මිනිසත්කම අගයන වෙසක් පුන් පොහෝ දිනය | දිනමිණ

මිනිසත්කම අගයන වෙසක් පුන් පොහෝ දිනය

“සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ”

(බුදුවරුන්ගේ උපත සැපයකි. එමෙන්ම සද්ධර්ම දේශනාව ද සැපයකි. මහා සංඝරත්නයේ සමඟිය ද සැපයකි. සමඟිය ඇතිව එක්සත්ව, එක් සිත්ව සිටින අයට තෙරුවන් වැඳීම ඉමහත් සැපයකි)

බුදුන් වහන්සේ විසින් වදාළ උක්ත සද්ධර්ම පාඨයෙන් කියැවෙන්නේ ලොව ඇති විශිෂ්ටතම සැපත පිළිබඳවයි. වර්තමානයේ අප විසින් ‛සැප’ යැයි සිතා සිටින කාරණා දෙස බලන විට, අප සැප යැයි සිතා අල්ලාගෙන සිටින්නේ සැප නොව, භවය තවත් දිගු කරන කෙළෙස් බව පෙනෙයි. සැප අතරින් පරම සුඛය නිර්වාණයයි. ‛නිබ්බානං පරමං සුඛං’ යැයි උන්වහන්සේ වදාළේ එබැවිනි.

නිර්වාණය කරා පැමිණිය හැකි පහසුම මඟ එක්සිත්ව, එක්සත්ව කටයුතු කිරීම මගින් බව උක්ත ගාථා පාඨයෙන් දැක්වෙයි. එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනය අපිට අතිශය වැදගත් වන්නේ අන් කිසිවක් නිසා නොව ජාතීන් අතර සමඟිය පළුදු කරමින් ඇතැම් අන්තවාදීන් විසින් ක්‍රියාත්මක කරන ජාතිවාදී ගැටුම් නිසා ඇතිව තිබෙන සමාජමය කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙනි. වසර 2500ක බෞද්ධ උරුමයෙන් සුපෝෂිත ජාතියක් වන අපි සුළු දේවල්වලින් පවා කලබල වී එකිනෙකා ඇනකොටා ගන්නා තත්ත්වයකට පත් වූයේ ඇයි? යන ප්‍රශ්නය අප ඉදිරියේ තිබේ.

තල් අත්තට බෙලි ගෙඩියක් වැටීම නිසා ලෝකය පෙරළීගෙන එනවායැයි කියා දිවු සාවා මෙන් කිසියම් මුග්ධ පුද්ගලයන් පිරිසක් විසින් කරන ප්‍රකාශ නිසා අන් ජාතීන්ට, අන් ආගමිකයන්ට හිංසා පීඩා කිරීම කිසිසේත්ම බුද්ධ දර්ශනය වැනි ශ්‍රේෂ්ඨ දහමක් පිළිපදින අප වැනි ජාතියකට යුක්ති යුක්ත නොවේ.

බුදු දහම යනු ‛තමන් පමණක් උසස්’ (අත්තුක්කංසනය) හා අනෙකා පහත් (පරවම්භනය) ප්‍රතික්ෂේප කළ දහමකි. සියලු දෙනා උසස් හෝ පහත් වන්නේ උත්පත්තිය හෝ ජාතිය අනුව නොව ඔවුන්ගේ ක්‍රියාව මත බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තමන් උපමාවට ගෙන අනුන්ට හිංසා කිරීමෙන් වළකින ලෙස බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ එබැවිනි. (අත්තානං උපමං කත්වා - නහනෙයිය න ඝාතයේ). සැවොම දඬුවමට බියය. තමන් තමන්ගේ ජීවිතයට ආදරය කරන්නා සේ අනෙක් සියලු දෙනා ද තමන්ගේ ජීවිතය ප්‍රිය කරති. එසේ නම් කෙනෙකුට තවත් අයෙක් මරා දමන්නට හෝ ඔහුට ජීවත්වීමට ඇති අයිතිය විනාශ කිරීමට කිසිවකුගෙන් හෝ බලයක් හිමි වී නැත.

ලෝකය පාලනය කරන සර්ව බලධාරී දෙවියන් විසින් හෝ කිසිවකුට අනෙකාගේ දිවි තොර කිරීමේ අයිතියක් පවරා නැත. එසේ නම් මිනිසා මිනිසාට එරෙහිව නැඟී සිටින්නේ ඇයි?

සැබවින්ම මිනිසා මිනිසාට එරෙහිව නැඟී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ලොව පුරා යුද ගැටුම් නිර්මාණය වීමයි. අපි තවත් පිරිසක් සමඟ යුද වැදිය යුත්තේ ඇයි? ඉන් අපට ඇති ලාභය කුමක්ද? යන්න පිළිබඳව ඔබ මොහොතකටවත් සිතුවා ද?

මෑතක දී මා හමුවීමට පැමිණි පුද්ගලයකු විසින් ඇඳ තිබූ අපූරු සිතුවමක් මට පෙන්වීය. අඩි 4ˣ4 ප්‍රමාණයේ විශාල කොළයක ඇඳ තිබූ එම චිත්‍රයේ තිබුණේ මුළු කොළයම අඳුරු තද නිල් පැහැයකි. එහි දකුණු කෙළවරේ පුංචි රවුමක් ඇඳ එහි මැද ඇල්පෙනෙති තුඩකින් තබා තිබූ පුංචි තිතක් විය.

මේ කුමක්දැයි මම ඔහුගෙන් ඇසීමි. මේ අපගේ විශ්වය. කෙළවරෙන් තියෙන කුඩාම රවුම අපේ පොළොව. ඒකේ මැද තිබෙන පුංචි තිත මම. ඔහුගේ චිත්‍රයේ විශ්වයේ විශාලත්වය අනුව අපේ පොළොව, විසල් හිස් අවකාශය තුළ පාවෙන දූවිලි අංශුවක් පමණි. එහි ජීවත්වන මම කවුද? මට හිමි තැන කුමක්ද? මගේ රට, මගේ ජාතිය, මගේ උරුමය, මගේ දේපළ , මම ලෙස මවිසින් අල්ලාගෙන සිටින්නේ කුමක්ද? එහි ඇති ප්‍රතිඵලය කුමක්ද?

බුදුන් වදාළ පරිදි විශ්වය යනු ‛දුක් මත පිහිටි දෙයක්’ බව ‛දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ’ යන උන්වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වෙයි. විශ්වය තුළ පවතින ලෝක, සංවර්ධනය වී විනාශ වන ‛සංවට්ඨ’ ලෝක බවත් ඇතැම් ලෝක ඉක්මනින් විනාශ වන බවත් ඊට ‛විවට්ඨ’ ලෝක යනුවෙන් ව්‍යවහාර කරන බවත් උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ ‛රෝහිතස්ස’ සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ කිසිම අයෙකුට මේ විශ්වයේ කෙළවර දැකිය නොහැකි බවයි. අවශ්‍ය නම් ලෝකය කුමක්දැයි? තමන්ගේ බඹයක් තරම් උස සිරුරින් අවබෝධ කර ගැනීමට හැකිය. මක් නිසාද යත් විශ්වය පවතින්නේ ඇතිවීම, නැතිවීම පදනම් කරගෙනය. විශ්වය දැකීමට ඇති හොඳම මඟ තමන්ගේ බඹයක් පමණ වන ශරීරය බව උන්වහන්සේ දේශනා කළහ.

මෙවර වෙසක් පුන් පොහොය අප රටට සමරන්නට සිදුව තිබෙන්නේ පටු ආත්මාර්ථකාමී හැඟීම් මත ක්‍රියාත්මක වූ මුග්ද ක්‍රියා සමුදායක් අත්විඳි පසුබිමකය. සැබවින්ම ජීවිතය, මිනිසත්කම හා ආගම් දර්ශන තුළ ශක්තිමත්භාවය අවබෝධ කරගන්නට හොඳම අවස්ථාව උදා වන්නේ මෙවර වෙසක් පුන් පොහෝ දිනයෙනි.

පෙර වෙසක් පොහෝ දිනයන්හිදී මුළුරට පුරාම පැවැති වෙසක් තොරණ, භක්ති ගීත සංදර්ශන ආදී කිසිදු උත්සවයක් මෙවර පැවැත්වෙන්නේ නැත. ඊට හේතුව පසුගිය පාස්කු ඉරිදා අන්තවාදීන් පිරිසක් විසින් අහිංසක මිනිසුන් 300කට පමණ දිවි අහිමි කරමින් හා තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. එම ප්‍රහාරය විසින් අපේ රටේ ආගමික සංහිඳියාවට එල්ල කළ තර්ජනය සුළුපටු නැත.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ‛නහී වේරේන වේරාණී - සම්මන්තීද කුදාචනං - අවේරේනච සම්මන්තී - ඒස ධම්මෝ සනත්තනෝ’ යන ගාථා පාඨය සිහි කරන ‛වෛරයෙන් වෛරය නොසන්සිඳේ - වෛර නොකිරීමෙන් වෛරය සංසිඳේ යන්න අපට හොඳින්ම සිහිපත් කළ හැකි කාලය මේ වෙසක් පුන් පොහෝ දිනයයි. එම නිසා බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන මේ උතුම් වෙසක් උත්සවය සැබවින්ම සමස්ත ලෝක වාසී ජනතාවට මෙත් සිත් පැතිරවීමේ වැදගත්කම කියාපාන උත්සවයයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ද මින් පෙර පැවැති වෙසක් උත්සවවල දී අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් බුද්ධරශ්මි වෙසක් කලාපය සංවිධාන කරනු ලබයි. එහෙත් පසුගිය දිනවල සිදු වූ ශෝකජනක සිදුවීම් නිසා එම වැඩසටහන අවලංගු කර 19 වන දින සන්ධ්‍යාවේ එනම් වෙසක් පුන් පොහොය දිනය වෙනුවෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රෝපිත ජය ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ ඉදිරිපිට ආශීර්වාද බෝධි පූජා පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පැවැත්වෙන මේ බෝධි පූජා පින්කමට ප්‍රධාන අරමුණු දෙකක් වෙයි. එකක් නම් උතුරු නැඟෙනහිර යුද ගැටුම් නිම වී දස වසරක් පිරෙන්නේ මේ මස 19 වැනි දිනය. එම ගැටුම්වලදී මියගිය රණවිරුවන් මෙන්ම සිවිල් වැසියන් සිහිපත් කර ඔවුන්ට පින් පැමිණවීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අහිංසක සහෝදර ජනතාවට පින් පැමිණවීමත් තුවාල ලැබූ ජනතාවට සෙත් පැතීමත් එහි අරමුණු වේ.

උතුම් වෙසක් පොහෝ දිනය සමරන ලෝකවාසී ජනතාව පීඩාවට පත් කරන වෛර ගිනිදැල්, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා මෙත් සිසිලෙන් නිවී සැනසී ලෝක ප්‍රජාවටම සත්‍යය අවබෝධ කරවන දිනයක් උදා වේවායි පතමු.

ධර්ම වන්නිනායක

නව අදහස දක්වන්න