නෝර්වේ ද්විපාර්ශ්වික අනාගතයට ස්ථිරසාර සබඳතාකරුවෙක් | දිනමිණ

නෝර්වේ ද්විපාර්ශ්වික අනාගතයට ස්ථිරසාර සබඳතාකරුවෙක්

1814 නෝර්වීජියානු ව්‍යවස්ථාව අත්සන් තැබීම සමරනු ලබන අද (17) දින නෝර්වේහි ජාතික දිනයයි. මෙහි දී සියලු දෙනා, විශේෂයෙන් ළමුන් මේ අවස්ථාව සැමරීමට නෝර්වේ රට පුරා වීදි සැමරුම් පවත්වයි.

මේ වසරේ, ශ්‍රී ලංකාවේ සිදු වූ කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක්වත් ගෙවෙන්නට මත්තෙන් යෙදුණු අපගේ ජාතික දිනය අපි සනිටුහන් කරන්නේ ශ්‍රී ලංකාව සහ එහි සියලු දෙනා සමඟ එකමුතුව නැඟී සිටිමිනි. විවිධාකාරයේ අසීරු අවධිවලදී නෝර්වේ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටි අතර, එය ඉදිරියට ද පවත්වාගෙන යෑමට අපි කටයුතු කරන්නෙමු. දශක හතක් පුරාවට විහිදුණු අපගේ ද්විපාර්ශ්වීය සබඳතා, පොදු අනාගතයක් උදෙසා ස්ථිරසාර සබඳකරුවකුවීම සඳහා අප තුළ ඇති කැපවීමට මනා සාක්ෂියක් වේ.

1952 වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් පිහිට වූ කාලයේ සිටම නෝර්වේ සහ ශ්‍රී ලංකාව ශක්තිමත් ද්විපාර්ශ්වීය සබඳතාවන් වර්ධනය කරගෙන ඇත. අපගේ රටවල් දෙකම ප්‍රජාතාන්ත්‍රික අගයන් සහ අයිතීන් බෙදාගන්නා අතර, බහුපාර්ශ්වීය සහයෝගීතාවන්, මානව හිමිකම් නීතිය ඇතුළුව ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ශක්තිමත් අනුග්‍රාහකයන් ද වේ. එසේම රටවල් දෙකෙහිම අතීතයේ සහ අනාගතයේ අති විශාල වැදගත්කමක් එහි සයුරු තීරය උසුළයි. නෝර්වේ සහ ශ්‍රී ලංකාව සතුව ස්ථිරසාර කළමනාකරණය සහ සමුදුරු භාවිතය සම්බන්ධයෙන් පොදු සහ ශක්තිමත් උනන්දූවක් පවතී.

ඉහළ යමින් පවතින දේශපාලන සබඳතා

නෝර්වේ සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතා වර්ධනය 1967 සිනෝර් සංවර්ධන පදනමෙන් ආරම්භ වූවකි. එය ඇති කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ජීවත්වන ප්‍රජාවන් අතර සිටින ආර්ථිකව සහ සාමාජීයව පීඩාවට පත් වූ කණ්ඩායම් සඳහා ආර්ථික වර්ධනයක් සහ සාමාජයීය පිබිඳීමක් ඇති කිරීමටය. යුද්ධයෙන් පසු 2010 වසරේ ශ්‍රී ලංකාව අඩු මැදි ආදායම් රටක් බවට පත් වූ නිසා සංවර්ධන සහයෝගයේ ක්‍රමික අඩුවීමක් ඇති වුවද, ඉහළ තලයේ දේශපාලන හමුවීම් වැනි ද්විපාර්ශ්වීය සබඳතාවන් සහ ආර්ථික සහයෝගීතාවන් ඉහළ ගොස් ඇත.

වඩාත් මෑත සිදුවීම ලෙසින් නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරිය වන මේරිඈන් හේගන් 2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඇය එහි දී ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් නෝර්වේ දායකත්වය ද නිවේදනය කළාය. 2018 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නෝර්වේ සංචාරයක යෙදුණේ 2016 අගෝස්තු මස නෝර්වීජියානු අගමැති අර්නා සෝලබර්ගේ ශ්‍රී ලංකා සංචාරයට ප්‍රතිචාරයක් ලෙසිනි.

2018 වසරේ දී නෝර්වීජියානු රාජ්‍ය ලේකම් ජෙන්ස් ෆ්රොලිච් ද ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණේය. ඔහුගේ පැමිණීම කාලයේදීම ඩොක්ටර් ෆ්‍රිජොෆ් නන්සෙන් නම් පර්යේෂණ යාත්‍රාවද ශ්‍රී ලංකාවට ළඟා වූ අතර, මේ පැමිණීම හරහා නෝර්වේ හි ජාත්‍යන්තර සැලසුම්වල ප්‍රමුඛස්ථානයක් උසුළන සාගර සම්පත තිරසාව ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරුණි. එසේම මේ පර්යේණ යාත්‍රාව ශ්‍රී ලංකාවට සාගර සම්පත් කළමනාකරණය සහ සිතියම්කරණය කිරීම ඉහළ නංවාගැනීමට ද සහාය විණි.

තරුණ කාන්තාවක ලෙසින් සිය අත්දැකීම් බෙදා ගැනීමට 2019 ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඔස්ලෝහි ශ්‍රී ලංකාවේ උපන් සහකාර නගරාධිපති වන කම්සි ගුණරත්නම් මේ වසරේ ඔස්ලෝ හි 17 වැනි මැයි කමිටුවේ ප්‍රධානත්වය උසුළන්නීය. එසේම අද දින ඔස්ලෝහි පැවැත්වෙන නෝර්වීජියානු ව්‍යවස්ථා දින උළෙලේ නිල සංවිධායිකාවද ඇයය.

නෝර්වීජියානු සංවර්ධන සහාය

වත්මන් ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාවන්හි ඇති මූලික අවධානයක් වන්නේ නෝර්වේ විශේෂඥතාවක් දක්වන අංශවල තාක්ෂණික ධාරිතා ගොඩනැංවීමය. එසේම අපගේ ද්විපාර්ශ්වීය සහයෝගය ශ්‍රී ලාංකීය ආයතන සමඟ කටයුතු කරන නෝර්වීජියානු ආයතන හරහා මෙන්ම බහුපාර්ශ්වීය සබඳකරුවන් හරහා ද සිදු වේ.

ශ්‍රී ලංකාවේ නව ධීවර ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීමට ද නෝර්වීජියානු සහ ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශ එක්ව කටයුතු කරනු ලැබීය. නොර්වේහි සාගර පර්යේෂණ ආයතනය සහ එහි ශ්‍රී ලාංකීය සහෝදර ආයතනය වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) පර්යේෂණ සහ දත්ත සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම නිරන්තරයෙන් සිදු කරනු ඇත. නෝර්වීජියානු භූ තාක්ෂණික ආයතනය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සමඟ සහයෝගයෙන් අනතුරු ඇඟවීමේ පද්ධති සහ නායයෑම් සිතියම්කරණය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදු කරයි.

තව ද, නෝර්වේ, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හරහා ශ්‍රී ලංකාව සිය සුපිරිසිදු බලශක්ති පරිවර්තන අරමුණු කරා ළඟා වීමට ද සහාය වේ. බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය අතර වසර ගණනාවක සහයෝගීතාවක් හරහා නැනෝ තාක්ෂණය සහ සුපිරිසිදු බලශක්ති ආශ්‍රිත කටයුතු සඳහා සහාය වේ. නෝර්වේ හා ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) එක්ව දැනුම හා තොරතුරු තාක්ෂණය හුවමාරු කර ගනිමින් ‘kids can code’ වැනි ව්‍යාපෘති හරහා තරුණයන් හා ළමයින් අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබයි.

2018 වසරේ දී නෝර්වේ, යහපාලනය, සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය, ධීවර සංවර්ධනය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම සහ රැකියා උත්පාදනය වැනි විවිධාකාර වූ ව්‍යාපෘති සඳහා සංවර්ධන ආධාර ලෙසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 6ක මූල්‍ය ආධාරයක් ද ප්‍රදානය කළේය. එසේම නවෝත්පාදන සහ සමුදුරු තාක්ෂණය, ධීවර සහ ජලජජීවී වගා ආදී අංශ කෙරෙහි මෙන්ම ස්ථිරසාර ධීවර සම්පත් කෙරෙහි ද දායකත්වය දැක්වීමට අපි බලාපොරෙත්තු වන්නෙමු.

දේශපාලන විසඳුමක්, ජාතික සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රීකරණය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු සහයෝගීතාවයේ ප්‍රමුඛතාවන් වේ. වසර ගණනාවක් පුරා තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයේ නිදහස, නිදහස් මාධ්‍ය, දූෂණ නිරෝධය, සාමය සහ සංහිඳියාව මෙන්ම කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආදියට සම්බන්ධ දේශීය සිවිල් සංවිධානවල හඩනැංවීම් සහ කර්තව්‍යයන් සඳහා සහාය පළ කර ඇත.

එසේම ගැටුම්වලින් පසුව උතුරේ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචිකරවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා ස්ථිරසාර දායකත්වයක් ද ලබා දුන් අතර UNDP සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හරහා රැකියා උත්පාදනය සහ ජීවනෝපාය අවස්ථාවන් සැපයීමට ද කටයුතු සැලසීය.

නෝර්වීජියානු ආයෝජන සහ ව්‍යාපාර

පසුගිය වසරවල දී ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර සහයෝගීතාව සහ ආර්ථික උනන්දූන් කෙරෙහි ඇති අවධානය ඉහළ යෑමක් දක්නට ලැබේ. 2015 සිට ලොව විශාලතම අරමුදලක් වන රාජ්‍ය ගෝලීය විශ්‍රාම අරමුදල ශ්‍රී ලංකාවේ සමාගම්වල පිහිටුවන ලදී. 2018 අවසානය වන විට ශ්‍රී ලංකාවේ කොටස්වල අමෙරිකානු ඩොලර් මිලියන 98.3ක් ආයෝජනය කිරීමට එය සමත් වී තිබේ.

නෝර්වේ සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සබඳතා පසුගිය වසර කීපය පුරා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිට නෝර්වේ වෙත කෙරෙන ආනයන 2010 අමෙරිකානු ඩොලර් මිලියන 20ක සිට 2017 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් දක්වා ඉහළ ගොස් ඇත. එම කාලයේදීම ශ්‍රී ලංකාවට ගෙන් වූ නෝර්වීජියානු අපනයන ද ඉහළ ගොස් ඇත.

එසේම විශාල නෝර්වීජියානු ජලජ ජීවී වගා ව්‍යාපෘති දෙකක් වන Sterner As සහ Ceylon Continental Seafood ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වේ. මේ ආයෝජනය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ සමස්තයක් කරා ළඟාවීමේ හැකියාව ඇති අතර, ඒවා ශ්‍රී ලංකාවේ විශාලතම ජලජ ජීවී වගා ආයෝජනයන් දෙක විය හැකිය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ නෝර්වීජියානු සමාගම් 30ක් පමණ ඇත. මේ නෝර්වීජියානු සමාගම් හෝටල්, තොරතුරු තාක්ෂණ අංශවල සිට බෝට්ටු නිෂ්පාදනය සහ මත්ස්‍ය වගාව වැනි ව්‍යාපාර කරාද පැතිර ඇත. ඒ අනුව මේ නෝර්වීජියානු සමාගම් ශ්‍රී ලංකාව තුළ රැකියා 10,000ක් පමණ නිර්මාණය කර ඇත. මේ සමාගම්වලින් බොහොමයක් Ceylon Chamber of Commerce's Business Match Making වැඩසටහනෙහි කොටස් වේ.

ස්ථිරසාර සබඳකරුවෙක්

ලබන සතියේ දී නෝර්වේ ශ්‍රී ලංකා සබඳතාවන් තවත් ශක්තිමත් වනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ඇමැති තිලක් මාරපන මහතා නෝර්වේහි පැවැත්වීමට නියමිත ‘මානවවාදී ප්‍රතිචාර සහ ලිංගිකත්ව සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් හිංසනය අතර හිඩැස් පිරවීම’ යන සම්මන්ත්‍රණයට සහභාගී වීමෙනි.

වසර 70ක් පමණ දීර්ඝ අපගේ සහයෝගීතාව තුළ දී සුනාමි ව්‍යසනයේ සිට සිවිල් යුද්ධයක දී පවා නොසැළී අභියෝග මැඬගෙන නැඟී සිටීමට ශ්‍රී ලාංකිකයන් තුළ ඇති දිරිය අපි දැක ඇත.

මේ අසීරු කාලයේ දී පවා සෑම වෙනස්කමක්ම අත්හැර දමා එකාවන්ව නැඟී සිට ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යෑම අතිශය වැදගත්ය. ඒ සෑම පියවරකදීම අපගේ පොදු අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ස්ථිරසාර සබඳකරුවෙක්වීමට නෝර්වේ රාජ්‍යය කැපවී සිටී.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෝර්වීජියානු තානාපති තුර්බියොන් ගවුස්ටාඩ්සාතර් මහතා විසිනි.


නව අදහස දක්වන්න