නව නිමැවුම් රැසකින් සසුනඹර පොබකළ සද්ධාරංසි නාහිමියන්ගේ ශාසනික මෙහෙවර | දිනමිණ


 

නව නිමැවුම් රැසකින් සසුනඹර පොබකළ සද්ධාරංසි නාහිමියන්ගේ ශාසනික මෙහෙවර

බුදුන් වහන්සේ වැඩ සිටි පුදබිම් පරිසර හිතකාමී වූහ. නොසන්සුන් මනස් ඇත්තවුන්ට සන්සුන් මනසකින් පින්දම් කළ හැකි නිසංසල වනපෙත් බවුන් වැඩීමටත්, අරහත් මඟට ප්‍රවේශවීමටත් ඉවහල් විය. උපත බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූයේද මේ සොබාදම් සිසිලස අතරේය. මේ බුදුමඟ මැනවින් අවබෝධ කරගත් අපේ කාලයේ මහා යතිවරයාණන් වූයේ අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිපාණන් වහන්සේය. වයස අවුරුදු 12දී පැවිදි බිමට පිළිපන් බමුණුආරච්චිලගේ අබේසිරි එඩ්මන් චන්ද්‍රකුමාර නම් වූ කුල කුමරුවා 1976 ජූලි 03 වැනි දින උපසම්පදා ලැබූහ. සසුන් ගතවීමේදී මෙන්ම උපසම්පදා කාර්යයේ දී ද සිය ගුරු දේවෝත්තම වූ අභිධම්මික වාගීස්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමිපාණන් වහන්සේ අප නාහිමිපාණන් වහන්සේට ගුරු වූහ. සැබෑ ලෙසම සු‍පේෂල ශික්ෂාකාමී සංඝපීතෘවරයෙක් වූ උන්වහන්සේගේ පැවිදි බිම වූ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සුවහසක් ශාසන සේවාවල යෙදෙන සද්ධාරංසි නාහිමිපාණන් වහන්සේ විහාරාරාම නිර්මාණයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරමින් පසුවන්නාහ. පන්සල, බෝමළුව, දාගැබ, ධර්ම ශාලාව, විහාර ගෙය ආදී සාම්ප්‍රදායික විහාර අංගයන්ගෙන් බැහැරව නූතන සංකීර්ණ සමාජයේ සිත්සතන් පහන් කරවන නවතම බෞද්ධ නිර්මාණ කලාවක් උන් වහන්සේ විසින් බෞද්ධ ශාසනයට උරුම කර දී ඇත. විද්‍යෝදය පිරිවෙන හා බුද්ධශ්‍රාවක ධර්ම පීඨය ආදී සදහම් නිකේතනවල උසස් අධ්‍යාපනය ලැබූ අප නාහිමිපාණන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියෙන්ද පිදුම් ලැබූහ. පිරිවෙන් ගුරු තනතුරු ඔස්සේ බෞද්ධ සාරධර්ම ජනගත කිරීමේ අරමුණ පෙරදැරිව කරන ලද සදහම් සේවාවෙන් පිරිවෙන් පරීක්ෂක හා භාවනා උපදේශක තනතුරෙන්ද පිදුම් ලද උන් වහන්සේ ගුරු විද්‍යාල බාහිර කථිකාචාර්ය තනතුර ඔස්සේ නූතන තාරුණ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් බැහැර කොට සම්මාදිට්ඨි සම්පන්න යහපත් පුරවැසි ප්‍රජාවක් කිරීමට සුවිශාල කැපකිරීමක් කරන ලදහ. යහපත් පුරවැසියන් බිහි කිරීම සඳහා උපස්ථම්භක වන වෙහෙර විහාර නිර්මාණයට යොමු වන සද්ධාරංසි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රථම සුවිශේෂී නිර්මාණය වන්නේ සිරිස‍ඟබෝ භාවනා මධ්‍යස්ථානය පරිශ්‍රයේ ඉදි කරන ලද අසූමහා ශ්‍රාවක විහාරයයි.

අසූමහා ශ්‍රාවක විහාරය

මහරහත් හිමිවරුන් පමණක් නිර්මාණය වුණ හෙළ බොදු නිර්මාණ කලාවට භික්ෂු භික්ෂුණී මෙන්ම උපාසක උපාසිකා යන සිවුවනක් පිරිස ඇතුළත් කරමින් නිර්මාණය වූ අසූමහා ශ්‍රාවක විහාරය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ අතර බොහෝ බැතිමතුන්ගේ පුද පූජාවන්ට පාත්‍ර විය. සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා භික්ෂු භික්ෂුණී පරපුර මෙන්ම උපාසක උපාසිකා පරපුරද බෙහෙවින් වැඩදායක බව මතක් කරමින් නවතම දර්ශනයක් අසූමහා ශ්‍රාවක විහාර කර්මාන්තය ඔස්සේ නාහිමිපාණන් විසින් ජනගත කර ඇත.

නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා නිර්මාණය වී ඇති බෞද්ධ ආරාම අතරට එක් වූ අති විශිෂ්ට විස්කම් නිර්මාණයක් වූ නෙල්ලිකුලම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවීමට ගත වූයේ කෙටි කාලයකි. ඊට හේතු වූයේ එහි පැවති නිර්මාණ හා සෞන්දර්යාත්මක සැදැහැ දසුනය. මේ පිළිබඳ සද්ධාරංසි හිමිපාණෝ පැවසුවේ මේ නිර්මාණය බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනේදී අනුරාධපුරයට වැඩම කළ අයුරු උපකල්පනය කොට නිර්මාණය කළ බවයි. කෘත්‍රිමව නිර්මාණය කළ පර්වත කුහරයක් සහිතව මහා ගිරිහිසක් මතින් වනපෙත හරහා 500ක් මහරහතන් වහන්සේ පිරිවර කොට වඩින සුගත තථාගතයන් වහන්සේගේ දසුන සුවහසක් බැතිබර නෙත් සිත් පහන් කරවයි. නිර්මාණිත ගල්තලාව අභ්‍යන්තරයේ සැකසූ විහාරගෙය බුදුසිරිතේ අසිරිමත් අවස්ථා රාශියක් නිරූපණය කරමින් මේ යෝධ නිර්මාණය නිම වී ඇත. මේ බෞද්ධ නිර්මාණය නිසාම අසල්වැසි සමාජයට සෘජු හා වක්‍ර රැකියා රැසක් ද උත්පාදනය වී ඇත. පුදබිම ඉදිරියේ සැදුණ කඩපෙළ තුළින් බොහෝ පිරිසකට ස්වයං රැකියා අවස්ථා උදාවීමද උන්වහන්සේගේ උතුම් ශාසන මෙහෙවරේ අතුරු ඵලයකි. අනුරාධපුර තන්තිරිමලේ මාවතේ නෙල්ලිකුලම ග්‍රාමයේ මහා මාර්ගය යාබදව පිහිටි මේ පුදබිම සැබවින්ම අසිරිමත් දර්ශනයක් මවාපායි.

ප්‍රාතිහාර්ය මහා විහාරය

අනුරාධපුර තන්තිරිමලය මාර්ගයට යාව කොක්කිච්චිය ග්‍රාමයේ වනපෙතින් වැසී ගිය අක්කර 11ක බිම් කඩක් පුරා විසිරී පැතිරී යන මේ බුද්ධ භූමිය නිර්මාණ කලාව ඔස්සේ පරිසරය සුරක්ෂිත කළ නවතම ආදර්ශයක් ලොවට හඳුන්වා දෙයි. බුද්ධ චරිතයේ ප්‍රාතිහාර්ය පිළිබිඹු වන ආදර්ශමත් සිද්ධි පෙළක් වනපෙත මැද තැනින් තැන ස්ථාපිත කර ඇති ප්‍රාතිහාර්ය විහාරය වනපෙත සුරැකීමේ මහා ප්‍රාතිහාර්යක් විශ්වගත කර ඇත. කටු පඳුරු අතරින් වැටුණ අඩි පාරවල් ඔස්සේ එකිනෙකට යාවන මේ ප්‍රතිමා සහිත ප්‍රාතිහාර්ය අවස්ථා වන අරණ තුළ දිස්වන්නේ මිනිස් සිත් සැදැහැතියෙන් පුරවාලමිනි. ජීවමාන ප්‍රමාණයේ පිළිරූ පද්ධතීන් අවුවැසිවලින් ආරක්ෂා කරගැනීම සඳහා පමණක් ඉහළ ආවරණයක් සකසා ඇත. මේ අසිරිමත් පුදබිම ස්වභාධර්මය සුරකමින් නිර්මාණක‍රණයේ යෙදෙන අයට ආදර්ශමත් පින්බිමකි.

දහසක් බුද්ධ ප්‍රතිමා විහාරය

අනුරාධපුර තන්තිරිමලය මාර්ගයට යාව කොක්කිච්චිය ග්‍රාමයේ පිහිටා ඇති මේ මහා පින්බිම බුද්ධ ප්‍රතිමා වහන්සේලා දහසක් වඩා හිඳුවා සකස් කළ සුවිශාල දෙමහල් මන්දිරයකි. සියලු පහසුකම් සහිත සංඝාවාසයකින් යුක්ත වූ මේ පින්බිම එම ප්‍රධාන මාර්ගය ආසන්නයේ අප නාහිමිපාණන් විසින් ඉදි කළ තුන්වන විහාරයයි. අනුරාධපුර විලච්චිය මාර්ගයේ අතිදුෂ්කර වනතිරයන් මහා පුදබිමක් කරමින් අනුරාධපුර තන්තිරිමලය මාර්ගය බොදු අසිරියෙන් අසිරිමත් කරන මේ පුදබිමද සද්ධාරංසි නාහිමියන්ගේ උත්තරීතර ආගමික මෙහෙවරේ සන්ධිස්ථානයකි.

ඇලයාපත්තුව මහා විද්‍යාල විහාර මන්දිරය

හෙළ බොදු සිසු දරුවන් 800ක් පමණ සිප් සතර හදාරණ ඇලයාපත්තුව මහා විද්‍යාලයේ දරු කැළ නැණ නුවණින් මෙන්ම ගුණ සුවඳින් ද පෝෂණය කොට යහපත් පුරවැසි පරපුරක් දැයට දායාද කිරීමේ අභිලාෂය පෙරදැරිව ‍අප නාහිමිපාණන් විසින් ඇලයාපත්තුව මහා විද්‍යාලයීය පරිශ්‍රයේ ඉදිකර ඇති බුද්ධ මන්දිරය සකලාංග පරිපූර්ණ බුදු මැදුරකි. පුදබිම් නිර්මාණය කිරීමේ ශාසන මෙහෙවරට අමතරව ධර්මකාමී බැතිමත් දරුපරපුරක් බිහි කිරීමේ උදාර අපේක්ෂාවෙන් උන් වහන්සේ මේ නිර්මාණ කාර්යයට ද ඇප කැප වී ඇත.

ගිලනුන් සඳහා කළ මහා මෙහෙවර

දුෂ්කරතා බහුල ප්‍රදේශයක පිහිටි ඇලයාපත්තුව රෝහලේ එතෙක් අඩුවක්ව පැවති ඇඳන් 25ක් සහිත වාට්ටුවක් මෙන්ම භික්ෂු වාට්ටුවක්ද උන් වහන්සේ ‍විසින් සාදවා රජයට පරිත්‍යාග කර ඇත. දුර බැහැර වනගත ගම්මාන වල අහිංසක රෝගීන් සඳහා වූ මෙත් සිතින් යුක්තව කරන ලද මේ උතුම් පුණ්‍යක්‍රියාව ගැන එම ප්‍රදේශවාසීන් නිරන්තරව උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරති.

වන්නිහැළඹෑව ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමාලංකාර විහාරය

පස්කම් විපාක දැක්වෙන සජීවී යාන්ත්‍රික කටු ඉඹුලක් සහිතව අනුරාධපුර තන්තිරිමලය විහාරයේ වන්නිහැළඹෑව ගම්මානයේ ඉදි කර ඇති මේ විහාර මන්දිරය බුදු සමයේ එන බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ මුද්‍රා නිරූපිත වන දැවමය බුද්ධ ප්‍රතිමා හතළිස් ගණනකින් යුක්තව නිර්මාණය කර ඇත. සොබා සුන්දරත්වයෙන් පිරි මේ බිම්කඩ බුදු සිරියෙන් අසිරිමත් කළ එම විහාරය මෙතෙක් නිර්මාණය වී නැති බුදු පිළිම වහන්සේලාගේ මුද්‍රා හතළිස් ගණනකින් සමන්විත එකම බුදු මැඳුර මේ ප්‍රතිමාලංකාර විහාරයයි.

මන්නාරම් හන්දිය ශ්‍රී සද්ධාරංසි ධර්මායකන පිරිවන

ඈත වනගත දුෂ්කර ගම්මානවල පන්සල තුළින් බිහිවන සාමණේර බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සදහම් නැණ පහන් දල්වා නිර්මල බුදු දහමෙන් ලෝකය සිහිල් කරන්නට මෙන්ම සුපේෂල ශික්ෂාකාමී සඟ පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන මේ බුදුපුත් තක්ෂිලාව ස්ථාපිත කර ඇත. සියලුම නිකායවල සාමණේර හිමිවරුන් උදෙසා විවෘතව ඇති මේ පිරිවෙන නේවාසිකාගාර, දේශන ශාලා, දාන ශාලා, ජල හා විදුලි පහසුකම් සහිතව ඉදි වී ඇත. මේ පිරිවෙන මන්නාරම් හන්දිය අනුරාධපුර දිස්ත්‍රික් මායි‍මේ පිහිටුවා ඇත්තේය. එදා වෙඩි හඬින් ගිගුම් දුන් වියරු ත්‍රස්තවාදීන් ගැවසුණු අතිදුෂ්කර බිම්කඩක මෙවන් මහා පිරිවෙනක් ඇරැඹීමේ මූලික පරමාර්ථය විහාරස්ථාන මෙන්ම ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතාව පරිපූර්ණය කිරීම සඳහා බව සද්ධාරංසි නාහිමිපාණන් වහන්සේ පවසති.

ඔයාමඩුව වනඅරණේ නේවාසික භාවනා මධ්‍යස්ථානය

අක්කර 20ක් පුරා නිසංසල වනපෙතක පැතිර යන මේ භාවනා අසපුව ජනාධිපතිතුමන් විසින් සද්ධාරංසි හිමියන්ගේ ශාසන මෙහෙවර උදෙසා වෙන් කර දුන් වන පෙතකි. මෙය නේවාසික භාවනාලාභීන් සඳහා ඉදි කළ භාවනා කුටි, ධර්මශාලා, සංඝාවාස, නේවාසික අය වෙනුවෙන් වෙන්වූ දාන ශාලා, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර හා ගිනිහල් ගෙවල් ආදී සියලුම විහාරංගයන්ගෙන් යුක්තව ඉදි වේ.

නාහිමි වදන

බුදු සිරිත වර්ණවත් කළ කලාකරුවන් අවුරුදු දහස් ගණනක් පුරා පවත්වාගෙන ආ සාම්ප්‍රදායික පුදබිම් අතිපූජනීය විය. එම පූජ්‍යස්ථාන ඇසුරින් උකහා ගත් දැනුම හා අවබෝධය උපයෝගී කර ගනිමින් මවිසින් මේ පුදබිම් පාරම්පරික සම්ප්‍රදායෙන් බැහැරව නිර්මාණය කරන ලද්දේ ජනීජන සිත්සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පුරවාලනු පිණිසය. මේ පූජාවන් හුදෙක් පරපුරක උරුමයන් නොවේ. ඒවා සුවහසක් සැදැහැවත් ජනීජන වන්දනාමාන සඳහාත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාත් නිර්මාණය කර ඇත්තේය. මාගේ ශක්ති ප්‍රමාණයෙන් හා සැදැහැති දායකත්වයෙන් ඉදි වූ මේ පුදබිම් සියල්ලම අප්‍රමාණ වූ ශ්‍රද්ධා භක්තිය පෙරදැරිව උතුම් වූ තෙමඟුල් පූජාවක් ලෙස සම්බුද්ධ ශාසනයට පූජා කරමි. පූජා වේවා.

ඡායාරූප කළුන්දාගම ඥාණරතන හිමි
සටහන කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ
පණ්ඩුලගම සමූහ

නව අදහස දක්වන්න