ජනතා සිත්වලින් බිය සැක තුරන් කිරීමට ජනමාධ්‍යයට කළහැකි මෙහෙය විශාලයි | දිනමිණ

ජනතා සිත්වලින් බිය සැක තුරන් කිරීමට ජනමාධ්‍යයට කළහැකි මෙහෙය විශාලයි

සිතාරා සේනානි
සන්ධ්‍යා කරුණාරත්න
උදුලා පීරිස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ බිය සැක හා මානසික කම්පනයෙන් ජනතාව මුදාගෙන ජනජීවිතය නඟා සිටුවීම සඳහා ජනමාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව අවධාරණය කෙරේ.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ මානසික බලපෑම අවම කිරීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි කාර්ය භාරය සම්බන්ධයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ (15) පැවැති වැඩමුළුවකදී මේ බව අවධාරණය කැරිණි.

එහිදී අදහස් දැක්වූ පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා-

අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හා ඉන්පසුව ඇතිව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට හැක්කේ ජනතාව බලගැන්වීමෙන් පමණයි. ඇතිවු ව්‍යසනයෙන් පසු මාධ්‍යයෙන් සිදුවූ නිශේධනීය බලපෑම පෙර අවස්ථාවලට වඩා අඩුවීම ගැන අපි සතුටු වෙනවා. එහෙත් ඇතිවූ අර්බුදය හමුවේ ජන මනස නැවත ගොඩනැඟීම සඳහා මාධ්‍යයේ මැදිහත්වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් ම මෙවැනි අවස්ථාවක දරුවන්ට සිදුවන බලපෑම ගැන විශේෂ අවධානය යොමු විය යුතුයි. ඇතිවූ මානසික කම්පනයෙන් දරුවන් මුදාගැනීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කරනවා. ව්‍යසනයෙන් පසු පාසල් ආරම්භ කළ යුතුයි.

අප්‍රේල් 21 වැනිදා සිදුවූයේ ආගමට මුවාවී ජාතිවාදීන් පිරිසක් සිදුකළ විනාශයක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ජනමාධ්‍ය කටයුතු කළ යුතුයි.

එසේම, ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හොඳහැටි සොයා බලා ජාතික මට්ටමින් විධිමත් පර්යේෂණයක් සිදුවිය යුතුයි. විදේශීය ආයතනවලට මේ සඳහා අවස්ථාව නොදිය යුතුයි.

එසේම නැවතත් මේ භූමියේ කළු ජූලියක් ඇති නොවීමට කටයුතු කිරීම ජනමාධ්‍ය ඇතුළු සියලුදෙනාගේ වගකීමයි.

කොළඹ කතෝලික පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා-

අප්‍රේල් 21 වැනිදා ඒ ආවාසනාවන්ත අවස්ථාවේ මිනිසුන් දැක්වූ ප්‍රතිචාරය අතිවිශිෂ්ටයි. ඒ අය රෝගීන් රෝහල් වෙත ගෙනයාමට කටයුතු කළා. ඒ වගේම කාදිනල්තුමා ඒ අවස්ථාවේ ඉතා නිර්භීතව ප්‍රකාශ කළා මුස්ලිම් ජනතාවට අත තබන්න එපා කියලා. ටික දෙනෙක් ත්‍රස්තවාදීන් ලෙස කළ ක්‍රියාව නිසා අනෙක් අය දෙස අප්‍රසාදයෙන් බලන්න එපා, කලබල කරන්න එපා කියා පැවසුවා. ඊට සති දෙකක් පමණ ගතවූ පසු ඒ වේදනාකාරී තත්ත්වයෙන් සිටි මිනිසුන්ම ද මේ ආපසු වරක් කඩ ගිනි තියන්න, කඩ කුඩු කරන්න යන්නේ? ඒ අයව උස්ගන්වන වෙන බලවේග ඇතිවී තිබෙනවා. ඒ බලවේග තමන්ගේ අරමුණු සපුරා ගන්න ඉදිරිපත්ව සිටිනවා. මේ අවස්ථාවේ බොරදියේ මාළු බාන්න එපා කියලා කාදිනල්තුමා කිව්වා. මේ කරන්නේ බොර දියේ මාළු බෑම නෙවෙයි නැව් බෑමයි.

අපි කටයුතු කළ යුත්තේ යහපත් සමාජයක් ගොඩනඟන්නයි. අප කටයුතු කළ යුත්තේ එකිනෙකාගේ අනන්‍යතාවට ගරු කරමින් සැමදෙනාටම සහෝදර කැළක් ලෙස ජීවත්වීමට හැකි වාතාවරණයක්, ප්‍රතිපත්ති මාලාවක්, ආකල්ප මාලාවක්, වටිනාකම් සමුදායක් ජනතාව තුළ ගොඩනඟන්නයි. මේ සඳහායි මාධ්‍ය කැප වෙන්න ඕනෑ. එය ගොඩනඟන්නේ කුමන ආකාරයට දැයි ඔබ සිතා බැලිය යුතුයි.

අපේ මනුෂ්‍යත්වය හරියට වෘත්තයක කේන්ද්‍රය වගෙයි. අපේ විවිධ ආගම්, සංස්කෘතීන්, භාෂා තිබෙනවා. මේ හැමදෙයක් ම පරිධියේ සිට අරයක් තුළින් කේන්ද්‍රය කරා ළඟා වෙනවා. මේ කේන්ද්‍රය තමයි සැබෑ මනුෂ්‍යත්වය, සැබෑ සහෝදරත්වය. අපි මේ විවිධත්වය තුළ එකිනෙකාගේ සමානකම් තේරුම් ගන්න ඕනෑ. මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් ඈත්වී සිටිද්දී අපට මේ විවිධත්වය බාධාවක් වෙනවා. හැම දෙනාම එකම ආගමක, එකම ජාතියක, එකම භාෂාවක වුණානම් එතැන සුන්දරත්වයක් නෑ. ලෝකයේ විවිධත්වය තුළ සැබෑ මනුෂ්‍යත්වය ගොඩනඟන්න අප කටයුතු කළ යුතුයි.

සායනික මනෝ විද්‍යා උපදේශිකා ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය -

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්. බෝම්බකරුවන් 9 ක් හිටියා. ඉන් 5 ක් එදා මරාගෙන මැරුණා. ඉතිරි හතරදෙනා අප සමාජයේ සිටිනවා. ඔවුන් හඳුනාගත හැකි නම් ඔවුන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකියි. මරාගෙන මැරෙන පුද්ගලයන් වීරයන් ලෙස අර්ථ දක්වන එකෙන් වැළකිය යුතුයි. මරාගෙන මැරෙන්න තරම් හිත මෙහෙයවනවා කියන්නේ එය මානසික විකෘතිතාවක්. අපගේ මනස ස්වාභාවයෙන් හුරු වී සිටිනුයේ නොඑසේ නම් අපගේ ජීවන පද්ධතිය සකස් වී තිබෙන්නේ මිනිස් ජීවිතය රැකගන්නා ආකාරය සම්බන්ධවයි. මරාගෙන මැරෙන තත්ත්වයට මනස මෙහෙයවනවා යනු ස්වාභාවික තත්ත්වයට විරුද්ධව ගමන් කිරීමක්. මේ කාර්ය සඳහා බොහෝ විට පෙළැඹී ඇත්තේ තරුණ පිරිමි පාර්ශ්වය බව ලෝකයේ කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. මේ වගේ තත්ත්වයකට යොමු වන්නේ යැපීම් මානසිකත්වයක් තිබෙන අය. මහා මොළකරු විදියට මාධ්‍යයෙන් මේ අය අර්ථ ගන්වනවා. පොරක් කියන මානසික තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය කරනවා. එය ඉතාම වැරදි දැකීමක්. පෞරුෂත්වයක් තිබෙන පුද්ගලයෙක් නම් වෙනත් නායකයකු මෙහෙයවන දෙයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරන්නේ නැහැ. ස්වාභාවික හා මිනිසා විසින් සිදු කරන ලෙස ව්‍යසන වර්ග දෙකක් තිබෙනවා. දේවස්ථානය, පල්ලිය කියන්නේ ආරක්ෂිතම ස්ථාන. එවැනි ස්ථානයක මරාගෙන මැරෙන සිද්ධියක් වුණා කියන්නේ එතැන තිබෙන විශ්වාසය ගැන ජනතාව ගැටලුවක් ඇති කර ගන්නවා. මේ තුවාලය බරපතළයි. එය නැවත ඇවිස්සීම නොකළ යුතුයි. මේ සිද්ධිය ඇතුළු ජනතාවගේ සිත් සංවේදි වන සිදුවීම් උණුසුම් ලෙස වාර්තාකරණයට මාධ්‍ය යොමු වෙනවා. එමගින් නොසිතන අහිතකර දේ සමාජය තුළ සිදු වෙනවා. මේ වගේ තත්ත්වයකට යොමු වන අය මානසික දුර්වලතාවන්ගෙන් පෙළෙන අය ලෙස අර්ථ දැක්විය යුතුයි. තමන්ගේ කියලා හෘද සාක්ෂියක් ඒ අයට නෑ. ඒ අය වෙනත් අයගේ මානසිකත්වයෙන් යැපෙන අය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා-

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දරුවන් අතරට ගොස් තිබෙන්නේ ඉතා භයානක විදියට. මේ සිද්ධිය නිසා ඇතැම් දරුවන් පාසල් යාමට බයේ සිටිනවා. මේ ව්‍යසනයට මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කෙරෙහිත් මත්ද්‍රව්‍ය සමාගම් වක්‍රාකාරව සැලසුම් කරනවා. මේ ව්‍යසනයට උදව් කිරීම සඳහා මත්ද්‍රව්‍ය සමාගම් රුපියල් කෝටි ගණන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වෙනවා. මඩකලපුව, යාපනය ප්‍රදේශවල වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙනවා. රටේ මත්ද්‍රව්‍ය නැති කිරීම සඳහා ජනාධිපතිතුමා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන්වලට අගරදගුරුතුමා උපරිම සහාය දෙනවා.

මනෝ වෛද්‍ය විශේෂඥ චතුරි සුරවීර මහත්මිය-

ව්‍යසනයකදී පුද්ගලයන්ට කායික මෙන්ම මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. එසේම කායික ගැටලු නිසා ඇතිවන මානසික බලපෑම නිසාත් යම් යම් මානසික ගැටලු ද ඇති විය හැකියි. මෙවැනි සිදුවීම්වලදී පවුලේ සමීපතමයන් මිය යාම නිසා ඇති වන මානසික බිඳ වැටීම් හේතුවෙන් පුද්ගලයන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට පවා යොමු විය හැකියි. ජනමාධ්‍ය ඔස්සේ රටපුරා තොරතුරු ප්‍රචාරය වන නිසා එක් තැනක සිදුවන ව්‍යසනයක බලපෑම මුළු සමාජයටම බලපාන්න පුළුවන්. මාධ්‍යවල පළ කරන ප්‍රවෘත්තිවලින් ව්‍යසනවල තීව්‍රතාව වැඩිකර පෙන්වීම, සිදුවීම්වල අනුපිළිවෙළ දිගින් දිගටම ප්‍රචාරය කිරීම, තනි පුද්ගලයන්ගෙන් විස්තර ලබාගෙන ප්‍රචාරය කිරීම ආදිය නිසා පුද්ගලයන් තුළ අනියත බියක් ඇති කෙරෙනවා. එම නිසා මෙවැනි ව්‍යසනවලින් සමාජයට සිදුවන බලපෑම අවම කර ගැනීමට නම් මාධ්‍ය මෙවැනි දේ සිදුකිරීමෙන් වැළකීය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් රත්නායක, මනෝ වෛද්‍ය විශේෂඥ ධනුජ මහේෂ්, මාධ්‍යවේදී ශාන් විජේතුංග, නිරෝෂන් වඩුගේ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූප-හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න