බෝම්බ සිද්ධියේ විමර්ශන සියයට අනූ අටක් අවසන් | දිනමිණ


 

බෝම්බ සිද්ධියේ විමර්ශන සියයට අනූ අටක් අවසන්

ත්‍රස්තවාදයට තිත තියලා තියෙන්නේ. කට කතාවලට, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. ත්‍රස්තවාදීන් විසින් බෝම්බ පුපුරුවා හරින ලද සිද්ධියේ සීයට අනූහතක අනූ අටක විමර්ශන නිමා කරලා තියෙන්නේ. ඉතිරිව ඇති පස් හයදෙනාව අත්අඩංගුවට ‍ගත් පසු අපට සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ කටුවපිටිය දේවස්ථානයේදී බෝම්බ පුපුරුවා ගැනීම නිසා මිය ගිය අයගෙන් යැපෙන්නන්ට හා තුවාල ලැබූ අයට සහන සැලසීම සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පැවති සාකච්ඡාවකදීය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, අමාත්‍යාංශ ලේකම්වරු, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාළ මහතා ඇතුළු පොලිස් නිලධාරීහුද සර්ව ආගමික පූජකවරු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ ග්‍රාම නිලධාරීහු ඇතුළු ආරාධිත බොහෝ අය සහභාගී වූහ.

ආරක්ෂක අංශවලට දැන් සියලු බලතල දීලයි තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශය පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ රට තුළ සාමය ආරක්ෂා කරන්ඩ සියලුම වැඩ කටයුතු කරනවා. පාස්කු ඉරිදා සිදු වුණු එම අවාසනාවන්ත සිද්ධිය වැනි දෙයක් නැවත නොවීමට කටයුතු කරනවා. ජනතාවට ආරක්ෂාව මෙන්ම සහන ලබා දිය යුතු අයට අවශ්‍ය සහනත් වන්දි ලබාදිය යුතු අයට අවශ්‍ය වන්දිත් ලබාදීමට කැපවීමෙන් කටයුතු කරනවා.

රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න-

පෙරේදා වුණු සිද්ධියද අපේ සංචාරක ව්‍යාපාරයට සිදුවු ලොකු පහරක්. ලොකු සංචාරක හෝටල් වලට පමණක් නොවේ නිවසක කාමරයක් විදේශිකයන්ට දීලා ආදායමක් ලබා ගන්නා අයටත් මෙය පහරක්. රජයක් විදිහට අපි සංචාරක ව්‍යාපාරය සඳහා බැංකුවලින් ණය ලබා ගෙන ඇති අයගෙන් ප්‍රාග්ධනයෙන් කොටසක් හා පොලිය ගෙවීමට වර්ෂයක සහන කාලයක් ලබා දුන්නා. හැබැයි සංචාරක මණ්ඩලයේ හෝ අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතනවලට හා හෝටල් වලට පමණයි ‍එම සහනය ලැබෙන්නේ.

පෙරේදා වුණු සිද්ධියේදී අහිංසක ජනතාවගේ දේපොළ වලට හානිවෙලා තියෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් පාස්කු ඉරු දින වුණ සිද්ධිය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 160ක ආධාර ලැබුණා.

අන්තවාදී කළ එම බෝම්බ පුපුරුවා හැරීම නිසා අපව ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාවට පත් වුණා. එහෙත් පෙරේදා ඇතිවුණ සිද්ධිය නිසා එම අනුකම්පාව දැන් නැති වෙනවා. මැද පෙරදිග නිවාසවල විශාල සිංහල ජනතාවක් සේවය කරනවා. අපි එම අවස්ථාවන් නැති කර ගත යුතු නැහැ. මුස්ලිම් මව්ලවිතුමා පැවසුවේ නැවත අප්‍රේල් 21දා වැනි සිද්ධීන් ඇති නොවීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු යනුවෙනි. මුස්ලිම් කිතුණු බෞද්ධ අපි සියලු දෙනා එක්ව සිටීමට අපි අදිටන් කර ගනිමුයි පැවසීය.

කටාන හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් බෝම්බ සිද්ධියෙන් තුවාල ලබා අසරණව සිටින අයගේ විස්තරයක් මෙහිදී අමාත්‍යවරුන්ගේ අවධානයට ‍කියවන ලදී. එම තුවාල ලැබූ අය දැනට ගත කරන එම හද කකියන කතා ඇසූ විට බොහෝ දෙනාගේ නෙත්වලට කඳුළු ගලා එන්ට විය. එම අය වෙනුවෙන් කළ හැකි සෑම උපකාරයක්ම කිරීමට අමාත්‍යවරු දෙපළද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද පොරොන්දු වූහ.

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න