බංග්ලාදේශයට කඩුලු 6ක ජයක් | දිනමිණ

බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්

පෝල් ස්ට්‍රින්ග් ගේ විශිෂ්ට ශතකය අපතේ යවමින් බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගයෙන් කඩුලු 6ක පරාජයක් විද ගැනීමට සත්කාරක අයර්ලන්තයට සිදුවිය.

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ මෙහි පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 292ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දු 42ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් දැවී තිබියදීය.

කෙසේ වෙතත් මේ තරගයට පෙරම බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිණි. එම තරගය අද (17) පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලිටන් දාස් සහ ටමීම් ඉක්බාල් පළමු කඩුල්ලට ලකුණු 117ක් එක් කිරීමට සමත් වූහ. පන්දු 53කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 57ක් ලබාසිටි ඉක්බාල් පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර දාස් දැවී ගියේ ලකුණු 76ක් ලබාසිටියදීය. පන්දු 67කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඉනිමට එක්කරගෙන තිබිණි. සකීබ් අල් හසන් පන්දු 51කින් ලකුණු 50ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත් විය.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ට්‍රින්ග් ලකුණු 130ක් රැස් කිරීමට සමත් විය. පන්දු 141කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ලකුණු 59කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී නායක විලියම් පොටර්ෆිල්ඩ් සමග එක්වු ස්ට්‍රින්ග් ලකුණු 174ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය.

පොටර්ෆිල්ඩ් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 106කින් ලකුණු 94ක් රැස් කළේය. එහෙත් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි වුහ. අයර්ලන්තයේ බිඳ වැටුණු කඩුලු 9 යෙන් අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 58කට කඩුලු 5ක් දවාගත් අබා ජායෙඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

 

 


නව අදහස දක්වන්න