ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙළ ජනතා මෙහෙවරක් | දිනමිණ

ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙළ ජනතා මෙහෙවරක්

සමන්මලී ප්‍රියශාන්ති
ඉඩම මාසික ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට එක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක, නි අැමැති එඩ්වඩ් ගුණසේකර, අමාත්‍යංශ ලේකම් එච්. කරුණාරත්න මහත්වරු, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමග. ඡායාරූපය-ශාන් රූපස්සල

සිය ඉඩමේ අයිතිය පෙන්වන ඔප්පුවක් නැතිව වසර තිහ හතළිහක් පුරා පාන්දර සිට කඩදහි බෑගයක් රැගෙන රස්තියාදු වන දහස් ගණන් ජනතාවගේ දුක තමන් දෙඇසින්ම දුටු බවත්, ඔවුන්ගේ ගැටලු විසඳන්න ඔප්පු දස ලක්ෂයක් පිරිනමන රජයේ සංකල්පය විශාල මෙහෙවරක් ඉටු කරනු ඇති බවත් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. ඉඩම් ඔප්පු නොමැති පොලීසි, රෝහල්, පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් තවමත් මෙරට තිබෙන බවත් කරුණාතිලක මහතා කීය. මේ නිසා රාජ්‍ය ආයතනවලට ඔප්පු හිමිකම් ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසූ ඇමැතිවරයා දිනමිණ පුවත්පත සමඟ නිකුත් කෙරෙන අමාත්‍යාංශ මාසික ප්‍රකාශය අමාත්‍යාංශ කාර්යභාර්ය මැනවින් පෙන්වාදීමට අත්වැලක් වනු ඇතැයි ද කීවේය.

හෙතෙම මේ බව පැවසුවේ දිනමිණ පුවත්පත සමඟ නිකුත් කරන “ඉඩම් “පුවත් අතිරේකය එළි දැක්වීම වෙනුවෙන් ලේක්හවුස් ආයතනයේ දී ඊයේ (16) පැවැති උත්සවය සඳහා සහභාගී වෙමිනි. මෙම අතිරේකය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිල පුවත් අතිරේකය ලෙස මාසිකව දිනමිණ සමඟ නොමිලයේ නිකුත් කරනු ලැබේ.

එමෙන්ම පූජා ඔප්පු නොමැති පන්සල් ඇතුළු ආගමික ස්ථාන හත්සියයක් පමණ මෙරට තිබෙන බව කී කරුණාතිලක මහතා, ඒ සියල්ලටම කඩිනමින් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී කීවේය.

ජේ.ආර්.ජයවර්ධන මහතා ලබා දුන් සන්නස් පත්‍රයක් පමණක් හිමිව තිබු පාර්ලිමේන්තුව සතු ඉඩමට ද ඉඩම් ඔප්පුවක් සකස් කිරිමට කටයුතු කළ බව පැවසු ඒ මහතා, ඉකුත් දා එම ඔප්පුව කථානායකවරයාට ලබා දුන් බව ද කීවේය. එමෙන්ම කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ ඉල්ලිමක් පරිදි එම පාසලට ද ඔප්පුවක් සකස් කර දීමට අමාත්‍යංශය කටයුතු කළ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අනුව ඉඩම් ඔප්පු නොමැති සියලුම රාජ්‍ය ආයතනවලට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළවෙළ කඩිනමින් ක්‍රියාත්මක කර එම ආයතනවල අයිතිය තහවුරු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.


නව අදහස දක්වන්න