කටුවපිටිය බෝම්බයෙන් මියගිය 89කට ලක්ෂ 10 බැගින් වන්දි | දිනමිණ


 

කටුවපිටිය බෝම්බයෙන් මියගිය 89කට ලක්ෂ 10 බැගින් වන්දි

පාස්කු දින කටුවපිටිය දේවස්ථානයේ දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය අසූනව දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ වන්දි ප්‍රදානය කිරීම ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව තම්මිට කාදිනල් කුරේ ධර්ම උපදේශක මධ්‍යස්ථානයේ දී ඊයේ (16) සිදු කෙරිණි.

බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ 130 දෙනෙකු වෙනුවෙන් එක් අයකුට රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව වන්දි ප්‍රදානය කිරීමද සිදු විය.

කොච්චිකඩේ, කටුවපිටිය සහ මඩකලපුව යන දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එක් දේවස්ථානයකට රුපියල් මිලියන 10 බැගින් ලබා දෙන බව ඇමැතිවරයා එහිදී සඳහන් කළේය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

මිනුවන්ගොඩ, කුරුණෑගල ඇතුළු අනෙකුත් සෙසු ප්‍රදේශවල දේපළවලට හානි කරමින් ප්‍රචණ්ඩත්වය දියත් කළ දේශපාලනඥයන් පිළිබඳ රජයක් ලෙස අපි සොයා බලනවා.

මෙම සිද්ධියේ දී කාදිනල්තුමා මැදිහත්ව ජාතීන් අතර ඇතිවීමට ගිය සටනක් සාමයෙන් විසඳා දුන්නා. උන්වහන්සේ මුස්ලිම් දේවස්ථානවලට ගොස් මවුලවිතුමන්ලා මුණ ගැසී බියෙන් සැකෙන් තොරව සිටීමට ඔවුන්ට පසුබිම සකස් කළා. එහෙත් පසුගිය දා කුරුණෑගල මිනුවන්ගොඩ හා සෙසු ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වපුරා දේපළවලට හානි කිරීමට කණ්ඩායම් ඉදිරිපත් වුණා. මේවාට දේශපාලන නායකත්වය දෙන විවිධ අය සිටිනවා. අපි ඔවුන් ගැන සොයා බලනවා.

මෙම බෝම්බ සිද්ධියේ දී වෛද්‍යවරු, ස්වේච්ඡා සංවිධාන, පූජක පක්ෂය එක්ව කළ මෙහෙය අපි අගය කළ යුතුයි. මේ අවස්ථාවේ මිය ගිය අය 89 දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ප්‍රදානයක් ද තුවාලකරුවන් 130 දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව වන්දි මුදල්ද ප්‍රදානය කරනවා. තුවාලකරුවන්ට වන්දි ප්‍රදානය වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සිදුවුණේ. මීට වඩා වන්දි ලබාගැනීමට අය සිටිනවා නම් දැනුම් දෙන්න. මිය ගිය අය පිට ප්‍රදේශවල සිටීමට පුළුවන්.

කොච්චිකඩේ, කටුවපිටිය, මඩකලපුව යන දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් දැනටමත් එක් දේවස්ථානයකට මිලියන 10 බැගින් ලබා දී තිබෙනවා.

තුවාල ලැබූ අයට දැනට කෙරෙන ප්‍රතිකාර කටයුතු ප්‍රමාණවත් නොමැති නම් සුදුසු සත්කාර සේවා ලබාදීමට සූදානම්. භාරකාරයෝ නොමැති මව්පියන් නොමැති තුවාල ලැබූ අය සිටිනවා නම් ඒ ගැන සොයා බලා රැක බලා ගන්නා සංවිධාන තිබෙනවා. ඔබලට සිදුව ඇති මෙම විපතට රජයක් ලෙස පූර්ණ කැපවීමෙන් කටයුතු කරනවා.

සිස්වාන් කෲස් පියතුමා ද අනුශාසනාවක් කළහ.

මීගමුව කලාපීය අනුනායක සිස්වාන් කෲස් පියතුමා ඇතුළු පියතුමන්ලා ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයෝ ද මේ අවස්ථාවට එක්වූහ.

කොච්චිකඩේ විශේෂ
ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න