වයඹ-මිනුවන්ගොඩ සිද්ධි කාගේ වැඩක්ද? | දිනමිණ

වයඹ-මිනුවන්ගොඩ සිද්ධි කාගේ වැඩක්ද?

චමීර ඇල්ලදෙණිය

එදා ත්‍රස්තවාදය අද මහපාරට ඇවිත්
- වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා

අප්‍රේල් 21 වැනිදා සිදුවූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එහි විමර්ශනයන් ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගියා. බෝම්බකරුවන් හා ඊට අදාළ පුද්ගලයන් හඳුනා ගනිමින් ඉදිරියේ තිබෙන අනාරක්ෂිතභාවය හඳුනා ගනිමින් කටයුතු කළා. ඉතා දක්ෂ ලෙස ආරක්ෂක හමුදාව මේ ක්‍රියාන්විතය සිදු කළා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය සති තුනකට පසු මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු වෙනවා. මුස්ලිම් ජනතාවගේ දේපළ විනාශ වන විදිහේ ප්‍රහාර ගණනාවක් සිදු වෙනවා. අයි එස් ත්‍රස්ත ප්‍රහාරය සිදුවුණාට පසුවත් මෙවැනි ක්‍රියා සිදුකිරීමත් නව ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි වමේ කේන්ද්‍රය අපි දකින්නේ. මේක අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක්.

වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශවල සාහසික ක්‍රියාවන්ට එකතු වූ රස්තියාදුකාර අය ආවේ ආගම රකින්නවත් ජාතිය රකින්නවත් නොවෙයි. මේ අය නන්නත්තාර අයයි. මේ අය පිටුපස සිටින නායකයන් කවුද කියා සොයා බැලිය යුතුයි. අපි දැක්කා ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගයන් බේරා ගැනීම සඳහා පැමිණි අය කවුදු කියා. පසුගිය කාලවල මේ රටේ ජාතික සමගිය ආගමික සමගිය මේ රට බෙදා වෙන්කිරීම සඳහා බරපතළ කාර්යයක් කළ රස්තියාදු සංවිධානයි. මේ සංවිධාන කාගේ සංවිධාන ද කියා ජනතාව දන්නවා. මේ බොහෝ සංවිධානවලට දායකත්වය ලබාදුන්නේ කවුදැයි දන්නවා. මේ ඒ අය අනුග්‍රහය දක්වමින් ඇතිකළ කල්ලි තමයි.

හිමි නමක් ගිහින් පොලිසියෙන් අහන්නේ ඇයි අපේ ළමයි අත්අඩංගුවට ගත්තේ කියා. අහිංසක මුස්ලිම්වරුන්ට පහරදුන්නේ එදා ඇති කළ කල්ලියි. මහසෝන්නු, නාමල් කුමාරලා, මාධුමාධව අරවින්ද වගේ අයත් අපි දැක්කා. මධුමාධව අරවින්ද කිව්වේ වාහන තදබදය බලන්න ගියා කියා. සමහර අය බේරාගෙන එනවා අපි මාධ්‍ය තුළින් දැක්කා. මධුමාධව අරවින්ද ගම්මන්පිලගේ සගයෙක්නේ. මේ වෙලාවේ බොරදියේ මාළු බෑමක් කළේ. විපක්ෂ නායකවරයාත් නොයෙක් ප්‍රකාශ කරමින් පාසල් යන්න ඉන්න ළමයින්ව බිය කරමින් වළක්වනවා. ජාතීන් අතර සමගිය නැති කරනවා. විපක්ෂයේ පහත් දේශපාලන ක්‍රමය රටට පෙන්නුවා. ඒ ගොල්ල හදපු අවතාර තමයි දැන් හොල්මන් කරන්නේ. ඒ සංවිධානවලට රහස් ගිණුම්වලින් මුදල් ලබාදීපු එක හෙළි වෙලා තිබෙනවා. ඒ ඒ සංවිධානත් එකට එක හප්පලා තිබෙනවා. විපක්ෂයේ දේශපාලන න්‍යායාචාර්යවරයා කියන්නේ පශ්චාත් යුද සැලසුම් කියලා. ඊශ්‍රායලයේ බෙදා වෙන් කර පාලනය කිරිමට නොයෙකුත් කල්ලි නිර්මාණය කළා. ජාතීන් අතර කල්ලි හදලා ජාතීන් අතර වෛරය අවුස්සලා බෙදා පාලනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළේ. ඒ කල්ලි අද කාටවත් නවත්වන්න බැරි තරමට දලු දාලා තිබෙන්නේ.

එදා හදපු ත්‍රස්තවාදය අද මහපාරට ඇවිත් තිබෙනවා. බලය ලබාගන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. කියනවා. මේක දේශපාලන උසිගැන්වීමක්. ඒ අයට නීතියට අනුව දඬුවම් ලබාදිය යුතුයි.


පහරදීම් සිදුවුණේ කාගේ වුවමනාවටද?
- පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතියක් හැටියට ඒ සංවේදනයෙන් ක්‍රියා කළා නම් ඊට අාසන්න දිනක මෙවැනි සිදුවීමක් වෙන්න තිබුණේ. නමුත් ආගමික නායකයන්ගේ මැදිගත්වීම මත අපේ සියලුදෙනා ඉවසීමෙන් සිටියා. ක්‍රිස්තියානි ප්‍රජාවත් මෙය ඉවසුවා. ජනතාවගේ හිතේ වෛරීසහගත සිතිවිලි තිබුණත් ඒක ප්‍රහාරයකට යන තැනකට වර්ධනය කර ගත්තේ නැහැ. නමුත් ඊට පසුව තමයි අපි දකින්නේ දේශපාලන උවමනාවන් මත මුස්ලිම් ප්‍රජාවට පහරදීමක් සිදු වෙනවා. මෙය දේශපාලනිකව විග්‍රහ කර ගත යුතුයි. මුලින්ම හලාවත බිංගිරිය, කුලියාපිටිය, කොබෙයිගනේ මේ පහරදීම් සිදු වෙනවා. ඒ ප්‍රහාර අසල මධුමාධව අරවින්දලා, නාමල් කුමාරලා අමිත් වීරසිංහලා ඉන්නවා. අමිත් වීරසිංහ මීට පෙරත් දිගන සිට මහනුවර පෙලපාලියක් යන්න ගිහින් පොලිසිය හා අධිකරණය නැවැත්තුවා. මෙයාල උත්සාහාම කළේ ගැටුම් ඇති කරන්නයි. අලුත්ගම දර්ගා නගරයේ ගැටුම්වල පිටුපස සිටියේත් මේ අයමයි. ගමේ අය නොවෙයි පිටගම් අයයි ඇවිත් මේ සැලසුම්සහගත ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. තවුහිද්ලාට වැටුප් ගෙව්වේ කවුද? 21 වැනිදා පහර දුන්නේ මුස්ලිම් අන්තවාදීන්. දැන් මේ කුලියාපිටියේ කුරුණෑගල පහර දෙන්නේ සිංහල අන්තවාදීන්. මේක ජාලගත වැඩක් බව පැහැදිලියි. මේ අයගේ අභිප්‍රාය තමයි සාමාන්‍ය ජනජීවිතය අඩාල කරලා රට අනාරක්ෂිතයි කියා රට ස්ථාවර කළ හැක්කේ රාජපක්ෂලාට බව කීමයි. ඉස්ලාමීය අන්තවාදී කොටසක් ප්‍රහාරය එල්ල කළේ කතෝලික පල්ලිවලට හා හෝටල් වලටයි. මේක ආර්ථිකය කඩා වැටීමට හා කතෝලික හා මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට තමයි අභිප්‍රාය. ඒ උවමනාව දේශපාලනික යැයි සැකයක් අපට තිබෙනවා. ඒ නිසා මෙහි ඇති දේශපාලනය අවබෝධ කරගෙන පොලිසිය ක්‍රියා කළ යුතුයි. එවිට නිවැරැදි අන්තවාදීන් හඳුනාගෙන දඬුවම් දිය හැකියි.


අන්තවාදී පිරිසක් සැලසුම් සහගතව කළ දෙයක්
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දඹර අමිල හිමි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු ඉකුත් 13 වැනිදා අප රටේ තැනින් තැන සිදු වූ කලකෝලාහල කිසියම් අන්තවාදී අදහස් දරන පිරිසක් ඉතා සංවිධානාත්මකව හා සැලසුම් සහගතව සිදු කළ එකක් බව බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබෙනවා. ඒ පිළිබඳව වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාටත් මේ වන විට භාරදී තිබෙනවා.

‍රටේ මහා විපතක් සිදු වී ඇවිලුණේ නැති ගින්නක් ඊට දවස් ගණනකට පසු ඇවිළීමට මේ සංවිධානාත්මක හා සැලසුම් සහගත පිරිස් විසින් ක්‍රියා කොට තිබෙන බව දක්නට ලැබෙනවා. මේ පිරිස් විසින් කළ මහා විපත නිසා විනාශ වූ දේපොළවලට වන්දි මුදල් ගෙවිය යුතු වෙනවා. මේ වන්දි ගෙවීම් සඳහා මේ විනාශකාරී ක්‍රියාවලට මුල් වූ අයගේ දේපොළ රාජසන්තක කොට ඒ තුළින් ලබාගත් ධනය යොදා ගන්න ඕනෑ.

ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීමෙන් පමණක් නතර නොවී ඔවුන්ට නීත්‍යානුකූලව කටයුතු කොට දැඩි දඬුවම් ලබාදීමට පියවර ගත යුතු යැයි අපි රජයේ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අපේ රටේ 83 කළු ජූලිය නිසා ප්‍රභාකරන්ලාට වැඩෙන්න ඉඩ ලැබුණා. ඒවාගේමයි සහරාන්ලාට වැඩෙන්නට හා පුළුල් කරන්න මේ කරන පහත් ම්ලේච්ඡ ක්‍රියා හේතු වෙනවා. අපි තරයේ පිළිකුලින් මේ ප්‍රහාර හෙළා දකිනවා.

තවත් සහරාන්ලා මරාගෙන මැරෙන්න සූදානම් කිරීමක් අප සිදු නොකළ යුතුයි. ආරක්ෂක අංශ මේ වන විට සියලු අන්තවාදී පිරිස් පිළිබඳ කරුණු සොයා ගෙන තිබෙනවා. බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂාව සහතික කර තිබෙනවා. ඒ අවස්ථාවේ දකුණේ අවස්ථාවාදී කුඩා කල්ලි ක්‍රියාත්මක වී ‍ගොඩනැඟෙමින් සිටින රට යළි ආපස්සට හැරවීමට විවිධ ක්‍රියා කරනවා. මේවාට රැවටෙන්න එපා.

අපි වගකීමෙන් මේ අවස්ථාවේ කියා සිටින්නේ ජනතාව බිය නොවී සැක හැර දැන් තමන්ගේ දෛනික වැඩකටයුතු ආරම්භ කරනා ලෙසයි. ජාතික ආරක්ෂාව ආරක්ෂක හමුදාව, පොලිසිය විසින් සහතික කර දී තිබෙනවා. දරුවන් පාසල් යවන්න රැකියාවට යන්න වෙළෙඳාම් කරන්න කර්මාන්ත ආරම්භ කරන්න.

අපේ රටේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය වෙළෙඳාම යළි නගා සිටුවන්න කටයුතු කරන්න. ආර්ථිකය නංවාලීමට ක්‍රියා කරන්න. අන්තවාදීන්ට අසුවන්න එපා කියන පණිවුඩය මේ අවස්ථාවේ කරනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට ගිනි නොගෙන සාමකාමීව තැබීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නයේ, අගරදගුරුතුමාගේ ප්‍රකාශයන් ඉවහල් වුණා. අප තවදුරටත් ඒවාට කන්දෙමින් රට සනසා රට දියුණුවට රැගෙනයාමට කටයුතු කරමු. කටයුතු කළ යුතුයි.


නව අදහස දක්වන්න