ජිහාඩ්වාදය මෙරටින් තුරන් කිරීමට වත්මන් රජයට හැකියාව තියෙනවා | දිනමිණ


 

ජිහාඩ්වාදය මෙරටින් තුරන් කිරීමට වත්මන් රජයට හැකියාව තියෙනවා

ජිහාඩ්වාදය මෙරටින් අතුගා දැමීමට වත්මන් රජයට හැකියාව තිබෙන බවත් ඒ සඳහා අවසන් මොහොත දක්වා සටන් කිරීමට සූදානම් බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ජනතාව කුමන ආකාරයට සිතුවත් ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (15) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපි දේශපාලනඥයන් වුවත් මනුෂ්‍යයන්, සමස්ත දේශපාලන ප්‍රජාවම හාස්‍යයට ලක්කර ප්‍රචාර සිදු වෙනවා .මම ෆේස්බුක් සහ සමාජ මාධ්‍යවල දැකලා තියෙනවා. මේ සිද්ධියට අදාළව ඇති වී තිබෙන හැඟීම්, දුක, වේදනාව මට තේරුම් ගන්න පුළුවන්. මේ ක්‍රමයේ වැරැද්දක් ඇති බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා තේරුම් ගෙන තිබෙනවා. අගමැතිවරයා ආණ්ඩුවේ පැත්තෙන් සමාව ගැනීමට පවා ඉදිරිපත් වුණා. සමාව ගත්තා කියලා මේ ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූ අයගේ ජීවිත නැවත ලැබෙන්නේ නැහැ කියන එක ඇත්ත. එහෙත් අප්‍රේල් 21 දා මේ සිද්ධිය වූ දිනයේ සිටම එහි බලපෑම අවම කිරීමට ආණ්ඩුව හැකි සෑම පියවරක්ම ගත්තා. අප එය කළ බව ඔබ, ඔබේ හදවත දන්නවා. ඒ නිසා ආරක්ෂක පියවර කඩකළා කියලා අපට තවත් චෝදනා නඟන්න බැහැ. ආණ්ඩුව ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වූ නිසා තවත් පිපිරීම් දෙක තුනක්වත් නතර කරගැනීමට හැකි වුණා කියලා මම කියන්න කැමැතියි. මේ සිද්ධියට සම්බන්ධ නායකයන් පැය 24ක් ඇතුළත අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සමත්වීම විශේෂ කාරණයක්. ආරක්ෂක අංශ මනා සම්බන්ධයක් ඇතිව ඉතාම මැනැවින් ක්‍රියාත්මක වී මේ ත්‍රස්ත ජාලය විනාශ කිරීමට කටයුතු කළා. මට කියන්න පුළුවන්. සහරාන්ගේ ඒ නිශ්චිත ජාලය විනාශ කළා කියලා. ඒවගේම මේ වගේ ජිහාඩ්වාදී ඉස්ලාම් ත්‍රස්තවාදයක් තවදුරටත් අපේ රටට නොඑන බවට මට සහතිකවම කියන්න පුළුවන්. මේ නිසා ආරක්ෂක හමුදා ශක්තිමත් කර තිබෙන බවත්, 21 වැනිදා දක්වා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කුමන හෝ දේශපාලන මතයක් දැරුවත් මේ නිශ්චිත ප්‍රශ්නයේ දී සියලු ප්‍රතිවිරෝධතා අත්හැර එකම අරමුණකට අනුව ඔවුන් ක්‍රියාකරන බව මට සහතික විය හැකියි. එදා ඉඳලා සති දෙක තුනක් ගතවීමෙන් පසු අපි 12, 13 සහ 14 යන දිනයන් පසු කරනවා. මෙහි තියෙන හොඳම කාරණය තමයි මේ අය වෙනත් ප්‍රදේශවලින් රැගෙන ආ සංවිධානාත්මක මැරයන් වීම. අපට එයට සාක්ෂි තිබෙනවා. ඒවා ඔප්පු කළ හැකියි. අප නිසැකවම ඊට අවශ්‍ය පියවර ගන්නවා. තිබෙන සම්පත් උපරිම ලෙස කාර්යක්ෂමව යොදාගෙන ගතයුතු ක්‍රියාමාර්ග ඉතා තදින් ඉටු කරන ලෙස අපගේ නායක රනිල් වික්‍රමසිංහ පොලීසියට නියෝග ලබා දී තිබෙනවා. මේ කටයුතුවලට කිසිම දේශපාලනඥයකුට මැදිහත්වීමට ඉඩ නොදෙන ලෙසත් කිසියම් දේශපාලනඥයෙක් ඒ සඳහා මැදිහත් වුවහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් අගමැතිවරයා දැනුම් දී තිබෙනවා. මට ඒ ගැන ඔබට සහතික විය හැකියි. අප අතරේ විවිධ දේශපාලන වෙනස්කම් තිබුණත් රටේ ආරක්ෂාව අංක එකට ගත යුතුයි. ජිහාඩ්වාදය මේ රටෙන් අතුගා දැමීමට අපට හැකිවන බවත් ඒ සඳහා අවසන් මොහොත දක්වා එක ලෙස සටන් කරන බවත් මම විශ්වාසයෙන් කියනවා. මේ සංවිධාන තහනම් කිරීමේ ගැසට් පත්‍රය ගෙන ඒම අප සිදු කළා. මද්‍රාසා පිළිබඳ පනත ළඟදීම ගෙන එනවා. මහජන ආරක්ෂාව පිළිබඳ පියවර රැසක් අප ගෙන එනවා. මේ රටේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කළ හමුදා විරුවන්ට මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳීම සඳහා සම්පූර්ණ නිදහස ලබාදී තිබෙන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඇතැම් මාධ්‍ය ආයතන මේ අවස්ථාවේ වෙනස් ආකාරයෙන් ක්‍රියාකිරීම ගැන මම කනගාටු වෙනවා. ඒවගේම මේ මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන අප නිරීක්ෂණය කරමින් සිටින බව පැවසිය යුතුයි. මට කනගාටුයි කියන්න .ඔවුන් ක්‍රියාකරන්නේ ඉතාම වගකීමක් නැති ආකාරයෙනුයි. ඔවුන් උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය යථාර්ථයෙන් පිටතට රැගෙන යාමටයි. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සහතිකයි. ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණ පැවැත්වෙනු ඇති. එය වෙනස් වෙන්නේ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කරනවා. ඔබට මේ රටේ සිදුවන ඕනෑම දෙයක් වාර්තා කළ හැකියි කියන කාරණය අපි පිළිගන්නවා. හැබැයි සුදු වෑන් ඇවිත් ඔබව පැහැරගෙන යන්නේ නම් නැහැ. ඉතින් ඔබට අප ගරු කරන එකේ අපට ගරු කරන්න කියලා අපි කියන්නේ නැහැ. ඒත් රටේ ස්ථාපිත ආයතනවලට ගරු කරන්න කියලයි ඔබෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවට ගරු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ ප්‍රශ්නය විසඳීමට එක්සත්ව ක්‍රියාකරනවා. මේ සංවිධාන බිඳ දැමීමට අවශ්‍ය සෑම පියවරක්ම දැනමටත් රැගෙන තිබෙනවා. තවදුරටත් අවශ්‍ය පියවරද ගැනීමට ආණ්ඩුව කිසිවිටකත් පසුබට වන්නේ නැහැ. ඒ වගේම මෙතැනට අදාළ නැති වුණත් සමහරු කියන කාරණයක් මතු කරන්න මා කැමැතියි. ඇතැම් අය මොන විධියට සිතාගෙන හිටියත් ආණ්ඩුව එළැඹෙන ඕනෑම මැතිවරණයකට සංවිධානාත්මකව මුහුණ දීමට සූදානම්. මේ සිද්ධිවලදී ජීවිත අහිමි වූ අයට නැවත ජීවිතය දිය නොහැකියි. ඒ ගැන අප ඉතාම සංවේදීව කනගාටු වෙනවා. ආරක්ෂක පියවරවල අඩුවක් තිබූ බව පිළිගත යුතුයි. ඒත් දැන් ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සිද්ධියෙන් විපතට පත් වූ අයගේ පවුල්වල ජීවිත නඟා සිටුවීමට පියවර ගැනීමත් අමතක කළ නොහැකියි.

බුද්ධි කරුණාරත්න, අසේල ලියනගේ

නව අදහස දක්වන්න