ඇතැම් බලවේග පටු අරමුණු සපුරා ගැනීමට උත්සාහ කරනවා | දිනමිණ

ඇතැම් බලවේග පටු අරමුණු සපුරා ගැනීමට උත්සාහ කරනවා

පසුගිය පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අන්තවාදී සහරාන් කණ්ඩායමේ වැඩි දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා ආරක්ෂක හමුදා සමත් වී සිටිනවා. ඉතිරි අයත් නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදා ක්‍රියා කරගෙන යනවා.

මුල් ප්‍රහාරයෙන් පසු රටේ තත්ත්වය යහපත් අතට පත් කිරීමට මේ වන විට සියලු ආරක්ෂක විධිවිධාන යොදා තිබෙනවා. පසුගිය දහතුන්වෙනිදායින් පසු මේ මුවාවෙන් පටු අරමුණු සපුරා ගැනීමට යම් යම් බලවේග උත්සාහ කරමින් සිටින බව මිනුවන්ගොඩ ත්‍රස්ත ප්‍රහාරයෙන්ද පෙනී යනවා. ත්‍රස්තවාදියා රටින් තුරන් කිරීමටත් ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත් රජය ක්‍රියා කරන්නේ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡා සභාවේදී පැවසීය.

මෙම සාකච්ඡා සභාව ආරම්භ කිරීමට ප්‍රථම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ නගරයේ පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහා‍රයෙන් හානියට පත් ස්ථාන දැකබලා ගැනීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී හානියට පත් මුස්ලිම් දේවස්ථානය හා ව්‍යාපාරික ස්ථාන කරා ගොස් සියැසින්ම එම ප්‍රහාරයේ බිහිසුණුකම දැක බලා ගෙන එම ව්‍යාපාරික ප්‍රජාව සමඟ සුහදව කථා බහ කරන්නට රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ක්‍රියා කළේය.

ඉන් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවේදී රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

මුස්ලිම් අන්තවාදී කොටසකගේ මෙම අන්තවාදී ප්‍රහාරයට මුස්ලිම් ජනතාව විරුද්ධයි. එම අන්තවාදය මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. එම මුස්ලිම් ජනතාව මේ වන විට මෙය පිටුදැකීම සඳහා ආරක්ෂක හමුදාවන්ට සහාය ලබා දෙනවා.

ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට රජය මේ වන විට සෑම පියවරක්ම ගනිමින් සිටිනවා. මහජනතාවගේ පූර්ණ සහායත් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට ලබාදිය යුතුයි. රටේ සංහිඳියාව කඩාකප්පල් කිරීමට රට අස්ථාවර කිරීමට ආර්ථිකය බිඳ දැමීමට කිසිම බලවේගයකට රජය ඉඩ තබන්නේ නැහැ. රටේ නීතිය හා සාමය ස්ථාපිත කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජය ක්‍රියා කරනවා.

මෙම සාකච්ඡාවේදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි ගුණතිලක මහත්මිය විසින් මෙම ප්‍රහාරයෙන් පසු හානිවූ දේපොළ පිළිබඳව නිල වාර්තාවක් ඉදිරිපත් කරමින් නිවාස 12ක්ද ව්‍යාපාර ස්ථාන 61ක්ද ආගමික ස්ථාන 01ක්ද වාහන 09ක්ද හානියට පත්ව තිබෙන බව පැවසුවාය.

මෙහිදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කඩිනමින් තක්සේරු වාර්තා ලබාගෙන ඒ දේපොළ හා පුද්ගලයින්ට වන්දි ලබාදීම කඩිනම් කරන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට හා සාකච්ඡාවට පූජ්‍ය පක්ෂය, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි රොයිස් ප්‍රනාන්දු, ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක, නගර සභා විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයෝද රාජ්‍ය නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීහුද එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ - මිනුවන්ගොඩ විශේෂ
ඡායාරූප - උඩුගම්පොළ සමූහ

 


නව අදහස දක්වන්න