ඇමැති සුජීව ස්විට්සර්ලන්තය බලා යයි | දිනමිණ


 

ඇමැති සුජීව ස්විට්සර්ලන්තය බලා යයි

සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසමෙහි (CSTD) 22 වැනි සැසියට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ (කැබිනට් නොවන ඇමැති) සුජීව සේනසිංහ මහතා එක්වෙයි.

මේ සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මැයි 13 සිට 17 දක්වා පැවැත්වේ.

සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසම, ආර්ථික සහ සමාජීය කවුන්සිලයේ (ECOSOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධනය සඳහා වූ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන නාභීය ලක්ෂ්‍යයෙහි අනුබද්ධ ආයතනයකි. ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම උගත් පාඩම් සහ මනා පිළිවෙත් බෙදා හදාගැනීම, ආර්ථිකයේ, පරිසරයේ සහ සමාජයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන හා සම්බන්ධිත වැදගත් ප්‍රවණතා පිළිබඳ පෙර දැක්මක් සපයාදීම යනාදිය සඳහා සාකච්ඡා මණ්ඩපයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර නැගී එන සහ පෙරළිකාර තාක්ෂණයන් පිළිබඳව මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමුකෙරේ.

සෑම වර්ෂයකම මෙම කොමිසම ප්‍රමුඛ තේමාවන් ද්විත්වයක් යටතේ ක්‍රියාත්ම වන අතර, මේ වර්ෂයේ දී තිරසර සංවර්ධනය සඳහා ශීඝ්‍ර තාක්ෂණික විපර්යාසයන් හරහා එල්ලවන බලපෑම හා නම්‍යශීලීත්වයෙන් යුතු ප්‍රජාවන් බිහිකිරිම උදෙසා විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදනයන් හි භූමිකාව යන තේමා තෝරාගෙන තිබේ. මේ සැසියේදී, තොරතුරු සමාජය පිළිබඳ ජගත් සමුළුවේ (WSIS) ප්‍රතිඵලයන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධිත ප්‍රගතියදී සමාලෝචනයට ලක් කිරීම මෙන්ම, ජාතික විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ප්‍රතිපත්ති සමාලෝචනයන් (STIP සමාලෝචන) පිළිබඳ ඉදිරිපත් කිරීම්ද කොමිසම හමුවේ සිදුකෙරෙනු ඇත.

ඇමැතිවරුන්, රජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානයන්හි නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වී සිටිති. ඒ අතර බොහෝ රාජ්‍යයන්හි ඉහළ මට්ටමේ දූත මණ්ඩල විසින් නියෝජනය කර ඇත.

සමුළුවේ සමාරම්භක උළෙලෙන් අනතුරුව “A Conversation with Great Minds” යන මාතෘතාව යටතේ, විද්‍යා හා තාක්ෂණක් ක්ෂේත්‍රයේ විශිෂ්ට මට්ටමේ චින්තකයන් අතර සිදුකෙරෙන විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ඉන් අනතුරුව උසස් මට්ටමේ වටමේස සාකච්ඡා හරහා 22 වැනි සැසිවාරය අඛණ්ඩව ඉදිරියට පැවැත්වේ.

නව අදහස දක්වන්න