ප්‍රතිලාභ රැසක් රැගෙන ජනපති යළි දිවයිනට | දිනමිණ

ප්‍රතිලාභ රැසක් රැගෙන ජනපති යළි දිවයිනට

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් චීනයේ කෙටි නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සංචාරය සාර්ථකව නිමකර ඊයේ උදෑසන (16) යළි දිවයිනට පැමිණියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල සාකච්ඡා ඉතා සාර්ථක වූ අතර, චීන ජනාධිපතිතුමා දැඩිව අවධාරණය කළේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු සහාය චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි. එමෙන් ම ශ්‍රී ලංකාවේ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතුවලට රුපියල් කෝට් 260ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව චීන රජයෙන් පිරිනැමුණු අතර පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් වහාම ශ්‍රී ලංකාවට එවීමට ද එකඟතාව පළ කෙරිණි. ත්‍රස්තවාදී අරමුණු සඳහා අන්තර්ජාලය යොදා ගැනීම පාලනය කිරීමට චීන ආධාර ලබාදීම සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඬලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට ගිවිසුම්වලට එළැඹීම සහ ශ්‍රී ලංකාවේ කාලීන අභියෝගයකට විසඳුම් ලබාදෙමින් වර්ගවාදී සහ වෛරී ප්‍රකාශන මෙන්ම ව්‍යාජ තොරතුරු පැතිරවීම පිළිබඳ ක්‍රියාකාරකම් සහ අන්තර්ජාල අපරාධ පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය මෘදුකාංග සහිත තාක්ෂණය ද ශ්‍රී ලංකාවට ලබාදීමට චීනයේ එකඟතාව පළ කෙරුණේ ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් වශයෙනි.

ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා අතර හමුවක් ද බීජිං නුවර දී පැවැත්වුණු අතර චීන අග්‍රාමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී චීනය ශ්‍රී ලංකාව සමඟ දැඩිව අත්වැල් බැඳගෙන සිටින බවයි.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කරයි. රාජ්‍ය නායකයා ලෙස, රටේ ඇති වූ ව්‍යාකූල

තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ද ජනාධිපතිවරයා මෙම සියලු හමුවීම්වල දී කරුණු පැහැදිලි කළේය.

මේ අතර බීජිං නුවර දී ආරම්භ කෙරුණු, ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ද ඇමතූ ජනාධිපතිවරයා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේ ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බවයි. ත්‍රස්ත අභියෝගය හමුවේ නැඟී සිටිමින් ඊට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් දියත් කර ඇති රාජ්‍ය නායකයකු ලෙස මෙහි දී ජනාධිපතිතුමාගේ දේශනය සමුවවට එක්ව සිටි රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු දෙදහසක් පමණ වන නියෝජිතයන්ගේ විශේෂ අවධානයකට ලක්වීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න