තරග වෙනස් කළ විස්මිත දස්කම් | දිනමිණ


 

තරග වෙනස් කළ විස්මිත දස්කම්

ෆවුස් මොහොමඩ්

ක්‍රිකට් තරග වෙනස් වන්නේ හිටිහැටියේමය. තරගයක් අතරතුර තත්පර කිහිපයක් ඇතුළත ගන්නා තීරණ, විස්මිත දස්කම තරගයේ ජයග්‍රාහකයා එහෙම පිටින්ම වෙනස් කිරීමට සමත්වීම එක් අතකින් අදහාගත නොහැකි සිදුවීම් පෙළකි. ක්‍රීඩාලෝලින් හුස්මක් කටක් නොගෙන, එකිනෙකාගේ කරමතින් වාරුගෙන විළුඹෙන් ඉස්සි ඉස්සී දැක බලාගැනීමට පොරකන එවැනි දසුන් ක්‍රිකට් ලෝකයේ මෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලා ඉතිහාසයේ ද එමටය. මේ සටහන් වන්නේ එවැනි සිදුවීම් පෙළකි.

ඉම්රාන්ගේ තීරණය

1992 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 262ක් ලබා ගැනීමට සමත් විය. සලීම් මලික්ගේ දැවීයාමත් සමඟ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය සෑහීමකට පත්ව සිටියේ නැත. ඒ වනවිට ඔවුන්ට ඉතිරි ඕවර 15දී ජයග්‍රහණය සඳහා ලකුණු 123ක් අවශ්‍ය වී තිබිණ. පිටියේ නොදැවී සිටි ජාවේඩ් මියැන්ඩාඩ් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට සංඥා කළේ ඉන්සමාම් උල් හක් වෙනුවට වමත් පිතිකරු වසීම් අක්රාම් පිටියට එවන ලෙසටය.

වසීම් අත දිග හැර විශාල පහරවල් එල්ල කරන්නෙකි. එමෙන්ම ඒ වනවිට යොවුන් වියේ පසුවූ ඉන්සමාම්ට වඩා අත්දැකීම් බහුල ක්‍රීඩකයකු ද විය. පාකිස්තානයට ඒ මොහොතේදී අවශ්‍යවූයේ වේගයෙන් ලකුණු රැස් කරන අක්රාම් වැනි පිතිකරුවෙකි. වෙලාව හැටියට එය හොඳම තේරීමකි. නමුත් පාකිස්තාන පිලේ නායක ඉම්රාන් ඛාන් පිටියට යැව්වේ ඉන්සමාම්වය. ඔහු සිය නායකයාගේ බලාපොරොත්තු බිඳ දැම්මේ නැත. ඔහු අසමසම ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37කදි ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය. එම විශිෂ්ට ඉනිම නිසා තරගයේ වාසිය පාකිස්තානය දෙසට හැරිණි. ලා කොළ පැහැති ඇඳුමින් සැරසුණු පාකිස්තාන කණ්ඩායම අවසානයේදි තරගය ජයගත්තේ ඉතා විශිෂ්ට අයුරිනි.

මැක්ඩර්මොට්ගේ පෙරළිය

1987 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය පිලේ පළමු තරගය පැවැත්වූයේ තරුණ අත්දැකීම් අඩු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවය. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 270ක් රැස් කළේය. පිළිතුරු වශයෙන් සාර්ථකව ඉනිම ආරම්භ කළ ඉන්දීය පිල කඩුලු 2කට ලකුණු 202ක් රැස් කර තිබූ අතර ඉතිරි ඕවර 15දී තවත් ලකුණු 70කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වී තිබිණ. ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත්ගේ සහ තරුණ පිතිකරු නව්ජෝට් සිධූගේ පිතිහරඹය ඒ මොහොතේ ප්‍රශස්ත මට්ටමක පැවැති අතර තරගාවලියේ ආරම්භක තරගය ජයග්‍රහණයකින් කෙළවර කරගැනීම සහතික කර තිබිණ.

නමුත් ඔස්ට්‍රේලියාව එතරම් පහසුවෙන් පරාජය බාර ගැනීමට සූදානම් වූයේ නැත. මේ සම්බන්ධතාව බිඳ දැමීමට නායක ඇලන් බෝඩර් සිය යොවුන් පන්දු යවන්නා ක්‍රෙග් මැක්ඩර්මොට් පන්දු යැවීමට කැඳවීය. ඔහු සිධූගේ කඩුල්ල බිඳ දමමින් ඉන්දීය පිලේ පිතිහරඹ ලැයිස්තුවට බරපතළ හානියක් කළේය. දිලිප් වෙන්සාකාර්, මොහොමඩ් අසාරුදීන් සහ රවී ශාෂ්ත්‍රී ද මැක්ඩර්මොට්ගේ ගොදුරු බවට පත්වෙද්දී ඉන්දීය පිලේ කඩුලු 6ක්ම ලකුණු 54ක් ඇතුළත බිඳ වැටී තිබිණ. ඉන්දියාව එම තරගය පරාජයට පත්වූයේ එක් ලකුණකිනි.

තෙන්ඩුල්කාර්ගේ දැවීයාම

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 1996 වසරේදීය. ඔවුන්ගේ ප්‍රතිවාදීයා වූයේ කුසලානයට ජනප්‍රියතම කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය පිලය. ඔවුන් සිය භූමියේදී අති විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියමින් සිටියේය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 251ක් රැස් කළේය. නව්ජෝට් සිං වේලාසනින් දැවී ගියත් ඉන්දිය පිල ඉතා සාර්ථක පිළිතුරු දෙමින් සිටියේය. සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ අභියෝගයට හොඳින් මුහුණ දෙමින් සිටි අතර දෙවැනි කඩුල්ලට ලකුණු 90කට වැඩි ප්‍රමාණයක සම්බන්ධතාවක් ද ගොඩනගා තිබිණ.

ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග මේ සම්බන්ධතාව බිඳ දැමිමට මාර්ගයක් සොයන්නට විය. ඔහු 23 වැනි ඕවරය යැවීමට සනත් ජයසූරිය වෙත පන්දුව වීසි කළේය. ජයසූරිය පා ඉන්නට පිටින් පන්දුව පතිත කළ අතර තෙන්ඩුල්කාර් උත්සාහ කළේ ෆයින් ලෙග් කලාපයට පන්දුව තල්ලු කර හැරීමටය. නමුත් පන්දුව ඔහුගේ පා ආවරණයේ කලවා ආසන්නයේ ගැටී කඩුලු රකින රොමේෂ් කළුවිතාරණ අතට ගියේය. තෙන්ඩුල්කාර් සිතුවේ පන්දුව කඩුලු රකින්නා පසු කර යනු ඇතැයි කියාය. ඔහු ඉක්මන් ලකුණකට සූදානම් විය. නමුත් තත්පර කිහිපයක් ඇතුළත තමා කළේ විශාල වරදක් බවට ඔහුට වැටහිණි. එහෙත් ඒ වනවිටත් ඔහු ප්‍රමාද වැඩිය. කළුවිතාරණ වේගයෙන් කඩුල්ල බිඳ දමමින් තෙන්ඩුල්කාර්ගේ ඉනිම ලකුණු 65කින් නිමාවට පත් කළේය.

ඉන් අනතුරුව කඩුලු බිඳ වැටෙන්නට පටන් ගත්තේ වැව් බැම්මක් කැඩී ජල ධාරාවක් ගලා හැලෙන්නාක් ලෙසටය. කඩුලු 7ක්ම බිඳ වැටුණේ ලකුණු 22ක් ඇතුළතය. එය කල්කටාවේ ක්‍රීඩාලෝලීන්ට ඉවසා සිටීමට නොහැකි තරම් කරුණක් බවට පත්වූ අතර ඔවුහු ප්ලාස්ටික් ජල බෝතල් පිටියට වීසි කරමින් ද, ආසන වලට ගිනි තබමින්ද කළබල කරන්නට වූහ. තරග තීරක ක්ලයිව් ලොයිඩ් තරගයේ ජයග්‍රහණය ඉතා සාධාරණව ඒ වනවිටත් තහවුරු කරගෙන සිටි ශ්‍රී ලංකා පිලට පිරිනැමුවේය.

ලොයිඩ්ගේ උපක්‍රමය

1979 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල එකිනෙකා මුණ ගැසුණේය. පිතිකරුවන්ට වාසිදායක එම තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 60 අවසානයේදී (ඒ කාලයේදී එක්දින තරග බිමේ ඉනිමක ඕවර සංඛ්‍යාව 60කි.) කඩුලු 6කට ලකුණු 293ක් රැස් කළේය. පාකිස්තානයට වේලාසනින්ම සදික් මොහොමඩ් අහිමිවිය. නමුත් මජීඩ් ඛාන් සහ සහිර් අබ්බාස් අති විශිෂ්ට ලෙස පන්දුවට පහරදෙමින් සිටි අතර දෙවැනි කඩුල්ලට ලකුණු 166ක සම්බන්ධතාවක් ද ගොඩනගමින් සිටියහ. ඊළඟ පැය තුනේදී කොදෙව් පිලේ නායක ක්ලයිව් ලොයිඩ් සිතන්නට වූයේ ඔවුන් තවත් ලකුණු සියයක් පමණ ලබාගත යුතුව තිබුණා නොවේදැයි යන්නය.

සහීර් සහ මජීඩ් එක්ව ඇන්ඩි රොබර්ට්ස්ගෙන් සහ මයිකල් හෝල්ඩින්ගෙන් එල්ල වූ තර්ජනය වේලාසනින්ම ඉවතට තල්ලු කිරීමට සමත්වූ අතර කොදෙව් පන්දු යැවීමේ බලඈණිය දැඩි පීඩනයට පත් කරමින් සිය පිතිහරඹයෙන් පාකිස්තානු ඉනිම වර්ණවත් කළහ. පස්වරු තේ පානයට මොහොතකට පෙර මේ පිතිකරු යුගලය පෙන්නුම් කළ දස්කම් මත තරගයේ ජයග්‍රහණය පාකිස්තානය දෙසට හැරුණේය. තේ පානය අතරතුර ක්ලයිව් ලොයිඩ් අවබෝධ කරගත්තේ මේ දෙදෙනාගේ සම්බන්ධතාව බිඳ දැමීමට නම් පළමුව අබ්බාස්ගේ කඩුල්ල බිඳ දැමිය යුතු බවය. ඒ අනුව ඔහු තීරණය කළේ පා ඉන්න දෙසට නොව අබ්බාස්ගේ පිට ඉන්න දෙසට පන්දු යැවීමට සිය පන්දු යවන්නන්ට උපදෙස් ලබාදීම වඩාත් උපක්‍රමශීලී වනු ඇති බවය. නැවත තරගය ආරම්භ වූ අතර කොලින් ක්‍රොෆ්ට් සිය නායකයාගේ උපදෙස් අකුරටම පිළිපදිමින් අබ්බාස්ගේ පිට ඉන්න දෙසට පන්දු යවන්නට පටන් ගත්තේය. අබ්බාස් ඒ උගුලට හසුවූයේය. පාකිස්තානු පිලේ ඉතිරි කඩුලු කිහිපය ඉක්මනින්ම බිඳ වැටුණේ කොදෙව්වන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි.

අක්රාම්ගේ ඕවරය

1992 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ පාකිස්තානයේ ගමන් මග රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රගතිය දැඩි තර්ජනයකට ලක්වී තිබිණ. නමුත් ඉම්රාන් ඛාන් තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් සිය කණ්ඩායම යළි සන්ධාන ගත කළ අතර නිවැරදි මොහොතේ නිවැරදි තීරණ ගැනීමට සමත්විය.

අවසන් මහා තරගයේදී පාකිස්තානයට මුණ ගැසුනේ එංගලන්ත කණ්ඩායමය. ඉම්රාන් ඛාන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. පාකිස්තාන ඉනිමේ ආරම්භය අසාර්ථක වූවත් කඩුලු 6කට ලකුණු 249ක් රැස් කිරීමට ඔවුහු සමත්වූහ. නව පන්දුවෙන් පන්දු යවන පාකිස්තානු පිලේ වසීම් අක්රාම් සහ අකීබ් ජාවේඩ් පාදඟ පන්දු යවන මුෂ්ටාක් අහමඩ් සමග එක්ව එංගලන්ත පිලේ මුල්පෙළ කඩුලු බිඳ දැමිමට සමත්වූයේ ලකුණු 69කට පිතිකරුවන් සිවුදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමිනි. නමුත් ඇලන් ලෑම්බ් සහ නීල් ෆෙයාර්බ්‍රදර් එක්ව ඕවර 14ක් ඇතුළත ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත පිලේ බලාපොරොත්තු ඉහළ දැමූහ.

ඒ මොහොතේ නායක ඉම්රාන් එංගලන්ත ඉනිමේ 35 වැනි ඕවරය යැවීමට වසීම් අක්රාම් වෙත පන්දුව වීසි කළේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ වඩාත් පෙරළිකාර පන්දු දෙකක් යවමින් අක්රාම් සිය නායකයාගේ බුද්ධිමත් තීරණයට හැම අතින්ම සාධාරණය ඉටු කළ අතර ඇලන් ලෑම්බ් සහ නවක පිතිකරු ක්‍රිස් ලුවිස් දැවී ගියේ ඔහු පිට පිට යැවූ පන්දු දෙකකිනි. ඉන් පසුව එංගලන්තයට යළි හිස එසැවීමට ඉඩක් ලැබුණේම නැත. පාකිස්තානය පළමුවරට ලෝක කුසලානය දිනාගත්තේය.

නව අදහස දක්වන්න