බොස්ට්වානා යන්න නෙට්බෝල් පිලට ලක්ෂ 35ක් | දිනමිණ

බොස්ට්වානා යන්න නෙට්බෝල් පිලට ලක්ෂ 35ක්

උපාලි කරුණාරත්න

යම් ක්‍රීඩා කටයුත්තක් සඳහා දේශපාලනඥයන් සම්බන්ධ වුවහොත් අදාළ ක්ෂේත්‍ර සැරව ගලන තුවාලයක් බවට පත්වන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වගකීම් දිය යුත්තේ අදාළ අංශයන්හි ප්‍රවීණයන්ට බවද කුසලතාව පදනම් කර ගනිමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවද අමැතිවරයා කීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ලබන ජූලි මස එංගලන්තයේදී පැවැත්වීමට නියමිත 2019 ජාත්‍යන්තර නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමට එයට පෙර බොට්ස්වානාහිදී පැවැත්වෙන පුහුණු තරඟය සඳහා යාමට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට සහභාගි වෙමිණි. මේ ගුවන් ටිකට්පත් ලබාදීම පෙරේදා (15) බත්තරමුල්ල නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සිදුකෙරිණ. මේ පුහුණු සංචාරය සඳහා ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකු සහ නිලධාරිනියන් තිදෙනෙකු සහභාගි වීමට නියමිත අතර සේ සඳහා වැයවන මුදල රුපියල් තිස්පන් ලක්ෂ හැට අටදහස් පන්සියකි.

‘අපගේ නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මේ පරිත්‍යාගයට පෙර මහල් නිවාස ලබාදුන්නා. මොවුන් අපේ රටට ලෝක ශූරතාවයක් රැගෙන එයි කියා අප බලාපොරොත්තු වනවා. ආසියාව දිනාගත් අපේ නෙට්බෝල් කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්කළ යුතුයි. අපගේ සෑම ක්‍රීඩාවක්ම දේශපාලනයෙන් ඉවත්විය යුතු බව මේ අවස්ථාවේ මා ප්‍රකාශ කරනවා.’ යැයිද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

ඡායාරූප- විමල් කරුණාතිලක

 


නව අදහස දක්වන්න