සියලු ජන කොටස් ජීවත්වන කොළඹ සංහිඳියාවේ සංකේතයක් | දිනමිණ

සියලු ජන කොටස් ජීවත්වන කොළඹ සංහිඳියාවේ සංකේතයක්

උදුලා පීරිස්

කොළඹ නගරයේ සිංහල,දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් ජීවත්වන බැවින් කොළඹ නගරය සංහිඳියාවේ සංකේතයක් බව නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය මේ බව පැවසූවේ ඊයේ ( 15) කොළඹ නගරයේ ස්ථාපිතව ඇති විහාරස්ථාන වෙත මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

ඒ අනුව වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 123ක් වෙනුවෙන් කොළඹ නගරසභාව විසින් වෙන් කරන ලද රුපියල් පනස් දහස බැගින්වූ මුදල් චෙක් පත් අදාළ විහාරස්ථාන වෙත ප්‍රදානය කිරීම නගරාධිපතිනිය අතින් මෙහිදී සිදු කෙරිණි.

වත්මන් කතානායක වන එවක සිටි නගරාධිපති කරූ ජයසූරිය මහතාගේ යෝජනාවක් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් ආරම්භ කළ අදාළ මුදල් පරිත්‍යාගය මේ දක්වා අඛණ්ඩව සිදු කරමින් තිබේ.

නගරාධිපතිනිය මෙසේද කීවාය.

පසුගියදා ත්‍රස්තවාදීන් විසින් සිදුකළ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මාගේ හෘදයාංගමය ශෝකය ප්‍රකාශ කරනවා. ඒ තුළින් කුරිරූ ත්‍රස්තවාදීන් අප ජීවත්වන කොළඹ නගරයේත් සිටින බව දැන හැදින ගත්තා. එසේම අගරදගුරු රංජිත් මැල්කම් පියතුමා එම සිදුවීමත් සමඟ බුද්ධිමත්ව කටයුතු කිරීම විශේෂයෙන් මෙහිදී අගය කළ යුතුයි. එසේම එවැනි අවස්ථාවක ජනතාව සන්සුන් කිරීම සහ ආරක්ෂක අංශවලට සහාය දැක්වීම ආගමික නායකයන් විසින් කළ යුතුයි. මිලේච්ඡ ත්‍රස්තවාදී කිහිප දෙනෙක් සිදු කළ මහා විනාශයට සියලු මුස්ලිම්වරුන් පලිනැහැ.ඇතැමුන් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා බුදුදහමට පටහැනි ආවේගශීලීව කටයුතු කිරීම අප හෙලා දකිනවා.

මගේ පවුලේ සාමාජිකයන් අතර සියලු ජාතීන් නියෝජනය වෙනවා. නමුත් අපි අතර කිසිදු ජාති භේදයක් නැහැ. මම කතෝලික. මගේ මව බෞද්ධාගමේ. පියා කතෝලික.මගේ ස්වාමියා බෞද්ධාගමේ. මගේ ස්වාමියාගේ මව මායා සේනානායක බෞද්ධ මධ්‍යස්ථානයේ හිටපු සභාපතිනියයි. බුදු දහමේ උපරිමය මම මගේ පියාගෙන් දකිනවා.අපේ පවුලේ ඉස්ලාම් අයත් හිටියා. ඒ අනුව අපේ පවුල තුළින් මම සංහිඳියාව දැක්කා. නමුත් රටේ ජාතිවාදය වපුරන විට අපි දරුවන්ට දෙන පූර්වාදර්ශය මොකක්ද? ජනතාව සන්සුන් කරන්න මහා සංඝරත්නය කටයුතු කළ යුතුයි. 1983 කළු ජුලිය වෙනුවෙන් ජනතාව අදටත් දුක්විඳිනවා. එවැනි තත්ත්වයක් නැවත නොඑන තැනට කටයුතු කිරීම වෙනුවෙන් අපි ආදර්ශවත් විය යුතුයි.

කුලියාපිටිය,වයඹ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන් කරන්න මහා සංඝරත්නය කටයුතු කළේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සාමයෙන් සමගියෙන් මෛත්‍රියෙන් ජීවත්කර වීමට මහා සංඝරත්න පෙරමුණ ගත යුතුයි. අපේ දරුවන්තුළ මෛත්‍රිය සාමය අපි ගොඩ නගන්නේ නැත්නම් ඒවා කවුරු කරල දෙන්නද? අපි දරුවන්ට සුරක්ෂිත රටක් ඉතුරු කරදිය යුතුයි. කිතුනු ජාතිකයෙක් වුවත් මමත් වෙසක් සමරන්න ඉතා ආසයි. ඒ අනුව කොළඹ නගර සභාවත් වෙසක් මංගල්‍ය අති උත්සවාකාරයෙන් සමරන්න සූදානමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු, නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්.ඉක්බාල්,කොළඹ නගර සභාවේ උසස් නිලධාරීන්,නාගරික මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය-චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න