ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් | දිනමිණ


 

ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් තැබුවා
- ඇමැති දයා ගමගේ

ත්‍රස්තවාදය පරදන්න සහාය දෙන්න පොරොන්දු වුණා
- උතුරු පළාත් ආණ්ඩුකාර

චීන ශ්‍රී ලංකා නායක හමුව සාර්ථකයි
- රාජ්‍ය අැමැති අශෝක් අබේසිංහ

ත්‍රස්තවාදය පරදන්න චීන අත්දැකීම්
- දකුණු පළාත් ආණ්ඩුකාර

චින ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් අනුව , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ චින සංචාරයෙන් අප රටට මහඟු ප්‍රතිලාභ රැසක් ලැබුණු බව වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්විම් ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ චීන සංචාරයට එක්වීමෙන් පසු අදහස් දක්වමිනි.

අැමැති දයා ගමගේ මහතා මෙසේද පැවසිය.

චීන ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ කළ සංචාරය අපේ රටට වැදගත් අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. එහි දී චීනයත් ශ්‍රී ලංකාවත් අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණා. චීනය මේ අවස්ථාවේ දී දශ ලක්ෂ දෙදහස් පන්සියකට වැඩි ආධාරයක් ලබා දුන්නා. ඒකට අපේ රටට අවශ්‍ය වෙන අධි තාක්ෂණය ඒ කියන්නේ අපේ ආරක්ෂක විධි විධාන වැඩි කරන්න චීන රජය අපිට ඒ ආධාරය ලබා දුන්නා.

ඒ වගේම අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව පොලීසියට ජීප් රථ 100ක් ලබා දෙන්නත් ඔවුන් එකඟ වුණා. ඊට අමතරව අපේ රටට දැනට සංචාරකයින්ගේ ඒම සියයට 70කින් විතර අඩුවෙලා තියෙනවා. මේ ඇති වුණ ප්‍රශ්න එක්ක ඒ තත්ත්වය පුළුවන්තරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න විශේෂයෙන් අපි ආරාධනා කළා චීනයේ නියෝජ්‍ය සංචාරක ඇමැතිතුමාට ලංකාවට එන්න කියලා. එතුමා ඒ ආරාධනය පිළිගත්තා. මම විශ්වාස කරනවා චීන සංචාරකයෝ ඉතාමත් ඉක්මනින් වෙන දා ආවා වගේම එන්නට පටන් ගනී කියලා. ඒ වගේම තවත් ලංකාවට අවශ්‍ය කරන, ඉදිරියේ දී අපේ රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කර ගන්නට හැකි හැම උදව්වක් ම චීන රජය අපිට ලබා දෙන්නට එකඟ වුණා. මම විශ්වාස කරනවා මේ සංචාරය ඉතාමත් සාර්ථක සංචාරයක් කියලා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා-

ජනාධිපතිතුමා සමඟ චීන සංචාරයකට එක්වීමෙන් පසුව අප නැවත දිවයිනට පැමිණියා. ඒ සංචාරය ඉතාමත් වැදගත් සාර්ථක සංචාරයක්. මන්දයත් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියටත් අපි ජන සමූහයක් හැටියටත්, මුහුණ දෙන ප්‍රබල ම අභියෝගය වී තිබෙන ත්‍රස්තවාදය ජයගන්නට අවශ්‍ය කරන බුද්ධිමය දායකත්වයත්, ද්‍රව්‍යමය දායකත්වයත්, මූල්‍යමය දායකත්වයත් ලබාදෙන්නට චීන රජය මේ සංචාරයේ දී ජනාධිපතිතුමාට පොරොන්දු වුණා. මූල්‍යමය වශයෙන් රුපියල් බිලියන 5කටත් වඩා අධික ප්‍රමාණයක ආධාර දෙන්නට චීන ජනාධිපතිතුමා එකඟවුණා. මෙය විගසින් ම ලබා දෙන්නයි කටයුතු කෙළේ.

අපි රාජ්‍යයන් දෙකක් විදියට අන්තවාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට, අභියෝග හමුවේ කටයුතු කරන්නට එකඟ වුණා. ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක පිහිටි රටක්. මේ හරහා අපේ රටටත්, අපේ රට හරහා අනෙක් රටවල්වලටත් ත්‍රස්තවාදය ව්‍යාප්ත විය හැකියි. ඒ නිසා ඊට අවශ්‍ය වන බුද්ධිමය ආරක්ෂාව, තාක්ෂණික දැනුම ලබා ගන්න අපි එකඟ වුණා. මෙය කඩා වැටී ඇති විශ්වාසය, බලාපොරොත්තු ගොඩනගන්නට හේතු වෙනවා. ජනාධිපතිතුමා ඒ නායකයන් සමඟ සාකච්ඡා කරලා ගිවිසුම් වලට එළැඹුණා. ඒ නිසා මෙම චීන සංචාරය ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයකින් ලබා ගත්තා වූ විශිෂ්ට ජයග්‍රහණයක් විදිහටයි මා සළකන්නේ.

රාජ්‍ය අැමැති අශෝක් අබේසිංහ මහතා-

චිනයේ බිජිං නුවර ආසියානු රටවල් හතළිස් අටක සහභාගිත්වයෙන් ශිෂ්ටාචාර පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. චින ජනාධිපති ෂින් ජින්පින් මැතිතුමාගෙන් ජනාධිපතිතුමාට විශේෂ ආරාධනයක් ලැබුණා. මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ජා කරන්න. ඒ සාකච්ජාව ඉතා සාර්ථකයි. මුලින් සාකච්ජාවේ දී ජනාධිපතිතුමා දැනුම් දුන්නා අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපිට මොනවද අවශ්‍ය කියලා. ඒ සියල්ලම එතුමා ඉතා ඉහළින් පිළිඅරන් ඒ අවස්ථාවේ දී යුවාන් මිලියන 100 ක ආධාරයක් ලබා දෙන්න තීන්දු කළා. අපිට අවශ්‍ය ඉදිරි ආධාර පිළිබඳ නිලධාරීන් සමඟ සාකච්ජා කරලා, ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙනවා කියලා ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම පොලිසිය සඳහා එතුමා ජීප් රථ 100 ක් ලබා දීමටත් පොරොන්දු වූණා.

ඒ වගේම විශේෂයෙන් ඉදිරියේ දී ගුවන් තොටුපොළ සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ ලබාදීම සඳහා එතුමා කැමැත්ත ප්‍රකාශ කළා. එතුමා අපේ රට චිනයත් සමඟ තියෙන දිර්ඝ කාලීන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි කියලා ප්‍රකාශ කළා. ඉතා සාර්ථක සාකච්ජාවක් ජනාධිපතිතුමා සහ චින ජනාධිපතිතුමා අතර සිදු වුණා.

ඊට සමගාමී ව චිනයේ අගමැතිතුමත් හමු වුණා. චිනයේ අගමැතිතුමාත් එය සම්පුර්ණයෙන් සනාථ කළා. පොළොන්නරුවේ ඉදිවෙන වකුගඩු රෝහල ඉදිකිරීම පිළිබඳ සාකච්ජා කළා. ඒ වගේම 21 වැනි දින පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයත් සමඟ සංචාරකයන් ගේ පැමිණීම පහළ වැටීම පිළිබඳව අපි සාකච්ජා කළා. විශේෂයෙන්ම එතුමාන්ලා ප්‍රකාශ කළා ලක්ෂ දෙක හමාරක් තුනක් අතර චින සංචාරකයන් ලංකාවට පැමිණෙන බව. එය ඉදිරියේ දී වර්ධනය කර ගැනිම සම්බන්ධයෙන් චිනය පැත්තෙන් ගත හැකි ක්‍රියා මර්ග ගන්නා බව එතුමන්ලා ප්‍රකාශ කළා. මේ සංචාරයේ සාර්ථකත්වය වෙන්නේ චින ජනපති ෂින් ජින්පින් මහතා සහ ජනාධිපතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ජා පැයකට ආසන්න කාලයක් කරන්නට හැකි වීමයි.

ලෝකයේ ප්‍රධාන බලවතෙක් සමඟ අපේ ජනාධිපතිතුමා මුහුණට මුහුණ සාකච්ජා කරලා, අපේ රටට අවශ්‍ය ආධාර සහ ඉදිරි සහයෝගය ලබා ගැනීමට එතුමා පෙරොන්දු වීම අපේ රට ලබා ගත් සුවිශේෂ ජයග්‍රහණයක්.

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා-

ජනාධිපතිතුමා කැබිනට් අැමැතිවරු සහ ආණ්ඩුකාරවරු සමඟ එක් ව අද චීනයේ කළ සංචාරය අතිශයින් ම වැදගත්. අපිට අප ගේ අපේක්ෂිත ඉළක්ක අරමුණු කරා මේ සංචාරයේ දි ළගා වෙන්නට හැකි වුණා. චීන ජනාධිපතිවරයා සහ චීන අගමැතිවරයා සමඟත් ආරක්ෂක අංශ සහ විදේශ අමාත්‍යංශය ඇතුළු ඉතාම තීරණාත්මක වැදගත්කමකින් යුතු අංශ සමඟ ද්විපාර්ශික සාකච්ඡා පවත් වන්නට මේ සංචාරයේ දී අවස්ථාව ලැබුණා. ලංකාවේ ත්‍රස්තවාදය මැඩලීම සඳහා අවශ්‍ය තාක්ෂණික මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර විද්යුත්උපකරණ, මෘදුකාංග සහ මුදල් මේ සංචාරයේදි අපට ලබා ගැනීමට හැකියාව ලැබුණා. චීනය ත්‍රස්තවාදය, වර්ගවාදය, ආගමික බෙදුම්වාදය ඉතාමත්ම සාර්ථකව ජයගත් රාජ්‍යයක්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් සහ ඒ සඳහා භාවිතා කරපු යන්ත්‍ර සූත්‍ර, මෘදුකාංග ඇතුළු දැනුම ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා රජයට පොලිස් දෙපාර්තමේන්තුව සහ මේ ආරක්ෂක අංශ වලට විශේෂයෙන් අවශ්‍ය වන ජීප් රථ 100 ක්, ලබාදීමට මේ සාකච්ඡා වලදී එකඟතාවය ලැබුණා. වර්ගවාදී සහ වෛරී භාවිතයන් සහිත ප්‍රකාශන සහ ව්‍යාජ තොරතුරු පැතිරවීම පාලනය කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග මේ සංචාරයේ ප්‍රතිථලයක් විදියට ශ්‍රී ලංකාව වෙත ලැබෙනවා.

ඒ වගේම මෙයට පෙර සාකච්ඡා මට්ටමින් පැවතිලා ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා යොදා ගැනීමට නියමිත නාවික යාත්‍රාව ලබාදීම ඉදිරි මාසය තුළ සිදු වෙනවා ඇති. අපි පසුගිය දින වල අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ දුන්නාට පස්සේ අපි දැකපු දෙයක් තමයි ලංකා ආණ්ඩුව සහ මේ ආරක්ෂක අංශ වලට මේ සඳහා සටන් කිරීමට ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ වල හිඟයක් තිබුණා. මෘදුකාංග සහ වාහන පවා විශාල වශයෙන් අඩු කමක් තිබුණා. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ජයගන්නට අවශ්‍ය දැනුම තාක්ෂණය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන හිතවතෙක් වන චීනය ලබලා දීලා තියෙනවා. පසුගිය යුද සමයෙදිත් චීනය තමයි හුඟක්ම තීරණාත්මක අවස්ථා වලදී එල්.ටී.ටී. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා, පරාජය කිරීම සඳහා තාක්ෂණික සහ යුධමය ආධාර අපිට ලබලා දුන්නේ. ඒ ආධාරයන් මේ අවස්ථාවේදි නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසීම ඉතාමත් වැදගත්. රුපියල් බිලියන 5 කට වැඩි වටිනා සම්පත් ද්‍රව්‍ය උපකරණ මේ සංචාරයේ ප්‍රතිථලයක් විදියට ශ්‍රී ලංකාවට ලැබෙනවා.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න