ජාතිවාදී පුද්ගලයන්ගේ වුවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන්න | දිනමිණ


 

ජාතිවාදී පුද්ගලයන්ගේ වුවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන්න

ජාතිවාදී පුද්ගලයන්ගේ පටු වුවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට තුළ ඇති වී තිබෙන තත්ත්වය ඉතාමත් කනගාටුදායකය. පාස්කු ඉරිදා එල්ල වූ මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය මා විසින් දැඩිව හෙළා දකිනවා. අන්තවාදී සුළුතර මුස්ලිම් කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ල කර ඇති බවට ආරක්ෂක අංශ සිදු කළ පරීක්ෂණවලදී මනාව තහවුරු විය. ඒ අනුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කටයුතු කරමින් සිටී.

මුස්ලිම්, දෙමළ හෝ සිංහල කිසිදු අන්තවාදයක් මා අනුමත නොකරමි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම උත්සන්න වුවහොත් 83 ඇති වූවා වැනි අවාසනාවන්ත සිදුවීම්වලට අපට මුහුණදීමට සිදුවේවි. එහිදී අසරණ දෙමළ මිනිසුන්ට පහරදීම හේතුවෙන් එය යුද්ධයක් දක්වා වර්ධනය විය. එම නිසා මුස්ලිම් ජනතාවට පහරදී ඔවුන්ගේ දේපළ විනාශ කිරීමෙන් එවැනි අවාසනාවන්ත සිදුවීමක් නැවත සිදුවිය හැකියි. සියලු මුස්ලිම් ජනතාව අන්තවාදීන් නොවන බවද අප වටහා ගත යුතුයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මා මාගේ දිස්ත්‍රික්කය වූ නුවරඑළියේ සියලුම ආගමික නායකයන්, පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, වැවිලි සමාගම් නියෝජිතයන්, දේශපාලන නියෝජිතයන් කැඳවා දිස්ත්‍රික්කය තුළ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වැළකී සාමකාමීව කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම අගරදගුරුතුමන්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මාගේ අදහසත් අප සියලු දෙනා මේ ඉල්ලීමට එකඟව කටයුතු කළ යුතු බවයි.

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට ආර්ථකය පසුබෑමට ලක්විය. යුද ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතියද පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ මෙරට ආර්ථිකය මෙන්ම ජන ජීවිතයද සම්පූර්ණයෙන්ම අඩාල විය. ශ්‍රී ලාංකිකයන් ලෙස අප කටයුතු කළ යුත්තේ මේ තත්ත්වයෙන් නැගී සිටීම සඳහායි. එකිනෙකා ඇණකොටා ගැනීමෙන් සිදුවන්නේ මෙරට ජන ජීවිතය මෙන්ම ආර්ථිකයද අර්බුදකාරී තත්ත්වයකට යොමු වීමයි.

මෙරට වතුකරයේ ජීවත්වන ලක්ෂ 15ක පමණ දමිළ ජනතාවගේ නායකයා ලෙසත් අමාත්‍යවරයෙකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් මා මෙරට සියලුම ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ ඇතැම් පුද්ගලයන්ගේ පටු වුවමනාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසයි.

නව අදහස දක්වන්න