රට අනාරක්ෂිත යැයි පෙන්වීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා | දිනමිණ


 

රට අනාරක්ෂිත යැයි පෙන්වීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා

රට අනාරක්ෂිත බව පෙන්වීමේ උත්සහයක මේ වන විට ඇතැම් පිරිසක් නිරතව සිටින බවත් මෙම අවස්ථාවේ සියලු ජනතාව අවබෝධයෙන් සහ බුද්ධියෙන් කටයුතු කළ යුතු අවස්ථාවක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟ ගාල්ල දක්ෂිණ පාය ගොඩනැගිල්ලේ පසුගිය (12) දා පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මෙම හමුවීම් මාලාව සංවිධානය කැර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

අප්‍රේල් 21 වැනි දා සිදුවීම මේ වනවිට සති 3ක් ගෙවී ගිහින්. මේ කාලය තුළ ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශය, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය වගකීම ඉතා ඉහළින් සිදු කර ඇති නිසා ආරක්ෂක තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය හොඳයි කියන්න හේතු සාක්ෂි රාශියක් තිබෙනවා. වසර 30ක යුද අත්දැකීම් හා මාධ්‍ය තුළින් ඔබ දකින්නට ඇති මෙවැනි සිදුවීමක් සිදු වෙලා ලෝකයේ බලවත් රටවල්වලත් ඒ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා, අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න හැකි වුණේ නැහැ.යුරෝපය ඇතුළු බලවත් රටවල්වලත් අමෙරිකාව ,රුසියාව,ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, කැනඩාව ඒ සියලු රටවල්වල තිබෙන තාක්ෂණය හා යුද ශක්තිය පාවිචිචි කෙළේ ත්‍රස්තවාදී මූලස්ථාන විනාශ කරන්න. නමුත් අපේ රටේ දැනට තිබෙන ආරක්ෂක අංශවල දක්ෂතාවය නිසා මේ වනවිට මේ සංවිධානයට අයත් බවට වාර්තා ලැබුණු සියලු දෙනා අත්අඩංගුවට ගන්න පුඑවන්කම ලැබිලා තියෙනවා. මේ සංවිධානයේ 130ක් 140ක් සිටිනවා කියන වාර්තා තමයි ලැබුණේ. එයින් සෑහෙන පිරිස් මිය ගියා ,මරාගෙන මැරුණා ප්‍රහාරවලින්. තවත් පිරිසක් මිය ගියා හමුදාව සමඟ ගැටුමෙන්. ඉතිරි සියලු දෙනාම වගේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අය අතරේ ඉතාමත් ප්‍රබල මරාගෙන මැරෙන ත්‍රස්තාවාදීන් හිටියා.

මේ ප්‍රහාර නිසා සිදු වූ විශාල ජීවිත හානිය වගේම සංචාරක ව්‍යාපාරය කඩාවැටීම තුළ රටේ ආර්ථිකයට ඇති වූ ප්‍රබල බලපෑම අපිට ලේසියෙන් ගොඩගන්න පුළුවන්කමක් නැහැ. ආරක්ෂක අංශ මේ වනවිට ත්‍රස්තවාදීන් සියලු දෙනා කොටුකර තිබෙනවා. ආණ්ඩුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත්‍රය ආදිය ගොඩගැනීම සඳහා අැමැති මණ්ඩල අනුකමිටුවක් පත් කරමින් අවශ්‍ය මූලික පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ආණ්ඩුකාරතුමා, පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, යුද හමුදාවේ, නාවික හමුදාවේ ප්‍රධාන නිලධාරීන් ප්‍රකාශ කළා මේ පළාතේ ආරක්ෂක තත්ත්වය යහපත් තත්ත්වයකට පත් කරගෙන තිබෙන බව. ආරක්ෂාව සහතිකයි කියලා කිව්වා. ඒ කාරණය මම දැනගෙන තිබුණා. මම මෙහි ආවේ මතු වී තිබෙන තවත් ප්‍රශ්න කිහිපයක් නිසායි. ඒ නිසා ඔබව හමුවී මේ ගැන පැහැදිලි කරන්න මට අවශ්‍ය වුණා. මම ඊයේ අම්පාරට ගියා. එතනින් පොළොන්නරුවට ගියා. අද රෑ මම ආරක්ෂක ප්‍රධානීන් සමඟ කැබිනට් මණ්ඩලය රැස්කරලා තියෙනවා. පසුගිය දින 20 වැනි දා වැඩි කාලයක් මේ සිදුවීමෙන් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට ගන්න ආණ්ඩුවක් විදියට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මේ සිදුවීමේ වගකීම පැහැර හැරි අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. ඒ ගැන මම මීට වඩා කතා කරන්නේ නැහැ. මම 22 වැනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කළා. ඒ පරීක්ෂණ මණ්ඩලය මේ වනවිට ඒ කටයුතු සියයට අනූ නවයක්ම නිමකර තිබෙන්නේ. අතුරු වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. අවසන් වාර්තාව ලබන සතියේ ලැබෙයි. ලැබිලා තියෙන අතුරු වාර්තා දෙක තුළ පරීක්ෂණ මණ්ඩලය බොහොම පැහැදිලිව වගකිව යුතු අංශ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මේ වනවිටත් එය නීතිපතිවරයාට භාරදීලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා. 21 වැනිදායින් පසුව ඇතිවූ තත්ත්වය යහපත් අතට පත් කරන්න සියලු දේ කළා කියලා මම කියන කොට, කෙනෙක් අහන්න පුළුවන් 21 වැනිදා සිදුවීම ඇයි වළක්වා ගන්න බැරි වුණේ කියලා. 21 වැනි සිදුවීම වළක්වන්න බැරි වුණේ ඒ වගකිව යුතු අංශවල වගකීම පැහැර හැරි නිසයි. ඒකයි මම ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් කෙළේ. ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලට පහරදෙනවා කියලා මීට දවස් 10කට පෙර සිංහල භාෂාවෙන් ලියපු ලිපියක් ඇවිත් තිබුණා. එහි තානාපතිවරයා විදියට ඉන්නේ මම පත්කරපු හිටපු අැමැති අතාවුද සෙනෙවිරත්නගේ පුතාවන, බුද්ධි අතාවුද යි. ලියුම ලැබුණම තානාපතිතුමා එහි කොපියක් මට එව්වා. තවත් කොපියක් විදේශ කටයුතු ලේකම්ට යැව්වා. මට එවපු කොපිය මම බුද්ධි අංශවලට භාරදුන්නා. ලංකාවට වැඩියෙන් යුද ශක්තියෙන්, තාක්ෂණයෙන් ඉහළම රටක් තමයි ප්‍රංශය කියන්නේ. දවස් 10කට කලින් ගහනවා කිව්වත් ප්‍රංශ ආණ්ඩුවත් ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ලිපිය මම දන්නවා පොලිස්පතිතුමාටත් ගියා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ වෙන කාගෙන්හරි සමාජ මාධ්‍යවලට ගියා. පැරිස් තානාපති කාර්යාලයට වගේම ලංකාවේ තැන් හතරකට ගහනවා කියලා මේ ලියුමේ තිබෙනවා. අනිත් එක මම විශ්වාස කරන්නේ නැහැ පැරිස් තානාපති කාර්යාලයට ගහනවා නම් සිංහල භාෂාවෙන් ලිපියක් එවයි කියලා. මෙවැනි දේවල්වලින් කරන්නේ බිය ගැන්වීම් සහ නොමඟ යැවීම් සඳහායි. අපේ ආරක්ෂාව පිළිබඳව දැනට තිබෙන තත්ත්වය පිළිබඳව මම නම් සෑහීමකට පත් වෙනවා. මම ඒක පැහැදිලිවම කියන්නට ඕනෑ. බුද්ධි අංශ වාර්තා කරලා තිබෙන විදියට මේ සංවිධානයට අයත් සියලුම පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන සිටිනවා. මම ආණ්ඩුකාරවරු නව දෙනාටම උපදෙස් දුන්නා පළාත් සභා විසුරවලා තිබුණත් සියලුම පළාත් සභා නැවත කැඳවන්න කියලා. කැඳවලා පළාතේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ජා කරන්න. මේ සිදුවීමෙන් පස්සේ පාර්ලිමේන්තුව අවස්ථා තුනකදී රැස් වුණා. පාර්ලිමේන්තුවේ සුදුසු දේ වගේම අනවශ්‍ය දේත් කතා කරනවා. නමුත් පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් මම ඉල්ලීමක් කරන්නේ නගරාධිපතිතුමන්ලා ප්‍රාදේශීය සභාපතිතුමන්ලා සභාවේ මන්ත්‍රී මණ්ඩලය මේ වෙනුවෙන්ම කැඳවන්න. ආරක්ෂක තත්ත්වය සාකච්ජා කරන්න. යම් යම් දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා නම් ප්‍රදේශයේ පොලිසියේ ප්‍රධානීන්, හමුදාවේ ප්‍රධානීන් සමඟ මේ ගැන සාකච්ජා කරන්න, අවශ්‍ය සහයෝගය ඉල්ලන්න. අපි ආරක්ෂක අමාත්‍යාංශය විදිහටත්, පොලිසිය හා හමුදාව විදිහටත් රටේ මහජනතාවගේ ජීවිතවලට සහ පොදු දේපොළවලට සම්පූර්ණ ආරක්ෂාව සැලසීමට බැඳී සිටිනවා. රටේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කළ යුතු වෙනවා. ඒ වගකීම් ඉෂ්ට කරලා තිබෙනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය මූලිකව වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ආයතනික වශයෙන් ගනු ලබන සැලකිල්ල වැදගත් වෙනවා.

අනෙක් කාරණය තමයි දැන් අලුතින් මතුවෙන තත්ත්වය ගැන මම පැහැදිලි කරන්න අවශ්‍යයි. ත්‍රස්තවාදී සිදුවීම්වලින් පසුව සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතරේ අසමගියක් ඇති කරන්න, ගැටුම් ඇති කරන්න, යම් යම් පිරිස් උත්සාහ ගන්නවා.

රටට ස්ථිර සාමයක් ඇති කරන විට රට නොසන්සුන් කරන්න, විශේෂයෙන්ම ජාතිවාදී ගැටුම් ඇති කරන්න, ඇතැම් පිරිස් උත්සාහ කරනවා. ඒ උත්සාහය පිළිබඳව ඔබ සෑම කෙනෙක්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. යම් යම් පුද්ගලියන් තමන්ට හිතෙන දේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් වැරදි මත ඇති කරනවා. ජනතාව නොමග යනවා. බිය ඇති කරනවා. අපි පාසල් විවෘත කරලා පාසල්වලට දරුවන්ට එන්නයි කියලා කිව්වේ ඒ පිළිබඳව වගකීමක් ඇතිවයි. වගකීමක් නැතුව එහෙම කියන්නේ නැහැ. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, බුද්ධි අංශ ඉතා පැහැදිලිව වාර්තා කරලා කිව්වා පාසල් විවෘත කරන්න පුළුවන් කියලා.

අපි අවුරුදු 30 ක් අපි යුද්ධයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. අවුරුදු 30 ක් අපි බෝම්බ එක්ක ජිවත් වෙච්ච මිනිස්සු. මට කලින් හිටපු ජනාධිපතිවරු පස් දෙනාගේම කාලේ මේ රටේ බෝම්බ පිපුරුවා. මේ සිදුවීම මම සුළු කොට තකනවා නොවෙයි. බෝම්බ පිපුරුණා. බෝම්බ පිපිරිය යුතුයි කියලා මම කියනවා නොවෙයි. නමුත් මේ රටේ ප්‍රශ්න පිළිබඳව අපි හොඳ අත්දැකීම් තිබෙනවා. මෙවැනි ප්‍රශ්නවලට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා.

මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට ඇදී යාම වළක්වා ගන්න නම් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය සැකය ඉවත් කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මේ සඳහා විශේෂයෙන් මම දකුණු පළාතේ මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරතුමා ඇතුළු පළාත් පාලන ආයතන ඇතුළු ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සිංහල සහ මුස්ලිම් ගම්මාන එකට තියෙන ප්‍රදේශවල ආගමික පූජකතුමාලා ඇතුළු සිංහල සහ මුස්ලිම් ප්‍රාදේශීය නායකයින් එකතු කරලා හොඳ වැඩපිළිවෙළක් විධිමත්ව හදා ගන්න ප්‍රශ්න ඇති නොවන ආකාරයට.

අැමැතිරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන අැමැති ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අැමැති විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ ද, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න