වෙසක් උළෙලට සිරකරුවන් 762කට නිදහස | දිනමිණ

වෙසක් උළෙලට සිරකරුවන් 762කට නිදහස

බුද්ධිකා ඉඹුලාන

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 762ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබති. මෙයින් 26ක් කාන්තාවෝ වෙති.

මෙම සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය වෙසක් පෝදා (18) උදේ 10ට වැලිකඩ බන්ධනාගාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙයින් සිරකරුවන් 34දෙනකු එදින බලපත්‍ර මත ද නිදහස ලබයි.

වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117ක් ද , අනුරාධපුරින් 50ක් ද පල්ලන්සේනින් 53ක් ද, කළුතරින් 45ක් ද, මහරින් 55ක් ද පල්ලෙකැලෙන් 62ක් ද වශයෙන් රට පුරා බන්ධනාගාරවලින් මෙම සිරකරුවන් නිදහස ලබති.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල, අධීක්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

සුළු වැරැදිවලට සිරගත වූ, දඩමුදල් ගෙවා ගත නොහැකි, වයස අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවෝ මෙසේ නිදහස ලැබීමට සුදුසුකම් ලබති.

ස්ත්‍රී දූෂණ , මත්ද්‍රව්‍ය චෝදනා, ළමා අපචාර, කොල්ලකෑම් ඇතුළු බරපතළ ගණයේ වැරැදි සම්බන්ධව වරදකරුවන් වී සිරගත වූවන්ට ජනාධිපති පොදු සමාව හිමි නොවේ.


නව අදහස දක්වන්න