ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීම-මැරතන්-පැපැදි තරග 23 දා | දිනමිණ

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීම-මැරතන්-පැපැදි තරග 23 දා

ප්‍රින්ස් ගුණසේකර

ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීම, මැරතන් සහ පැපැදි තරග මේ මස 23 සිට 26 දක්වා අනුරාධපුර නගරය කේන්ද්‍ර කොට පැවැත්වෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පළාත් මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මේ තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

23 වැනිදා පෙරවරු. 9.00ට පිරිමි රේසිං පාපැදි තරගය ආරම්භවන අතර පස්වරු 3.00ට කාන්තා රේසිං පාපැදි තරගය පැවැත්වේ. 24 වැනිදා පෙරවරු. 9.00ට පිරිමි ස්ටෑන්ඩඩ් පාපැදි තරගය හා පස්වරු 3.00ට කාන්තා ස්ටෑන්ඩඩ් පාපැදි තරගය පැවැත්වේ. කිලෝමීටර් 120ක්‌ වන රේසිං පාපැදි හා ස්ටෑන්ඩඩ් පාපැදි තරග දෙක හා කිලෝමීටර් 56කින් යුත් කාන්තා පාපැදි තරග අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසලින් ආරම්භවී එම ස්ථානයෙන් අවසන් කිරීමට නියමිතය.

25 වැනිදා පිරිමි කාන්තා තරග ඇවිදීම පැවැත්වෙන අතර එහි දුර කිලෝමීටර් 20 කි. එම තරග දෙක අනුරාධපුර ගුවන් තොටුපල පාරේ 7 වැනි කිලෝමීටරය අසලින් ආරම්භවී එම ස්ථානයෙන්ම අවසන් වේ.

26 වැනිදා පිරිමි හා කාන්තා මැරතන් තරග අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසලින් ආරම්භවී එම ස්ථානයෙන් අවසන් කිරීමට නියමිතය. කාන්තා හා පිරිමි මැරතන් තරග කිලෝමීටර් 42.195 ක දුරකින් යුක්ත වේ. තරග අවසන් වූ ස්ථානයේම ජයග්‍රාහකයන්ට ජය සංකේත හා මුදල් ත්‍යාග පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මේ සියලුම තරගවලට රටපුරා පළාත් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වෙති. එක් ඉසව්වකට එක්‌ පළාතකින් ක්‍රීඩිකාවන් 6 ක්‌ හා ක්‍රීඩකයන් 10ක්‌ බැගින් තෝරාගෙන ඇත. ඒ අනුව සෑම තරගයක්‌ සඳහාම ක්‍රීඩිකාවන් 54ක්‌ හා ක්‍රීඩකයන් 90ක්‌ සියලු පළාත් නියෝජනය කරමින් තරග වදිති.

ගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ පිරිමි ජයග්‍රහණය උතුරු මැද පළාතේ එම්. අයි. එස්. එස්. දුනුකාර හා කාන්තා ජයග්‍රහණය දකුණු පළාතේ පී. බී. ගයානි දිනා ගත්හ. සමස්ත පිරිමි ශූරතාව උතුරු මැද පළාත, අනු ශූරතාව බස්නාහිර පළාත දිනාගත් අතර සමස්ත කාන්තා ශූරතාව දකුණු පළාත හා අනු ශූරතාව බස්නාහිර පළාත දිනාගත්හ.

පිරිමි මැරතන් ජය බස්නාහිර පළාතේ ඩී.ජි.ඩී. සඳනුවන් හා කාන්තා මැරතන් ජය බස්නාහිර පළාතේම සුජානි පෙරේරා දිනා ගත්හ. බස්නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ශූරතාව හිමිකරගත් අතර පිරිමි තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන මෙන්ම කාන්තා තරගයේ පළමු සහ දෙවැනි ස්ථානද බස්නාහිර පළාත සතුවිය.


නව අදහස දක්වන්න