එකම රටක්- ජාතියක්- නීතීයක් තේමාවෙන් අප පෙරට යායුතුයි | දිනමිණ

එකම රටක්- ජාතියක්- නීතීයක් තේමාවෙන් අප පෙරට යායුතුයි

එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍ය වන බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන, කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ (16) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

මේ වගේ ගැටුම්කාරී තත්ත්වයන්ට ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට රටේ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දී ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි. මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගී සිටීමයි.

ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමටනම් අප කළයුතු වන්නේ එක්සත්ව වැඩකිරීමයි. එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද කීවේය.

සාමකාමීව ගමන් කරන්න අවශ්‍ය අවස්ථාවක, යම් අය විසින් ජනතාව කුපිත කර ප්‍රශ්න ඇති කරනවා. දේශපාලනඥයෝ හැංගි හොරා ඇවිත් ජනතාව උසිගන්වලා තියෙන ආකාරය ලැජ්ජා සහගතයි. ඉතින් මේ තත්ත්වයෙන් කොහොමද අපි රටක් සාමකාමීව ඉදිරියට ගෙනියන්නේ. සියලු දෙනාම ඒකරාශි වෙලා ශ්‍රී ලංකාව ගැන හිතලා, එකමුතුව සාමකාමීව කටයුතු කරන්න අවශ්‍ය වෙලාවයි දැන් ඇවිත් තියෙන්නේ.

මෙහිදී සිංහල බෞද්ධ අය තුළ යම් අමනාපකම් ඇති වන ආකාරයෙන් කරන ප්‍රකාශ තුළින් මුස්ලිම්, ‍දෙමළ අය සතුටු වෙනවානම් ඒක වැරදියි. ඒ වගේම මුස්ලිම් සහ දෙමළ අයට හිරිහැර වන ආකාරයේ ප්‍රකාශ කිරීමේන් ඒකෙන් සිංහල බෞද්ධයන්ට තෘප්තිමත්භාවයක් ඇති වෙනවානම් ඒකත් වැරදියි. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාව ඇති කරන විදියේ වැඩ පිළිවෙළක් ඇති කරන එකයි.

අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ රට රකින්න සියලුම දේශපාලනය පැත්තකට තියලා රටක් ගැන හිතලා කටයුතු කරන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එකතු වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන්න ඕන. මේක තමයි ශ්‍රෙෂ්ඨත්වය, මේක තමයි මනුෂ්‍යකම. මේක තමයි ශ්‍රී ලාංකික එකමුතුභාවය. ඒක තමයි අපි ඇති කරන්න ඕනේ.

ඡන්ද කාලේ විතරක් කතා කරන්නේ නැතුව අපි එකතු වෙලා රටක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන. මේක තමයි රටක් බේර ගන්න තියෙන අවස්ථාව.

 



නව අදහස දක්වන්න