මැයි 13 දා සිදුවීම් සියල්ල ලංකාවේ මාධ්‍ය හරහා සාක්කි සහිතව තිබෙනවා | දිනමිණ

මැයි 13 දා සිදුවීම් සියල්ල ලංකාවේ මාධ්‍ය හරහා සාක්කි සහිතව තිබෙනවා

මැයි 13 දා සිදුවීම් සියල්ල ලංකාවේ මාධ්‍ය හරහා සාක්කි සහිතව තිබෙන බව මහාමාර්ග හා මාර්ග සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පාර්ශවයේ අවශ්‍යතාව වන්නේ මේ ආණ්ඩුව අසමත් බව පෙන්වා එම පාර්ශවය බලයේ සිටින්නේ නම් මෙවන් දේ සිදු නොවන බව පෙන්වීමට බව ඇමැතිවරයා සඳහන් කරයි.

රට අවුල් කරන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් බව කාදිනල් තුමා පවා කියා ඇති බවත් ජනතාවම පිළිගන්නා ආගමික නායකයකු ලෙස ඔවුන්ව හෙළි දරව් කරන ලෙස එතුමා ගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා වැඩිදුරත් පවසයි.

රංජන් රාමනායක මහතා මෙසේ පැවසුවේ ඊයේ (16) මාදිවෙල පැවැති මාධ්‍ය හමුවේ දීය.

වැඩි දුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා,

පසුගිය 13 වැනි දා සිදු වූ ප්‍රහාරයේ පීතෘත්වය විවිධ පුද්ගලයින් විසින් විවිධ පාර්ශවයන්ට පැවරීමේ යෙදී සිටින අයුරු අපිට පෙනෙනවා. 21 වැනි දා ප්‍රහාරයන් හි වගකීම අයි. එස්. අයි. එස් නායකයා බව කියන බග්දාදි විසින් බාර ගෙන තිබුණා. නමුත් 13 වැනි දා ප්‍රහාරයට උප්පත්තියක් නැහැ. ඒ නිසා මා සොයා ගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න තීරණය කළා. මා කාටවත් චෝදනා කරන්නේ නැහැ. සිදුවීම් පෙළ කියා ගෙන යන්නම්. ඒ අනුව ජනතාවට හැකියාව ලැබෙනවා බුද්ධිමත්ව හිතලා ඒ පිළිබඳව තීරණය කරන්න.

හිටපු ජනාධිපති, වර්තමාන විපක්ෂ නායක, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළා 13 වැනිදා ප්‍රහාරයක් පිළිබඳ වාර්තාවක් තිබෙන බවට. දරුවන් පාසැල් යවන්න එපා කියලා මුළින්ම ඔහු තමයි ප්‍රහාරය ගැන ජනතාව දැනුවත් කරන්නේ. ඉන්පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශයක් කරමින් කියනවා ආරක්ෂාව තර කර ඇති බවත් බය නැතුව දරුවන්ට පාසැල් එන්න කියල. ඒ අතර අධ්‍යාපන ඇමති අඛිල විරාජ් ඇමතිතුමාත් 13 වැනිදා ප්‍රහාරක් වෙන්නේ නැහැ, පාසැල් වලට ආරක්ෂාව ලබා තිබෙන නිසා බය නැතුව දරුවන්ට පාසැල් එන්න කියලත් ප්‍රකාශ කරනවා.

මෙවන් ප්‍රකාශ අතර,

ජනතාව තේරුම් ගත යුතු මීළඟ කාරණය තමයි මේ පහර දීම් කෙරෙන්නේ කොහේද? 21 වැනිදා ප්‍රහාර එල්ල වුනේ මඩකලපුව, කටුවපිටිය හා කොච්චිකඩේ යන දේවස්ථාන වලට සහ ෂැංග්‍රිලා, කිංග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට. රජය විසින් ඒ ප්‍රදේශ වලට විශේෂ ආරක්ෂාවක් දීලා තිබුණා. කොහොම උනත් යම් උණුසුම් තත්ත්වයක් ඇති වනවා නම් ඇති වෙන්නේ මේ ප්‍රදේශ වලින් නිසා ඒ ප්‍රදේශ වලට වැඩි ආරක්ෂාවක් ලබා දී තිබුණා.

හිටපු ජනාධිපතිවරයාගේ බල ප්‍රදේශය වන හෙට්ටිපොල කුරුණෑගල ප්‍රදේශයට එනවා පිටරට ගිය ජනාධිපතිවරයාගේ ඝාතන කුමන්ත්‍රණය ගැන පළවැනි පැමිණිල්ල දාපු නාමල් කුමාර. ඔහු එන්නේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුගේ ඩිෆෙන්ඩරයකින්. නාමල් කුමාර කියන පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවා කියලත් කියනවා. ඔහුපොහොට්ටුවේ සාමාජිකයෙක්. ඉන්පසු එතනට එනවා ශ්‍රී. ල. නි. ප යේ මහලේකම් තුමා වන දයාසිරි ජයසේකර මහතා. ඔහු හා නාමල්කුමාර අතර බහින් බස් වීමක් වෙනවා කියලා කියනවා. ඉන්පසු හිටපු ඇමතිවරයා යම්කිසි නාලිකාවක් ඔස්සේ කියනවා මේ අය මගේ ජීප් එකෙන් මමම එලවා ගෙන ගිහිං මේ අය බේර ගෙන එනවා කියලා. ඔහු සමග ඒ රථයට ස්වාමීන් වහන්සේ කෙනෙකුත් නගිනවා. ඒ වගේම තුෂාර ඉඳුනිල් මහතා කියනවා රනස්ගල්ල පන්සලේ හාමුදුරුවෝ පොලු මුගුරු එක්ක බස් එකක සෙනග ගෙනාව දැක්කා කියලා. හැබැයි මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා 13 වැනිදා ප්‍රහාරය අයි. එස්. අයි. එස් ප්‍රහාරයක් නොවන බව. එහෙම කළා නම් ඔවුන් මේ වනවිටත් පිළි අරන්. නමුත් සී. සී.ටී. වී , ඡායාරූප හා අන්තර්ජාලය හරහා හුවමාරු වන වීඩියෝ බැලුවම මීට අහු වෙලා තියෙන සියලු දෙනාම පොහොට්ටුවට නෑකම් කියන කට්ටිය. මධුමාධව අරවින්ද මහතා කියනවා ට්‍රැෆික් බලන්න ගිහිං එනවා කියන එකත් අපට දක්නට ලැබෙනවා. අපි දන්නේ නැහැ එහෙම ට්‍රැෆික් බලන්න කවුරුත් නැතුව වාහනෙන් බැහැලා යනවා ද කියලා. ඔහු උදේ ඉඳලා හිටියා කියලත් ඡායාරූප වීඩියෝ තියෙනවා.

මිනුවන්ගොඩ සිද්ධියේ දී සුපුරුදු විදියට විපක්ෂය කියනවා මේ සියල්ල කළේ එඩ්වඩ් ගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා. විමල් වීරවංශ මහතා කියනවා මේ ප්‍රහාරයට මුළුමණින්ම වග කිව යුත්තේ අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහාමි කියලා. ඔවුන් අද මාධ්‍ය හමුවක් තියලා කියලා තියෙනවා ඔවුන් හිටියේ කොහේද කියන එක. විමල් වීරවංශ මහතා තම වාසිය වෙනුවෙන් බොරු කියන්න ඉතිහාස ගත වී තිබෙනවා. ඔහුගේ උප්පැන්න සහතිකේ සිට බොරුවනේ. ඒ වගේම මේ අහුවෙලා ඉන්න පිරිස කවුද බැලුවා නම් ඒ අයට ඉතිහාසයේ පහර දීම් ගැන, කඩාකප්පල්කාරීක්‍රියා ගැන කිළිටිඉතිහාසයක් තියෙනවා.

කිසිම ආණ්ඩුවක් තමන්ගේ ආණ්ඩුව තිබියදී ඔවුන් විසින්ම මෙවන් ප්‍රචණ්ඩකාරී දේ කරයි කියා මා හිතන්නේ නැහැ. මේ කරපු පාර්ශවයේ උවමනාව වන්නේ මේ ආණ්ඩුවට මේක කර ගෙන යන්න බැහැ කියන එක පෙන්වන්නය. මේකට අපි වගේ අය හිටියා නම් මේක වෙන්නෙ නෑ කියලා තමයි පෙන්වන්න හදන්නේ. ඒ ගෝටාභය වෙන්න පුළුවන්. මෛත්‍රී - ගෝටාභය මහින්ද හමුවක් විය හැකියි. ඔවුන්ට මිසක් රුවන් විජේවර්ධන වගේ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙකුට මේක කරන්න බෑ කියලා පෙන්වන උත්සාහයක් බව මම යෝජනා කරනවා.

රට අවුල් කරන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් බව කාදිනල් තුමා පවා කියා තිබෙනවා. ජනතාවම පිළිගන්නා ආගමික නායකයකු ලෙස ඔවුන්ව හෙළි දරව් කරන ලෙස මම එතුමා ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද පැවසීය.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න