ජාතීන් අතර කලකෝලාහලවීම්වලින් වාසි අත්වන්නේ ත්‍රස්තවාදීන්ටයි | දිනමිණ

ජාතීන් අතර කලකෝලාහලවීම්වලින් වාසි අත්වන්නේ ත්‍රස්තවාදීන්ටයි

ජාතීන් හා ආගම් අතර කලකෝලාහල ඇතිවූ විට එහි වාසි අත්වන්නේ ත්‍රස්තවාදීන්ට බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් මිලියන හත් සියයක වියදමින් තරුණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ ප්‍රතිපල ගැන අමුතුවෙන් විග්‍රහ කරන්නට දෙයක් නැහැ. මේ ප්‍රහාරය තුළින් අද මුළු ජන සමාජයම අකර්මන්‍ය වී අවසන්. ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයේ මරු පහර අද මාතෘ භූමියේ සියලුම දෙනාට අත්විඳින්නට සිදුව තිබෙනවා.

මේ සිදුවීමත් සමඟ අද අප ගෝලීය අයි එස් අයි එස් ත්‍රස්තවාදයට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. මේ භයංකාර අභියෝගය භාර ගනිමින් එයට මුහුණ දී ජයග්‍රහණය කරා රට ගෙන යන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි.

අප රටක් ලෙස ජයග්‍රහණය කරන්නට නම් එම ප්‍රහාරයේ අරමුණ කුමක්ද කියා අප සොයා බලන්නට අවශ්‍ය වනවා. එක රටක් පමණක් නොව රටවල් ගණනාවක් එකතු කර තමන්ගේම කලාපයක් නිර්මාණය කර ගැනීම එම ත්‍රස්තයන්ගේ එකම අරමුණ වී ඇත්තේ. ඔවුන් තමන්ගේ කලාපයක් නිර්මාණය කර ගැනීමට පෙර ප්‍රථමයෙන් සිදු කරනුයේ ත්‍රස්තවාදී ප්‍රහාර තුළින් රට තුළ මහා ගින්නක් නිර්මාණය කිරීමයි. පසුව එයින් ජාතීන් අතර ආගම් අතර ඇතිවන සමාජ ව්‍යසනය තුළින් තමන්ගේ ෂරියා නීතිය සහිත කලාපය නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ඔවුන් එම අරමුණ කරා යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නොවෙයි. අහිසංක ජනතාව සමූල ඝාතනයකට ලක්කර ඒ තුළින් ජාතීන් අතර ආගම් අතර ගිනි තබමින් මුළු රටම විනාශ කර විනාශය තුළින් තමන්ගේ බල පරාක්‍රමය නිර්මාණය වන කලාපයක් නිර්මාණය කර ගැනීමයි ඔවුන්ගේ එකම අරමුණ වන්නේ.

මේ කාලපයට ශ්‍රී ලංකාව පමණක් නොවෙයි පිලිපීනය, ඉන්දූනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල්ද එකතු කර ගනිමින් විනාශකාරී ක්‍රියාවන් සිදු කර ජාතී භේදය, ආගම් භේදය ඇවිලීම මොවුන්ගේ අරමුණයි.

මේ කාලවකවානුව ඉස්ලාමීය ආගමට වැදගත් වනවා. රාමලාන් කාලවකවානුව තුළත් පිටරටවල ඉස්ලාමීය දේවස්ථානවල සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවන් පුපුරවා ගැනීම් සිදු කර ගෙන තිබෙනවා. මොවුන් එම ක්‍රියාවන් සිදු කරන්නේ ජාතිය ආගම කේන්ද්‍ර කරගත් මහා කෝලහල ඇතිකර ඔවුන්ගේ ෂරියා නීතිය රජ කරවන කැලිෆෙට් රාජ්‍ය නිර්මාණය කර ගැනීමටයි.

අයි එස් අයි එස් ත්‍රස්දවාදීන්ගේ කැලිෆෙට් රාජ්‍ය නිර්මාණය කිරීම උදෙසා අපත් දායක වනවාද නැද්ද යන වග අප බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. ජාතීවාදී ආගම්වාදී කළ කෝලහාලවලට ඒ විනාශකාරී තත්ත්වයන් වලට ගිනි තැබීම් සිදු කරනාවද කියා අප තීන්දු කළ යුතුයි.

රට තුළ ජාතින් අතර ආගම් අතර කලකෝලහල ඇති වූ විට එහි වාසිය යන්නේ දේශපාලන පක්ෂ වලට ජනතාවටත් නොව අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ටයි. දේවස්ථාන, තරු හතේ හෝටල් කේන්ද්‍ර කර ගනිමින් බෝම්බකරුවන් ප්‍රහාර එල්ල කළේ රට තුළ විනාශකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමටයි. මෙය රටක කොටසක් කඩන දෙයක් නොව මුළු රටම ගොදුරක් බවට ගන්නා ජාත්‍යන්තර ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක්. අපිත් කලකෝලහල සිදු කර විනාශකාරී ක්‍රියාවන් ඇතිකර මේ ගින්න අවුලවා අයි එස් අයි එස් ත්‍රස්තවාදීයාට සහයෝගය ලබා දෙනවාද කියා රටක් ලෙසත්, ජනතාවත් ලෙසත් සිතා බලා තීන්දුවක් ගත යුතුයි. මේ ත්‍රස්තවාදය අපට පරාජය කරන්න පුළුවන්. ත්‍රස්තවාදිය පරාජය කරන්නට අප කටයුතු කරන විට රටේ සියලුම දෙනා එකට එකතු විය යුතුයි. ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ශක්තිය තුළ ප්‍රහාරයෙන් විනාශයට පත් වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව නව ව්‍යාපෘති සමඟ එම දේවස්ථාන විශිෂ්ට සංවර්ධනයකට ලක් කරනවා. පවුල් රැසකට වචනයෙන් විග්‍රහ කිරීමට නොහැකි විනාශයක් සිදුවුණා. අප මේ ගැන කොපමණ කතා කළත්, කොපමණ වරදාන වරප්‍රසාද ලබා දුන්නත් නැති වූ ජීවිත වලට නැවත ප්‍රාණය දෙන්නට බැහැ.

අයි එස් අයි එස් ත්‍රස්තවාදීයාගේ අරමුණ අප හදුනා ගන්නට අවශ්‍යයි. මේ ප්‍රහාරයෙන් අසාධාරණයක් වූ අයට සාධාරණයක් සිදු කරනවා නම් අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ගේ අරමුණු විනාශ කිරීම සිදු කළ යුතුයි. එය සිදු කිරීමට ජාතී, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය අපට අවශ්‍ය වනවා. විනාශයක් සිදු වනවිට එතන ත්‍රස්තවාදීන්ගේ බීජ ව්‍යාප්ත වීම සිදුවනවා. මෙය එක රටක තිබෙන ත්‍රස්තවාදයක් නොවෙයි. ලෝකයේ බලවත්ම රටවල් පවා බැට කෑ ත්‍රස්තවාදයක්. අයි එස් අයි එස් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරන රටවල් සමඟ අප එකතු විය යුතුයි. එකට එකතු වී ගෝලීය ත්‍රස්තවාදය අප පරාජය කළ යුතුයි.

නව අදහස දක්වන්න