ආරක්ෂාව තහවුරු කරන නීති සම්පාදනයට සෑම පක්ෂයකින්ම යහපත් ප්‍රතිචාර ලැබුණා | දිනමිණ

ආරක්ෂාව තහවුරු කරන නීති සම්පාදනයට සෑම පක්ෂයකින්ම යහපත් ප්‍රතිචාර ලැබුණා

ස්වර්ණා විජේකෝන්

සමාජ ප්‍රතිසංස්කරණ සඳහා සියලු දෙනාම එකතුවිය යුතුයි
- ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක

මසක් ඇතුළත යෝජනාවලිය ක්‍රියාත්මක කරනවා
- ලසන්ත අලගියවන්න

ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සකස් කළ යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදි ඊයේ (16දා) සාකච්ඡාවට යෙදුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

කරුණු 11 ක් අන්තර්ගත පරිදි මෙම යෝජනා‍වලිය සකස් කර ඇති අතර අදාළ යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති, පත්කළ මන්ත්‍රී මලිත් ජයතිලක මහතා වෙත පසුගියදා භාර දුන් බවත් මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ බවත් මේ වෙනුවෙන් සියලු දෙනාගේ යහපත් ප්‍රතිචාර හිමිවී ඇති බවත් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරිමට අදාළව සකස් කළ යෝජනාවලියට අමතරව විපක්ෂනායකවරයා ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජිතයින් මේ වෙනුවෙන් ඔවුන්ගේ අදහස් පවා ලබාදීමට කැමැත්ත පළකල බවත් මහින්ද අමරවිර මහතා සදහන් කළේය.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට අමතරව අද (17) දිනයේදී මෙම කාරක සභාව සඳහා ඇමතිවරුන් කිහිප දෙනකු හා එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ආදි පක්ෂවල තවත් මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවිර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවිර මහතා මෙසේද පැවසීය. ආගම් හා ජන කණ්ඩායම් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය නීති සම්පාදනය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම සමාලෝචනය කොට ප්‍රතිසංස්කරණය කළ යුතු අතර ඒ සඳහා ජාතී ආගම් ලෙස බෙදී අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම, මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සැලකීම විදෙස් අධ්‍යාපනය ලබන දරුවන් හ‍ට මෙරට සංස්කෘතිය හා සාමාජික රටාවන්ට අනුගත කිරීම, මෙරටට පැමිණෙන ජාතික හා ආගමික සංස්කෘතික දේශන හා අධ්‍යාපන පර්යේෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්න් මෙරටට ඇතුළුවීම‍ට පෙර පරික්ෂණයකට ලක්කීරීම ආදිය ඉන් කිහිපයක්.

ඒ වගේම ජාතික ආරක්ෂාවට හා සාමකාමී පැවැත්මට තර්ජනයක් වන බුර්කාව, මුහුණ ආවරණය වන හෙල්මට් වැනි ඇඳුම් පැළදුම් වැළැක්වීම සඳහා ආගමික නායකයන් හා බුද්ධිමතුන්ගේ උපදෙස් මත ඊට අදාළ නීති රීති සම්පාදනය කිරීම ආදිය ඉන් කිහිපයක්. ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රීති කඩිනමින් සම්මත විය යුතුයි.

පසුගියදා ඇති වූ අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරය දෙස බැලුවම අපට තේරෙන්නේ මෙම අන්තවාදයන් හා ඊට බලපෑ සා‍ධකයන් පරාජය කිරීම සඳහා ප්‍රමාණවත් නීති රීති නොමැති බවයි. ඒ අනුව නව මාදිලියේ ත්‍රස්ත ප්‍රහාර අනාගතයේදී සිදුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපගේ වගකීමක්. ඒ නිසාම තමයි මෙවැනි යෝජනා 11 ක් ඇතුළත් කරමින් නීති රීති සම්පාදනය කිරීමට අදාළ යෝජනාවලියක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය ලෙස ඉදිරිපත් කරන්නේ. ඒ වගේම වාර්ගික, ආගමික, ජාතින් වශයෙන් පාසල් වර්ග කිරීම වෙනුවට සියලුම ජාතින් ආගම් නියෝජනය වන පරිදි පාසල් පවත්වාගෙන යා යුතුයි.

ඒ වගේම ජාති, ආගම්, කුල, ප්‍රදේශ නියෝජනය වන පරිදි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම‍ට අදාළව නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව පොදු නීති රීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම ජාතික ආගමික සහජීවනය මෙන්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් ආගමන විගමන නීති සංශෝධනය කළ යුතුයි. ඒ වගේම අන්තර්ජාල තොරතුරු හා මුහුණු පොත් මඟින් සිදුකරන අනිසි පෙළඹවීම් හා සාපරාධි අපරාධ වෙනුවෙන් තොරතුරු පාලනය කිරිම සඳහා නීති සම්පාදනය හා නියාමනය කිරීම සිදුවිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂ සමඟ පමණක් නොව ආගමික නායකයන් සමඟත් සාකච්ඡා කරනවා. මහනායක හිමිවරුන්, කාදිනල් තුමා, අනෙකුත් ආගමික නායකයින් සමඟ අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගේ වැඩක් විදිහට කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. 225 දෙනාගේම වැඩක් විදිහට මෙය සිදුකිරිමයි අපට අවශ්‍ය, තහනම් කිරීමට පියවර ගත් මෙම අන්තවාදි සංවිධාන වලට පසුගිය කාලයේදි විශාල මුදලක් ලැබී තිබෙනවා.

ආගමන විගමන නීති රිති නිවැරදි ලෙස සකස් කර තිබුණා නම් මෙවැනි ආකාරයට සිදුවන්නේ නැහැ. ඒ නිසා දැන්වත් අපි ප්‍රමාද වී හෝ අවශ්‍ය සංශෝධනයන් සිදුකළ යුතුයි. මෙම යෝජනාවලිය අපි අගමැතිවරයාට, විපක්ෂනායකවරයාට, මනෝ ගනේෂන්, ආර්. සම්බන්ධන්, පලනි දිගම්බරන්, පාඨලි චම්පික රණවක ආදි අනෙකුත් පක්ෂ නියෝජිතයන්ටත් පිරිනැමුවා. ඔවුන් සියලු දෙනාම පාහේ මේ වෙනුවෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා එම පිරිස් අද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත පැමිණීමටත් තීරණය කර තිබෙනවා. රටේ යහපත වෙනුවෙන් ඇතැම් තීන්දු තීරණ ගැනීම සඳහා ඔවුන් කැමැත්ත පළකළේ අපිත් අපේක්ෂා නොකළ ආකාරයටයි. ඒ වගේම රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි දේශපාලන පක්ෂ සමඟත් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම යෝජනාවලිය පිළිබඳව අපි පුළුල් ලෙස සාකච්ඡා කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අන්තවාදය හා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මාසයක් ඇතුළත මීට අදාළව නීති සම්පාදනය කිරිමයි අපගේ අරමුණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා - 1948 වසරේ සිට මේ දක්වා කාල සීමාව තුළ අවශ්‍ය කරන මුලික නීති රාමුව සකස් වි නැහැ. එ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ සඳහා මූලිකත්වය ගත්තේ. නමුත් අපට මේ කාර්යයෙහි මුලිකයා විමේ හෝ අයිතිකරුවන් වීමේ අවශ්‍යතාවක් නැහැ. මේ ක්‍රියාවලිය සඳහා සියලු දෙනා දායක කරගෙන මෙය රටේ වැඩක් ලෙස ඉටුකිරීම අපගේ අරමුණයි.

මේ යෝජනාවලියම පැකේජයක් ලෙස එකවර ක්‍රියාත්මක කරවා ගැනීම නෙවෙයි අපගේ බලාපොරොත්තුව. එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මෙම යෝජනා මාලාව එකින් එක හෝ ක්‍රියාත්මක කරවා ගැනීම අපගේ අරමුණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා - මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් මාසයක් වැනි කාලයක් තුළ මේ පිළිබඳව සාකච්ඡා කර යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අරමුණයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ දුරකථන අංක 0112 777300 යන දුරකථන අංකයට ලබාදිය හැකියි.


නව අදහස දක්වන්න