ඉඩම් ඔප්පු දස ලක්ෂයක් දීමට වඩා සමහර මාධ්‍යයන්ට දෙපැත්ත කැපෙන කතා වටිනවා | දිනමිණ

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් දීමට වඩා සමහර මාධ්‍යයන්ට දෙපැත්ත කැපෙන කතා වටිනවා

සමන්මලී ප්‍රියශාන්ති

ඉඩම් අමාත්‍යංශයෙන් කොපමණ සේවයක් සිදු කළත් ඒ සේවය මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට නොයන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් ඔප්පුවක් නැති ජනතාවට ඔප්පු ලබා දී ඉඩමේ අයිතිය හිමි කර දීමේ සිද්ධිය ප්‍රවෘත්තියක් ලෙස නොසළකන ඇතැම් මාධ්‍ය, එම ඔප්පු ප්‍රදානය කිරිමේ උත්සවයේදී කියැවෙන දෙපැත්ත කැපෙන කතාවක් ප්‍රවෘත්තියක් ලෙස විකාශය කරන බව ද කරුණාතිලක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිල පුවත්පත ලෙස “ඉඩම්“ අතිරේකය එළිදැක්වීම සඳහා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ දී ඊයේ (16) පැවැති උත්සවයට එක් වෙමිනි.

ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් “ඉඩම්“ අතිරේකයේ මුල් පිටපත ඇමැතිවරයාට මෙහිදී පිළිගන්වන ලදී.

“ඉඩම්“ අතිරේකය ඊ පුවත්පතක් ලෙස අන්තර්ජාලයට එක් කිරීම ද ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙදින සිදු කෙරිණි.

එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද කීවේය.

අද මෙවන් වැදගත් අවස්ථාවක් සඳහා ලේක්හවුස් ආයතනයට පැමිණීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටට පත් වෙනවා. මේ රජය බලයට පත් වු පසුව ජනමාධ්‍ය විෂය බාර ඇමැතිවරයා ලෙසත් මා මේ ආයතනයට පැමිණුනා. පත්තර මහ ගෙදරට මා විවිධ අවස්ථාවල පැමිණ තිබෙනවා. අද ඉඩම් ඇමැතිවරයා ලෙසත් මේ ආයතනයට පැමිණීමට හැකියාව ලැබුණා.

මේ අමාත්‍යංශයේ වැඩ කටයුතුවලට යම් ප්‍රසිද්ධියක්, ජනතාව දැනුවත් කිරීමක් අපි මේ අතිරේකය තුළින් බලාපොරොත්තු වෙනවා. ඉඩම් අමාත්‍යංශයේ වැඩකටයුතු ගැන බොහෝ විට මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට යන්නේ නැහැ. අද මාධ්‍යයේ ප්‍රවෘත්තිවලට මෙවැනි ප්‍රවෘත්ති වැදගත් වන්නේ නැහැ. අපි මේ අමාත්‍යංශය ඔස්සේ කරන සේවාවෙන් ජනතාව කොපමණ සතුටක් ලැබුවත් ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයට වැදගත් වන්නේ නැහැ. අපි ඉඩම් ඔප්පු පිරිනමන උත්සවයක කාට හෝ මඩ ගසන දෙයක් කියවුණොත් එය තමයි මාධ්‍ය විසින් ප්‍රවෘත්තිය කර ගන්නේ. අපි දහස් ගාණකට ඉඩම් ඔප්පු දෙනවා. ඒ ජනතාව මැරෙන්න කලින් මේ ඔප්පුව ලැබුණු සතුටට අඩනවා. ඒ දහස් ගාණක් එන උත්සවයේ ඔප්පු දෙනවා පෙන්නන්නේ නැහැ. පැමිණ සිටින ජනතාව පෙන්වන්නෙත් නැහැ.

අපි අමාත්‍යංශයේ මහජන දිනය උදේ 6 ට පටන් ගන්නේ ඉතා දුර බැහැර සිට ජනතාව අපෙන් සේවය ලබා ගන්න එන නිසයි. මා බදාදා දින අමාත්‍යංශයට හිමිදිරියේ එන විට ඒ සේවාව ලබා ගන්න එන ජනතාව දකිනවා. එය ඉතා සංවේදී දසුනක්. මේ විෂය මහජනතාවට ඉතාමත් සමීප විෂයක්. ඒ නිසා ඉඩම් ඉතා කළමනාකරණය කර ගෙන කළ යුතු විෂයක්. සෑම කෙනෙක්ටම ඉඩමක් අවශ්‍යයි. ගෙයක් හදන්න, වගාවක් කර ගන්න, සංවර්ධන කටයුත්තක් කර ගන්න හෝ ඉඩමක් අවශ්‍ය කරනවා. රජයට වුවත් ඕනෑම දෙයක් කරන්න ඉඩමක් අවශ්‍යයි.

මේ පුවත්පතට වැදගත් අංශ කිහිපයක තොරුතුරු දෙන්න පුළුවන්. මේ පත්තර මහගෙදර වගේ තමයි අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව. අපේ රටේ පැරණිම දෙපාර්තමේන්තුව තමයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන බොහෝ දන්නේ නැහැ. සැඟවුණු වැඩකොටසක් ඉටු කරන දෙපාර්තමේන්තුවක් මෙය. මහාමාර්ග, අධිවේගී හෝ ලංකාවේ කුමන හෝ සංවර්ධන කටයුත්තක් ආරම්භ කළ විට ඊට මුලින්ම අඩිය තියන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. ඉඩමේ ප්‍රමාණය බලලා සැලැස්ම සකස් කරලා දෙන්නේ ඒ දෙපාර්තමේන්තුව.

අපි ඒ මාර්ගයේ නොගිහින් ඉන්න තමයි උත්සහ කරන්නේ. ඒ නිසා ඉඩම් ඔප්පු බෙදා දෙන එක හොඳ ප්‍රවෘත්තියක් කරන්න මේ පුවත් අතිරේකයෙන් උත්සහ ගන්නේ.

හදිසියකට මේ අයට ඔප්පු නැතිව බැංකු ණයක් ගන්න බැහැ. පාසලට ළමයා දාන විට ඔප්පුවට ලකුණු ලැබෙනවා. ඒ නිසා මේ ඉඩම් ඔපුප් ලබා දීමේ වැඩපිළිවෙළ ජනතාවට ඉතාමත් වැදගත් වන බව මගේ හැඟීමයි. අපිට ප්‍රතිපාදන වෙන් කිරිමේ දි ගැටලු මතු වෙනවා. ඒ සඳහාත් මේ අතිරේකය ඉතා වටිනවා.

කොබ්බෑකඩුව මැතිතුමා ගෙනා අක්කර 50 නීතිය යටතේ අක්කර දහස් ගණන් රජයට දීලා අවුරුදු 18 පිරුණට පසු තවම තමන්ගේ දරුවට ඒ ඉඩම දෙන්න බැරි වු අය දහස් ගණනක් ඉන්නවා. අපි ඒවත් දැන් කඩිනම් කරගෙන යනවා. ඒ නිසා මේ පුවත්පත් අතිරේකය හරහා ඒ ගැන දැනුවත් කරනන පුළුවන්කම ලැබෙනවා. ඉඩම් නඩුවලට කිසිවෙකු පැටලුණොත් එය පරම්පරා ගාණකට ඇඳෙනවා. පොලිස් පොතේ වැඩි හරියක් තිබෙන්නේ ඉඩම් ආරවුල්. අද රාජ්‍ය ආයතන තිබෙනවා ඉඩම් ඔප්පු නැතිව. පොලිසිය, රෝහල් ආදිය තිබෙනවා. පාර්ලිමෙන්තුවට තිබුණේ ජේ.ආර්.ජයවර්ධන මහතා දුන් සන්නසක් පමණයි. අපි පාර්ලිමේන්තුවට ඔප්පුවක් හදලා දුන්නා. කොළඹ ප්‍රධාන පාසලකට ඔප්පු හදලා දුන්නා. සිද්ධස්ථාන හත්සිය ගාණක් තිබෙනවා පුජා ඔප්පු නැතුව. අපි ඒ සියල්ලට ඔප්පු දීම කඩිනම් කරනවා. මේවා ප්‍රවෘත්තිවලට වැදගත් නොවුණට ඒ ප්‍රශ්නයට මුහුණ දෙන අයට විශාල සහනයක්. ඒ නිසා ඒ සියලු දේ ගැන ජනතාව දැනුවත් කරන්නට මේ මේ ඉඩම් අතිරේකය ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා. යැයි කීවේය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා - මොන බාධක ආවත් මේ කටයුතු ඇමැතිතුමා ඉටු කරමින් ඉන්නවා. අපි මේ අතිරේකය තුළින් අපිට විශාල සේවයක් ජනතාව වෙනුවෙන් කරනන පුළුවන් බව මගේ හැඟීමයි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා - අතිතයේ දී ප්‍රවෘත්ති වල වටිනාකමක් අපි දැක්කත් අද සියල්ල පළ වෙන්නේ පිනායාම පිණිස පමණයි. මේ දිනවල මාධ්‍යවලින් අපි දකින්නෙම රට යුදපිටියක් ලෙසයි. අවුරුදු ගාණකට පෙර අපි ලේක්හවුස් ආයතනයේ තනි පිටුවක සමූපකාර ව්‍යාපාරයේ තොරතුරු සතියේ එක් දිනක දී ජනතාව අතරට ගෙන ගියා.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද මෙහිදී කතා කළේය.

“ඉඩම්“ පුවත්පත් අතිරේකය ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යංශ නිලධාරීන්ට මාධ්‍ය පුහුණු වැඩමුළුවක් ලේක්හවුස් ආයතනයේ දී සංවිධාන කර තිබු අතර ඊට සහභාගී වුවන්ට සහතික පත් ප්‍රදානය කිරීම ද ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කරනු ලැබීය.

මේ අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඊ.ඒ.ආර්.රේණුකා මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න, දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල්, කළමනාකරණ කරතෘ සමන්ත කරුණාසේකර, ඉඩම් අතිරේකයේ සංස්කාරිකා ප්‍රමිතා රන්දලී පබසරා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප- ශාන් රූපස්සර, කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න