වෙසක් උත්සවය අසිරිමත්ව සැමරීමට කටයුතු කරන්න | දිනමිණ

වෙසක් උත්සවය අසිරිමත්ව සැමරීමට කටයුතු කරන්න

ස්වර්ණා විජේකෝන්

අන්තවාදී ත්‍රස්ත කල්ලිවලට බියවී නොසිට වෙසක් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් බෞද්ධ ජනතාව මහත් ඉහළින් සමරන වෙසක් උත්සවය සැමරීමට පවා ජනතාව බියෙන් සිටින බවත් එලෙස බිය නොවී වෙසක් උත්සවය සමරන ලෙස තමන් සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ සියලුම නගර බෞද්ධ සැරසිලි , ධජ පතාකවලින් අලංකාර කරන ලෙස වෙළෙද සංගම්වලින්ද ඉල්ලා සිටින බවත් තමන්ද සිය දරුවා සමඟ පන්සල් ගොස් වෙසක් සමරන බව පැවසීය.

එබැවින් සියලුදෙනා වෙසක් උත්සවයේදී වෙහෙර විහාරස්ථානවල පැවැත්වෙන සියලුම ආගමික කටයුතු වලට සහභාගි වී වෙනත් වසරවලදී මෙන් වෙසක් උත්සවය අසිරිමත් ලෙස සැමරීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.


නව අදහස දක්වන්න