අපේ මුතුන් මිත්තන්ට සිංහල නම් තියෙනවා සැවොම එකමුතුව ජීවත් වෙනවා | දිනමිණ

අපේ මුතුන් මිත්තන්ට සිංහල නම් තියෙනවා සැවොම එකමුතුව ජීවත් වෙනවා

අපේ මුතුන් මිත්තන් ගත්තම අපට සිංහල නම් තියෙනවා. අපි ජීවත්වෙන්නේ සියලු දෙනාත් එක්කමයි. මම හිතන්නේ ලාංකිකයෙක් හැටියටයි. මට ඊට වෙනස් විධියට හිතන්නම බෑ. මම තමුන්නාන්සෙලාට කියන්නේ මම වෙනස් නෑ, ඒ නිසා සුළුතරය දිහා බලලා සමස්තය ගැන චිත්‍රයක් මවා ගන්න එපා කියලා මම කියන්න කැමැතියි. ඒ නිසා ආත්ම පරීක්ෂාවක් ස්වයං විවේචනයක් කරන්න ඕනෙ කියලා අපි හිතුවා. අපි ඒකට ලැජ්ජා වෙන්නෙත් නෑ බය වෙන්නෙත් නෑ. ඒ ස්වයං විවේචනය ආත්ම පරික්ෂාව කරන්න ඕනෙ. මේ වගේ අපි අතරේ තිබුණ විශ්වාසය බිද වැටෙන්න අපෙත් වැරැදි තියෙන්න ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕනෙ. අපි ඒකට ලෑස්තියි. ප්‍රජාවක් විධියට ශ්‍රී ලාංකිකයන් හැටියට හිටගන්න අපි ලෑස්තියි. අපි හිතන්නේ ඒක අපේ යුතුකමක් කියලයි යැයි මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධනඇමැති කබීර් හෂීම් මහතා පැවැසීය. ඒ මහතා ඒ බැව් ප්‍රකාශ කළේ උද්ගතවූ තත්ත්වය ගැන මුස්ලිම් නායකයන් පිරිසක් වශයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ඉදිරිපත් වෙමිනි . එහිදී අදහස් දැක් වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

මම අද මෙතැනට පැමිණියේ මගේ තියෙන නිල තනතුරු දෙකම පැත්තක තියලයි. අද මම මෙතැනදී නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් දේශපාලනඥයෙක් විධියටයි. මුස්ලිම් දේශපාලන නායකයන් හැටියට මුස්ලිම් සිවිල් සමාජ කිහිපයක් පදනම් කරමින් අපගේ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ, කුරුණැගල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල ඇති වූ කණගාටුදායක තත්ත්වය ගැන අපට ලොකු වේදනාවක් කම්පාවක් ඇති වුණා. ඒත් අපගේ මුස්ලිම් සමාජයට ඊට වඩා ලොකු වේදනාවක් සිදු වුණේ අප්‍රේල් 21 සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවත් එක්කයි. ඒ වේදනාව කම්පාව අපට විශාලයි, බොහෝ දෙනෙක් මේක තේරුම් ගත්තේ නැහැ. ජාත්‍යන්තරව ගත්තම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයෙන් වැඩිම ජීවිත අහිමි වුණේ මුස්ලිම් ජනතාවටයි.

වැඩිපුරම ප්‍රශ්න සිදු වෙන්නේ මුස්ලිම් ප්‍රජාවටයි. මේ රටේ වූ සිදු වීම ගැන මුස්ලිම්වරු හැටියට අපට ලොකු වේදනාවක් දැනෙනවා. ඒවගේම මේ රටේ කතෝලික ජනතාවගේ, සිංහල බෞද්ධ ජනතාවගේ දුක හඳුනාගන්න වගේම දුක බෙදාහදාගෙන පෙරට යන්න අපි සූදානම්. හැම ජාතියකම අන්තවාදීන්, ජාතිවාදීන්, ත්‍රස්තවාදීන් ඉන්නවා. ඒත් එය ඉතාම සුළුතරයක් විතරයි. ඉතින් ඒ සුළුතරයේ මතය අරගෙන බහුතරය මනින්න අපට බැහැ. මතක තියාගන්න ඕනෑම ජාතියක ඕක තියෙනවා. ඊයේ, පෙරේදා ජාතිවාදය පතුරන විවිධ මතවාද මුහුණු පොතේ, සමාජ මාධ්‍යවල සැරිසරනු අප දුටුවා. එක එක්කෙනාගේ ඇවිස්සීමත් සමඟ රටේ ලොකු කලබලයක් ඇති කිරීමට ඇතැම් අය උත්සාහ දැරුවා. මම හිතනවා ඒ පිරිස සුළුතරයක් කියලා. ගම්පහ, කුරුණෑගල දිස්ත්‍රික්වල සිදු වූ සිදුවීම්වලට මුල් වූ සුළුතරය පදනම් කරගෙන සමස්ත සිංහල ජනතාව ගැන අපි වැරැදි චිත්‍රයක් මවාගත යුතු නැහැ. බහුතර සිංහල ජනතාව ඒ ක්‍රියාවන් අනුමත කරන්නේ නැති බව අප දන්නවා. ඒවගේම අපේ ධර්මයට මුවාවෙලා ඉතාම සුළු පිරිසක් සිදු කළ මේ ත්‍රස්ත ක්‍රියාවෙන් අපගේ සමස්ත මුස්ලිම් සමාජය මනින එක හොඳ නැහැ කියලා මම කියන්න කැමැතියි. ඒත් ත්‍රස්තවාදීන් පිළිපදින ධර්මය මම පිළිපදින ධර්මය නොවෙයි. මට පැහැදිලිවම කියන්න පුළුවන් කාරණයක් තමයි ඒ අය පිළිපදින්නේ ඉස්ලාම් ධර්මයක් නොවෙයි කියන එක. මධ්‍යස්ථ මතධාරී මුස්ලිම්වරු හැටියට අප ඔබට දෙන පණිවුඩය එයයි.

පළමුවෙන්ම අප සැම ශ්‍රී ලාංකිකයන් බව අමතක කරන්න බැහැ. ඔබයි අපයි අතර මොකක්ද තියෙන වෙනස? අපි ඔක්කොමලා එකයි. අපේ ඇඟේ දුවන්නේ එකම ලේ. හැමදාම අපට ඒ හැඟම තිබුණා. ඒ නිසා මේ සිද්ධීන්වලදී අප ක්‍රියාකරපු හැටි මම ඔබට පෙන්වන්න කැමැතියි. මාස තුනකට කළින් මා නියෝජනය කරන මාවනැල්ල ආසනයෙන් මගේ සීයලාගේ කාලෙවත් නොවූ සිද්ධියක් වාර්තා වුණා. ඒ තමයි කණ්ඩායමක් ගිහින් බුදු පිළිම තුනකට හානි කරලා තිබුණා. ඒකත් වෙන්නේ මගේ දේශපාලන රැස්වීමකට කලින් රෑ. එහෙම කළේ ලොකු කෝලහාලයක් ඇති කිරීමට කියලා අපි ‍කෙලින්ම කිව්වා. ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා සමඟ එක්වී අපගේ මුස්ලිම්වරුඉදිරියට පැමිණ කිසිම ප්‍රශ්නයක් සිදු වීමට ඉඩ නොතබා එයට සම්බන්ධ වූ සියලු දෙනා අල්ලා ඉදිරිපත් කිරීමට අප සැම කටයුතු කළා.

අපේ ප්‍රධානතම ආගමික නායකයන් වන ජමියතුල් උලමා කණ්ඩායම මේ ත්‍රස්තවාදීන් ගැන දිගටම දැනුවත් කිරීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරලා තියෙනවා. 2012, 13 සහ 14 වගේ වසරවල ඉඳලා මේ දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒවගේම මේ සිද්ධියෙන් පසුව ප්‍රජාවක් හැටියට අපේ වගකීම අපි අත්හැරියේ නැහැ. ත්‍රිවිධ හමුදාව සමඟ උපරිම සහයෝගයෙන් කටයුතු කරගෙන යන්න අවශ්‍ය තොරතුරු ලබාදීම සිදු කළේ ප්‍රදේශයේ ජනතාවයි. ගම්පල මාවනැල්ලේ වැටලීම්වලට මුස්ලිම් ජනතාව තමයි අවශ්‍ය මඟපෙන්වීම සිදු කළේ. අපි දැක්කා සැකයක් ඇති අවස්ථාවලදී මුස්ලිම් මවුපියන් තමන්ගේ දරුවන්ව හමුදාවට ගෙනිහින් භාර දෙනවා. මාවනැල්ලේ අම්මයි තාත්තයි තමයි ඒ දියණියව ගිහින් භාරදෙන්නේ.

අපේ යුතුකම් ටික ඉටුකරනවා වගේම තවත් බොහෝ කරන්න තියෙනවා. ඒවගේම අපේ සංස්කෘතිය ගැන ප්‍රශ්න මතුකර තියෙනවා. මද්‍රසා නීති රීති ගැන ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳා ගැනීමට පියවර ගනිමින් තිබෙනවා.

මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒවගේම මුස්ලිම් ප්‍රජාව මේ රටට අහිතකර ඕනෙනැති නීති රීති, එක එක රටවල්වලින් ගෙනාපු අපේධර්මයට අයිති නැති සංස්කෘතීන් මේවාට හේතු වෙනවා නම් ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ගතයුතු පියවර මොනවාදැයි අප දැන් බලනවා. අපි නිකන් ඉඳලා නෑ බොහෝ දෙනා ඒ ගැන දන්නේ නෑ. රටක් වශයෙන් අපි එකට වැඩ කලේ නැත්නම් මේ ත්‍රස්ත වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට අපට බැරි වෙනවා. එකමුතු වෙලා සටන් කරන එක ඉතාම වැදගත්. මේ උලමාවරු සියලුදෙනා එකතු වී එක තීරණයක් ගත්තා. ඒ මොකක්ද කියනවා නම් මේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ත්‍රස්තවාදීන් කිසිවකුට ආගමික වතාවත් ඉටු කිරීමටවත් ඔවුන්ගේ කොටස් මුස්ලිම් සුසාන භූමිවල වල දැමීමටත් ඉඩ ලබා දුන්නේ නැහැ.

අද මම දෙන්න කැමැති ප්‍රධානම පණිවුඩය තමයි අපගේ මුස්ලිම් සමාජය පසුගිය කාලයේ විදෙස් බලපෑම්වලට ලක් වුණා. සමහරු මේකට අරාබිකරණය කියලා කිව්වා. අපේ ආගමික දහම් පාසල් සහ පිරිවෙණ් අධ්‍යාපනයේ පාලනයක් නැහැ කියලා කිව්වා. ප්‍රශ්න ගොඩක් මතු වුණා. අපේ මුතුන් මිත්තන් ගත්තම අපට සිංහල නම් තියෙනවා. අපි ජීවත්වෙන්නේ සියලු දෙනාත් එක්කමයි. මම හිතන්නේ ලාංකිකයෙක් හැටියටයි. මට ඊට වෙනස් විධියට හිතන්නම බෑ. මම තමුන්නාන්සෙලාට කියන්නේ මම වෙනස් නෑ. ඒ නිසා සුළුතරය දිහා බලලා සමස්තය ගැන චිත්‍රයක් මවා ගන්න එපා කියලා මම කියන්න කැමැතියි. ඒ නිසා ආත්ම පරීක්ෂාවක් ස්වයං විවේචනයක් කරන්න ඕනෙ කියලා අපි හිතුවා. අපි ඒකට ලැජ්ජා වෙන්නෙත් නෑ බය වෙන්නෙත් නෑ. ඒ ස්වයං විවේචනය ආත්ම පරික්ෂාව කරන්න ඕනෙ. මේ වගේ අපි අතරේ තිබුණ විශ්වාසය බිද වැටෙන්න අපෙත් වැරැදි තියෙන්න ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕනෙ. අපි ඒකට ලෑස්තියි. ප්‍රජාවක් විධියට ශ්‍රී ලාංකිකයන් හැටියට හිටගන්න අපි ලෑස්තියි. අපි හිතන්නේ ඒක අපේ යුතුකමක් කියලයි. මේ ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානීන් හැටියට, මධ්‍යස්ත මතධාරීන් හැටියට මෙතෙක් අපි ඉස්සරහට ආවේ නැහැ. අපි හිතාගෙන හිටියේ මේක අපේම යුතුකමක් වගකීමක් නෙවෙයි කියලයි. නමුත් අද අපි ලෑස්තියි ඒ වගකිම ගන්න. මේ රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කරන්න අපි සූදානම් කියන පණිවුඩය තමයි අපි ඉදිරිපත් කරන්නේ.

ශ්‍රී ලාංකික සමාජය තුල ඉදිරියේදි මෙවැනි සිදුවීම් වෙන්න ඉඩ තියන්න බැහැ. රටේ ලොකු ඛේදවාචකයක් සිදුවු මේ අවස්ථාවේදි සියලු දේ එකවර කරගත නොහැකියි. අපි සියලු දෙනා ශ්‍රී ලංකිකයෝ ලෙස ස්වයං විවේචනය කරගෙන ඉදිරියට යන්න ඕනේ. ආණ්ඩුව ලෙස වුණත් එහෙමයි. අන්තවාදීන්ට ආගමක් නැහැ. එතැන සිටින්නේ සුළුතරයයි. මධ්‍යස්ථ අය තමයි බහුතරය සිටින්නේ. නමුත් ඒ සුළුතරයේ හඬ තමයි ඇසෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථ අය ඉදිරියට ඇවිත් කතා කළ යුතුයි.

බුද්ධි කරුණාරත්න, අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න