පාස්කු සිද්ධියෙන් පසු ගැටුම් ඇති කරන්නේ දේශපාලන රැකවරණය ලබන පිරිස්වල මෙහෙයවීමෙන් | දිනමිණ

පාස්කු සිද්ධියෙන් පසු ගැටුම් ඇති කරන්නේ දේශපාලන රැකවරණය ලබන පිරිස්වල මෙහෙයවීමෙන්

චමීර ඇල්ලදෙණිය

පාස්කු ඉරිදා සිද්ධියෙන් සති තුනකට පසුව සිදු කෙරෙන අන්තවාදී ගැටුම් ඇති කරනුයේ දේශපාලන රැකවරණය ලබන කණ්ඩායමක මෙහෙයවීමෙන් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අයගේ දේශපාලනය සොයා බලා ඒ පිළිබඳ මහජනතාවට අනාවරණය කරන ලෙසද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (15) පැවැති ජාතික මඟ මහජන ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට එක්වෙමෙන් පරණවිතාන මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ආරක්ෂක අංශයේ පැවැති හිදැස පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

ජාතික මඟ මහජන ව්‍යාපාරය මගින් ශක්තිමත් ප්‍රත්තියක් එළිදක්වන්න අප කටයුතු කරනවා. ඒ සඳහා නොයෙක් අංශවල වෘත්තිකයන්ගේ අදහස් හා මහජන අදහස් අපි ලබාගන්නවා. සබුද්ධික ජනතාවගේ අදහස් අපට අවශ්‍ය වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණේ ආරක්ෂක හිදැසක් ඇති නිසා කියා අපි ආණ්ඩුවක් හැටියට පිළිගන්නවා. නමුත් එය විසඳාගෙන තිබෙන වෙලාවක නැවත අන්තවාදී ගැටුමක් නිර්මාණය කිරීමට සමහර දේශපාලන කණ්ඩායම් උත්සාහ දරා තිබෙන බව පෙනෙනවා. මොකද මෙවැනි තත්ත්වයක් නිසර්ගයෙන් ඇතිවෙන්නේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුව දින 21ක ගතවෙනවා. මේවා ආවේගශීලී ප්‍රහාර නොවෙයි. ඒ නිසා මේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳවත් ඔවුන්ගේ දේශපාලනය පිළිබඳවත් සොයා බලා ජනතාවට තොරතුරු ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේ තේරීම් කරක සභාව මගින් පුළුල් පරීක්ෂණයක් සිදු කර කෙළින්ම එම වාර්තාව ජනතාවට එළිදැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අපි සාර්ව ආගමික උපදේශක මණ්ඩලයක් ඇති කරන්න කියා යෝජනා කරනවා. එමගින් සියලුම ආගම්වලට අයට සෑම ආගමකම යම් දැනුමක් ලබාදෙන්න කටයුතු කළ හැකියි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා-

දශක තුනක් පැවැති යුද්ධයක් අවසන් කර තිබූ වෙලාවක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමෙන් නැවත භයංකර වාතාවරණයක් ඇතිව තිබෙනවා. මේ තත්ත්වය හමුවේ නිවැරැදි වාර්තාකරණයක් මාධ්‍ය යෙන් සිදු නොවුණොත් ඊළඟ පරම්පරාවටත් භයානක තත්ත්වයක් නිර්මාණය වීම වළක්වා ගන්න බැහැ. පාස්කු ප්‍රහාරය දිනයේ ඊට ආසන්න දිනවල මාධ්‍ය වාර්තාකරණය හොඳින් සිදු වුණා. නමුත් දැන් දැන් වාර්තාකරණය සිදු කරන්නේ කිසියම් දේශපාලන කණ්ඩායමක හැසිරවීමකින්ද කියා අපට සිතෙනවා. මේ නිසා රට ආරක්ෂිත නැහැ කියා සමහර මාධ්‍ය කියන්න උත්සාහ දරනවා. ඒ නිසාම මවුපියන් පාසල්වලට දරුවන් නොයන තැනට ගිහින් තිබෙනවා.

නීතිඥ රවී ජයවර්ධන මහතා-

අන්තාවාදී ලෙස හැසිරෙන සියලුම දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ දැනට සිදුවන ගැටුම් පිටුපස දේශපාලන කණ්ඩායම් තිබෙන බවට අපට සැකයක් තිබෙනවා. මොකද සමහර නළුවෝ මේ තැන්වල සිටි බවට සමාජ ජාලාවල පළවෙලා තිබෙනවා.

නව අදහස දක්වන්න