මුළු රටම වෙසක් සැරසිලිවලින් සරසා බුදු තෙමඟුල ඉහළින් සැමරීමට එක්වෙමු | දිනමිණ

මුළු රටම වෙසක් සැරසිලිවලින් සරසා බුදු තෙමඟුල ඉහළින් සැමරීමට එක්වෙමු

උදිත ගුණවර්ධන

වෙසක් උත්සවය කියූ විට අපේ මතකයට නැඟෙන්නේ එදා අප විඳි වෙසක් සිරියයි. වෙල් යාය අසල පිල්ලෑකට ගොස් බට ලීයක් කපා ගන්නා අප අටපට්ටමක් තරුවක් සාදා ගැනීමටය. එදා අප ගත කළ කාර්ය බහුල නොවන ජීවිතයේ අප මෙසේ වෙසක් සැරසිලි කළද අද වන විට එම සරල වටපිටාව වෙනස් වීම නිසා අපට වෙසක් කූඩුවක් සැරසිල්ලක් මිලට ගැනීමට සිදුව තිබෙන්නේ වෙළෙඳ පොළෙනි. ඒ නිසා අපට වෙසක් සැරසිලි මිලදී ගැනීමට විවිධ ආයතන බිහිව තිබේ. නිවාස මට්ටමින් කෙරෙන නිර්මාණ මෙන්ම සමාගම් ආකාරයට නිෂ්පාදනය කරන සැරසිලි භාණ්ඩද දැක ගත හැකිය. ඒ ආකාරයට නිෂ්පාදනය කරන ජාතික මට්ටමේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් වන්නේ ජේ. එස් මාර්කට්න් සමාගමයි. එහි එක් පාර්ශ්වකාරියක් වන්නේ උපේන්ද්‍රා ශ්‍රි ලක්මාලී පොකුණේගොඩ මහත්මියයි. වර්තමානයේ රට උද්ගතව ඇති තත්ත්වය නිසා මේ ව්‍යාපාර සිදුකර ගෙන යන්නේ කෙසේද පසුගිය වරත් මෙවරත් අතර වෙනස කෙසේද යන්න ගැන අප උපේන්ද්‍රා ශ්‍රී ලක්මාලි මහත්මියගෙන් විමසුවෙමු.

“මෙවර ගොඩක් අමාරුවෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ..ඒකට හේතු වෙලා තියෙන්නේ පසුගිය අවුරුද්දේ තිබූ ඉල්ලුම අඩුවෙලා තියෙනවා . අපි පසුගිය අවුරුද්දෙ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සියල්ලටම වගේ වෙසක් සැරසිලි අටපට්ටම් ලබා දුන්නා. ඒත් මෙවර ඒවායේ ඉල්ලුම පහළ ගිහින් තියෙන්නේ. ඒ වගේම වෙළෙඳ කටයුතුවලදී ඇති කරගෙන තියෙන ජාතිකත්වය ගැන බොරු මතයක් නිසා සමහර ප්‍රධාන පෙළේ ආයතන අපේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා. ඇත්තෙන්ම අපි අමාරුවෙන් දියුණු වූ රුහුණට නෑකම් කියන ආයතනයක්. ඒත් සමහරු හිතනවා වෙනස් විදිහටකට. ඒත් ව්‍යාපාර ගැන එහෙම හිතන එක වැරැදියි.

“අඩු ඉල්ලුම නිසා පහළ ගිය වෙසක් සැරසිලි නිෂ්පාදන යම් පමණකට හෝ අලෙවි කරන්න ක්‍රමයක් නැද්ද.“?

අප උපේන්ද්‍රාගෙන් විමසුවෙමු.

“ අපි දැන් ලොකු උත්සාහයක් ගන්නවා .පාරට ගෙනිහින් හරි මේ නිෂ්පාදන ටික අලෙවි කිරීමට . මම හිතනවා අපේ උත්සාහය සාර්ථක වේවි කියලා..අනෙක මේ ව්‍යාපාරය නිසා රැසක් ජිවිත ගැටගහ ගන්නවා. ඒ විතරක් නොවෙයි වෙසක් සැරසිලි සිදු කිරීම වෙසක් පෝයට වැදගත් දෙයක්. ඒ අරමුණ ඇතිව තමයි අපේ වෙසක් සැරසිලි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ.

උපේන්ද්‍රා ශ්‍රී ලක්මාලී මහත්මිය මේ ව්‍යාපාර කාර්ය කරගෙන යන්නේ තම සැමියා සහ සහ පවුලේ සාමාජිකයන් සමඟ එක්වය.

“කොයි කාලෙද මේ සැරසිලි ව්‍යාපාරය ආරම්භ කළේ..?

අප ඇයගෙන් විමසුවෙමු.

“ මම මුලින්ම වැඩ කළේ මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක. ඒ රැකියාවෙන් ඉවත් වෙලා තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. අද වෙනකොට මේ ව්‍යාපාරය සාර්ථක වෙලා තිබීම ගැන ලොකු සතුටක් තියෙනවා. වෙසක් සැරසිලි පමණක් නොවෙයි. වෙසක් කාඩ් ව්‍යාපාරයක්ද අප කරනවා.

“වෙසක් කාඩ්වලට මෙවර ඉල්ලුම කොහොමද.?

අප විමසූ කළ ඇය අප වෙත ලබා දුන්නේ මෙවැනි පිලිතුරකි..

“ ගිය අවුරුදුවල නම් වෙසක් කාඩ්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒත් මෙවර නම් එය ගොඩක් පහළ ගිහින් තියෙන්නේ. අපි වෙසක් කාඩ්වලට රූප තෝර ගන්නේ අන්තර්ජාලයෙන් හෝ ක්ෂණික ක්‍රමවලින් නොවෙයි. අපි විහාරස්ථානවලට ගිහින්.ඒ නිසා අපේ කාඩ්වල ප්‍රමිතිය ඉහළ තැනක තියෙනවා.“

වෙසක් සඳ නැඟ එමින් තිබෙන මේ කාලයේදී සැම බොදුනුවකුම තම නිවෙස හෝ ව්‍යාපාරික ස්ථානය සැරසිලි කිරීම අනිවාර්යයෙන් කළ යුතු දෙයකි. අන්තවාදී ත්‍රස්තයන්ගේ පීඩාවෙන් මිදෙමින් සිටින අප රට නැවත ප්‍රකෘති තත්ත්වයකට පත්ව ඇති බවට ලොවට පෙන්වා දිය හැකි හොඳම අවස්ථාව ලෙස වෙසක් සැරසිලි උපරිමයෙන් කිරීම තමයි කළ යුත්තේ.

ඡායාරූප- නිරෝෂ් බටේපොළ

 

නව අදහස දක්වන්න