටාචාර ‍පහෙන් හතරක් ම බිහිවන්නේ ආසියාව තුළය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, හොවැංහෝ ශිෂ්ටාචාරය, පර්සියානු ශිෂ්ටාචාරය හා යුප්‍රටීස් - ටයිග්‍රීස් ශිෂ්ටාචාරය ඊට නිදසුන් ය. යුරෝපයට පෙර ආසියාව හා අප්‍රිකාව දියුණු ශිෂ්ටාචාර ස්ථාපනය කළ බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. එහෙත් දෛවයේ සරදමකට මෙන් ආසියාව හා අප්‍රිකාව අද ත්‍රස්තවාදයේ ගොදුරු බිම් බවට පරිවර්තනය වී ඇත.

ජනාධිපතිවරයා සිය දේශනයේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කළේය. එය කාගේත් අවධානයට ලක්වූ හෘදයාංගම කතාවක් බව පෙනිණි. පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඉන්පසු රටේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ද කතාවට ඇතුළත් ය. ප්‍රහාරය සැලසුම් වී ඇත්තේ ද ක්‍රියාත්මක වී ඇත්තේ ද ගෝලීය ත්‍රස්තවාදයේ අනුග්‍රාහකත්වය මත බව පැහැදිලිය. ඒ අනුව ගෝලීය ත්‍රස්තවාදය ආසියාවෙන් පළවාහැරීම සඳහා මේ සමුළුවේ අවධානය යොමු කිරීම වැදගත්ය. ආසියාවේ රටවල් ගණනාවක් ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරු බිම් බවට පත්වී ඇති අතර ත්‍රස්තවාදයේ මතවාද ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට ද පටන් ගෙන තිබේ.

චීන ජනාධිපතිවරයා මේ සමුළුව අමතා කළ දේශනය ද ලෝක අවධානයට ලක් වී ඇත. ෂී ජින්ග් පින්ග් මහතා මෙහිදී කියා සිටියේ සියලු ‍රටවල් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතා වැදගත් බව ය. එලෙසම කිසියම් ජාතියක් - රටක්, ශ්‍රේෂ්ඨ බව ද, ප්‍රධාන බව ද සලකා ක්‍රියා කිරීම නුසුදුසු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. එය අතිශය කාලෝචිත ප්‍රකාශයක් බව කිව යුතුය. ආගමික ත්‍රස්තවාදය බිහිවන්නේ ස්වකීය ආගම හා ඇදහිල්ල අන් සියලු ආගම්වලට වඩා ප්‍රධාන වේ යන තර්කය මත ය. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදයේ ඉලක්කය ලෝකය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම බව පැහැදිලි ය. ජාතියක් අන් ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ යැයි සිතීම ද මුලාවෙකි. ජාතිවාදයේ පදනම එය වෙයි.

අයි. එස්. ත්‍රස්තවාදය ඇරැඹෙන්නේ 2003 ඉරාකය බිඳ වැටීමත් සමඟ ය. ඉරාකය බිඳ වැටීම එදා ඇතැමුන් විසින් හඳුන්වනු ලද්දේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ අවසානය ලෙසින් ය. අමෙරිකානු ආක්‍රමණය නිසා බැග්ඩෑග් නුවර පැවැති කෞතුකාගාර බිමට සමතලා විය. මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ හොරුන් විසින් පැහැර ගන්නා ලදී. පසුව ඒවා යු‍රෝපීය වෙළෙඳ පොළෙහි අලෙවි වූ බව ද සඳහන් ය. ශිෂ්ටාචාරයේ බිඳ වැටීම හා ත්‍රස්තවාදයේ නැඟීසිටීම අතර සහසම්බන්ධයක් ඇති බව එයින් පෙනී යයි. මෙය ගැඹුරින් සලකා බැලිය යුතු කාරණයකි. මේ මොහොතේ ආසියාවේ මානව ශිෂ්ටාචාරය පිළිබඳ ගැඹුරු සංවාදයක් ආරම්භ වීම ඉතා කාලෝචිත ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උක්ත සමුළුව අමතා කළ දේශනයේ දී තවත් වැදගත් අදහසක් ඉදිරිපත් කළේ ය. එනම් ආසියාව මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අපේ රටවල් මිත්‍රශීලී ලෙස ක්‍රියා කළ යුතු බව ය. මැදපෙරදිග රටවල් ඔස්සේ සෙසු රටවල් කරා වහාබිවාදය පැතිරෙන බව කවුරුත් දන්නා කාරණයකි. එය ඔස්සේ ගොඩනැඟෙන අයහපත් ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා පොදු නීතියක් ඇති කිරීම වැදගත් බව සමහරු පෙන්වා දෙති. පොදු වැඩසටහනක් ගැන තව සමහරු කතා කරති. මේ සඳහා රටවල් අතර එකඟතාවක් ඇති කර ගැනීම කාලෝචිත ය. එය කළ හැක්කේ රටවල් අතර මිත්‍රත්වය තහවුරු කර ගනිමින් ය. ජාතික හා ආගම පිළිබඳ මූලධර්මවාදි අදහස් හා මතවාද ව්‍යාප්ත වීම ඒ ඒ ජාතිකයන්ට හා ඒ ඒ ආගමිකයන්ට වළක්වාගත හැකිය. අනෙකුත් ජාතීන් හා ආගම් මිත්‍රශීලී ලෙස පිළිගැනීම ඊට අවශ්‍ය පදනම ඇති කරයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස ආපසු හැරී බලනවිට පෙනී යන්නේ එක් ත්‍රස්තවාදයක් පරාජය කරනවිට තවත් ත්‍රස්තවාදයක් හිස ඔසවන බව ය. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර ඇති මුත් දැන් ආගමික ත්‍රස්තවාදයකට අපි මුහුණදී සිටිමු. එය මර්දනය කරමින් සිටිනවිට ජාතිවාදීන්ගේ ත්‍රස්තවාදය හිස එසවීමට බලයි. වයඹින් හා ගම්පහින් පසුගිය දින කිහිපය තුළ සනාථ වූයේ එම තත්ත්වයයි. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් බව පළමුව වටහාගත යුතුය. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එය වටහාගෙන ක්‍රියා කරන බව පෙනෙයි. බෙයිජිං සමුළුවේදී ජනාධිපතිවරයා කළ දේශනයෙන් ඒ බව තවදුරටත් සනාථ වෙයි.

නව අදහස දක්වන්න