ලොරි-වෑන් අනතුරෙන් දැරියක් ඇතුළු තිදෙනෙක් මරුට | දිනමිණ


 

ලොරි-වෑන් අනතුරෙන් දැරියක් ඇතුළු තිදෙනෙක් මරුට

දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී පෙරේදා (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනකු මියගොස් තවත් 6 දෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව කැකිරාව පොලිසිය කියයි.

වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු කාන්තාවක සහ කුඩා දියණියක බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතර භික්ෂූන් වහන්සේ නමක් ද වෙයි. ලොරි රථයේ රියැදුරුද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මාතලේ මහවෙල පොලිස් බල ප්‍රදේශයේ කවටයාමුන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

මෙම පිරිස අනුරාධපුර ජයසිරි මහා බෝධීන් වහන්සේට පූජාවක් පවත්වා නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අනතුර සිදුව ඇතැයි කැකිරාව පොලීසිය කියයි.

ලොරි රථය දඹුල්ල දෙසින් කැකිරාව දෙසට ධාවනය කරද්දී වෑන් රථය කැකිරාව දෙසින් දඹුල්ල දෙසට ධාවනය වී තිබේ. වාහනයක් ඉස්සර කිරීමට නොහැකි තනි ඉරක් ඇති ස්ථානයක අනතුර සිදු වී තිබෙන බවත් වෑන් රථය ඉතා අපරික්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය යෙදීම හෝ රියැදුරට නින්දයාම අනතුරට හේතුවී ඇතැයි පොලිසිය සැකකරයි.

අනතුරෙන් වැන් රථයට දැඩි හානි සිදුව මාර්ගය හරහා පෙරැළි තිබේ. ලොරි රථයද මාර්ගය හරහා පෙරැළී ගොස් තිබිණි .

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න