මුදල් වංචා කළ දොස්තර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග | දිනමිණ

මුදල් වංචා කළ දොස්තර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

වාහන බලපත්‍ර වලට පිටරටින් වාහන ආනයනය කර දෙන බව පවසමින් ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකුගෙන් රුපියල් 9,359,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධව එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පෙරේදා (15) රහස් පොලිසියට නියෝග කළාය.

කොස්වත්ත, බත්තරමුල්ල පදිංචි හපුආරච්චි‍ගේ දොන් බුද්ධි නුවන් කරුණාරත්න යන අය අත්අඩංගුවට ගැනීමට මෙසේ අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා ජයවර්ධන පුර රෝහලේ වෛද්‍යවරයකු වන මීගමුව පාර, වැලිසර පදිංචි වර්ණසුරිය ජෙහාන් නිරෝෂ් ඇන්ටන් ප්‍රනාන්දු මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වේ. සැකකරු වාහන ආනයනය කරන බවත් තමන්ට අයත් වාහන බලපත්‍රයෙන් ටොයෝ‍ටා ප්‍රිමියෝ හා බිරිය වන ශමල්කා නිල්කාමාලි ප්‍රනාන්දු යන අයට අයත් බලපත්‍රයෙන් බී.එම්.ඩබ්ලිව් කළු පැහැති වර්ගයේ රථයක් ගෙන්වා ගැනීමට සැකකරු සමඟ එකඟ වු බවට පැමිණිල්ලේ සඳහන්ය.

එම එකඟතාවයෙන් පසු අවස්ථා හතරක දී මුදල් ලබා දුන් බවත් තමන්ට වාහනයක් ගෙන්වා දුන්නද සිය බිරියට පෙරොන්දු වු පරිදි වාහනය ගෙන්වා නොදුන් බවත් මුදල් ද ආපසු නොලැබුණු බවට පැමිණිල්ලේ සඳහන් වේ.දණ්ඩ නීති සංග්‍රහයේ 386,389 වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

සැකකරුට කඩුවෙල අධිකරණයේ ද නඩු ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලදි.

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා

 


නව අදහස දක්වන්න