ෂරපෝවා ප්‍රංශයට නොයයි | දිනමිණ

ෂරපෝවා ප්‍රංශයට නොයයි

දීර්ඝ කාලයක් පුරා පවතින උරහිසේ ආබාධය හේතුවෙන් මේ මස අග භාගයේ පැරිස් නුවර පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වූ බව රුසියාවේ සුපිරි ක්‍රීඩිකා මරියා ෂරපෝවා ප්‍රකාශ කළාය. වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 35 වැනි ස්ථානයේ පසුවන ෂරපෝවා මෙම ආබාධය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සැත්කමකට ද භාජනය විය.

‘නිවැරදි වුණත් සමහර වෙලාවට තීරණයක් ගන්න හරිම අමාරුයි.‘ ප්‍රංශ විවෘත තරගාවලිය මඟ හැරීම පිළිබඳ වේදනාවෙන් යුතුව ෂරපෝවා කියා සිටියාය.

පසුගිය වසරේ මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසි ෂරපෝවා ඊට පෙර 2012 සහ 2014 වසරවලදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත් අතර මේ වසරේ පැවැති පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වූ ඔස්ට්‍රේලියායානු විවෘත තරගාවලියේදී අවසන් 16 දෙනා අතරට එක්වූවාය.

‘හොඳම ප්‍රවෘත්තිය මම ආපහු පුහුණුවීම් ආරම්භ කිරීමයි. උරහිසේ වේදනාව තරමක් දුරට අඩුවෙලයි තියෙන්නේ. ඒ නිසා ක්‍රම ක්‍රමයෙන් ආපහු දස්කම් අතරට එන්න ඕනා. ‘32 හැවිරිදි මේ සුරූපි ක්‍රීඩිකාව එසේ කීවාය.

වසර 2016 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අතරතුර සිදු කළ පරීක්ෂණයකදී තහනම් උත්තේජන භාවිත කිරීමේ වරදට හසුවීමෙන් මාස 15ක තරග තහනමට ලක්ව සිටි ඇය නැවත පිටියට පිවිසියේ 2017 අප්‍රේල් මාසයේදීය. එහෙත් ඉන් පසුව උරහිසේ ආබාධය නිසා ප්‍රධාන පෙලේ තරගාවලිය ගණනාවකට ඇය ක්‍රීඩා නොකළාය.


නව අදහස දක්වන්න