පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන රට ගිනි තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා | දිනමිණ

පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන රට ගිනි තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා

ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයකුට ඔවුන්ගේ තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබාදිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය උපයෝගී කර ගනිමින් රට තුළ තවත් ඛේදවාචකයක් ඇති කර රට ගිනි තැබීමට දේශපාලන හස්ත රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියා උපයෝගී කර ගනිමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔවුන් උත්සාහ කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 1000 ක වියදමින් ඉදිකළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව මහජන පොළ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (16) දින සහභාගි වෙමිනි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම මහජන පොළ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1,000 කි.

මෙහිදී සූරියවැව සඳකැලුම් රංග ආයතනයට රුපියල් ලක්ෂ 3 ක් වටිනා සංගීත භාණ්ඩ සහ සූරියවැව ප්‍රදේශයේ ගොවි සමිති දෙකකට පුටු කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

නව අදහස දක්වන්න