සංචාරක කර්මාන්තය මාස 6කට පසු පැවති තත්ත්වයට ගොඩ ගැනීමට පුළුවන් | දිනමිණ

සංචාරක කර්මාන්තය මාස 6කට පසු පැවති තත්ත්වයට ගොඩ ගැනීමට පුළුවන්

අසේල කුරුළුවංශ

පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ බිඳ වැටීමට ලක්වූ මෙරට සංචාරක කර්මාන්තය මාස හයක පමණ කාලයකින් පසු පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍යය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මේ ආකාර ප්‍රහාර ඉන්දියාව,අමෙරිකාව,පැරිසිය,යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට එල්ලවී තිබෙන බවත් ප්‍රහාරයත් සමඟ ඒ සෑම රටකම සංචාරක කර්මාන්තය ඒ මොහොතේ විශාල කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පෙරේදා (16) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මෙවැනි සිදුවීම් වලින් පසු සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇතිකර ගැනීමට ඇතැම් රටවල් වලට වසරක පමණ කාලයකුත් තවත් සමහර රටවලට වසර දෙකක පමණ කාලයකුත් ගතව තිබෙන බවත් කී ඒ මහතා අප මෙම වසර තුළම යම් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද අවධාරණය කෙළේය.

වසර 2014 දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 2018 වසරේදී ලක්ෂ 24 ක් දක්වා ඉහළ ගිය බවත් එම සංඛ්‍යාව මෙම වසරේදී තවත් ලක්ෂ හයකින් පමණ ඉහළට ගෙන යෑමට හැකි වෙතැයි අපේක්ෂා කළ බවත් වික්‍රමරත්න මහතා කීවේය.

සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළ හෝටල් ක්ෂේත්‍රය ඇතුළු සියලු අංශ සඳහා සහන ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රීලංකාවට එල්ලවූ මෙම ප්‍රහාරයත් සමඟ ලෝකයේ අනුකම්පාව අප රටට ලැබුණු බවත් ජත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 161 ක මුදලක් ලබා දීමට කටයුතු කර තිබෙන බවත් හෙතෙම කීය.

නව අදහස දක්වන්න