වර්තමානයේ කළ යුතු මූලිකම අවශ්‍යතාව ජාතික සමඟිය තරකර ගැනීමයි | දිනමිණ


 

වර්තමානයේ කළ යුතු මූලිකම අවශ්‍යතාව ජාතික සමඟිය තරකර ගැනීමයි

චන්ද්‍රිකා පෙරේරා

වර්තමානයේ කළ යුතු මූලිකම හා ප්‍රධානතම අවශ්‍යතාව විය යුත්තේ ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය තරකර ගැනීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.

ජනතාව අතර අසමගිය ඇති කිරීම, සැකකරුවන් මුදා ගැනීමට කටයුතු කිරීම වැනි චෝදනා එල්ල වී ඇති මුස්ලිම් දේශපාලඥයින්ට ඡන්දය ලබා නොදී පැරදවීමට සාමාන්‍ය මුස්ලිම් ජනතාව පෙළ ගැසී සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවට රහසේ අයිඑස් ක්‍රියාකාරිකයින්ගෙන් මෙරට ත්‍රස්තවාදීන්ට මුදල් ලැබුණේ කෙසේද යන්නත් එම මුදල් වෙනත් අයට ද ලැබී තිබේද යන්නත් සොයා බැලීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් පත්කරන කළ යුතු බවද කීය.

කන්ද උඩරට නීතිය, තේසවලාමේ නීතිය, ශරියා නීතිය ආදී විවිධ නීති මෙරට ජන කොටස්වලට නොතිබිය යුතු බවත් එකම නීතියකට සියලු ජන කොටස් යටත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කෙළේ ය. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය වූ දින සිට මේ දක්වා කාලයේ රටේ සිදු වූ සිදුවීම් පිළිබඳ ‘ගවේශනාත්මත්මකව සිදු කළ සොයා බැලීම‘ සම්බන්ධයෙන් බොරැල්ල එන්එම් පෙරේරා මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා එම අදහස් පළ කෙළේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

තවුහිද් ජමාත් ත්‍රස්තවාදී කණ්ඩායමට මෙරට මුස්ලිම් ජනතාවගෙන් සුළු පිරිසක් පමණයි එක්ව සිටින්නෙ. ඒ නිසා සියලු ජන කොටස් එකම ජාතියක් ලෙස ජාතික සමඟිය ඇති කර ගත යුතු අතර ඒ සඳහා ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගය කඩිනමින් ගත යුතුයි. මේ මුස්ලිම් අන්තවාදීන් හා සාමාන්‍ය මුස්ලිම් ජනයා හඳුනා ගත හැකි ක්‍රමවේද කිහිපයක් අප හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය මුස්ලිම් ජනතාව පල්ලියට යන විට හිසේ තොප්පියක් පළඳින නමුත් තවුහිද් ජමාත් කණ්ඩායම එය ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනතාව යමෙක් මිය ගිය විට දින 13න් මාස තුනෙන් දානයක් දෙනවා. මළගිය අයට පින් දීමට යාසීම් කරනවා. මේ සියල්ල තවුහිද් ජමාත් කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. ඒ අය මේවා සිදු කිරීම තහනම් කර තිබෙන්නෙ. මේ ත්‍රස්ත කණ්ඩායම ත්‍රස්තවාදය තුළින් ලෝකය මුස්ලිම් බවට පත් කරන්න උත්සහ කරන්නේ. මේ නිසා මෙරට ඇති වූ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ මූල බීජ සො ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි. මෙරට වූ මේ සිද්ධිය වීමට ප්‍රථම මෙවැනි තත්ත්වයක උද්ගත විය හැකි අවධානමක් ඇති බවට ආරක්ෂක මණ්ඩලයේ 13න් වතාවක් කතා කර තිබෙන බව දැන ගැනීමට තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කළා නම් එම ප්‍රහාර ඇති නොවන ලෙස ක්‍රියාත්මක වීමට හැකිවන්නට තිබුණා.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලන ප්‍රධානීන් සිව් දෙනෙක් පිළිබඳ සැකයක් එල්ල වී තිබෙනවා. අසාද්සාලි, හිස්බුල්ලා, බදියුදීන් හා මුජිබර් රහුමන් සිව්දෙනා ගැන මෙසේ එල්ලව තිබෙන සැකය සත්‍යයදැයි අප දන්නෙ නැහැ. ඒ නිසා ඒ ජනතාවගේ සැක දුර කිරීමට ඒ අය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු අතර එම පරීක්ෂණ අවසන් වන තෙක් ඒ අය දරන තනතුරු වලින් තාවකාලිකව ඉවත් කළ යුතුයි. පසුව ඒ අය නිදොස් නම් නැවත එම තනතුරු ලබා දිය හැකියි.

මේ වන විට සැකය එල්ලවී ඇති සියලු පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් කඩිනමින් නිවැරදි පරීක්ෂණ සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි. විවිධ චෝදනා සම්බන්ධ සැකකරුවන් පරීක්ෂණවලින් තොරව මුදා හැරීම පරීක්ෂණ නොපැවැත්වීම බුදුපිළිමවල ශීර්ෂ කැඩූ අය නිදහස් කිරීම වැනි කටයුතු නිසා ජනතාව වික්ෂිප්ත භාවයට පත්ව සිටිනවා. වයඹ හා ගම්පහ ප්‍රදේශල පමණක් කලබල ඇති වීමට හේතු සොයා විසඳුම් ලබා දිය යුතුයි.

මව්බිම ජනතා පක්ෂයේ තරුණ කටයුතු සැළසුම් පිළිබඳ ලේකම් රංග ශ්‍රී පීරිස් මව්බිම ජනතා පක්ෂයේ සභාපති මහාචාර්ය සී.එස්.වීරරත්න, මහලේකම් ධම්මික ප්‍රනාන්දු, උපාය උපක්‍රම හා ප්‍රතිපත්ති සැළසුම් ක්‍රියාකාරී ප්‍රියන්ත විජේවර්ධන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූපය - සරත් පීරිස්

නව අදහස දක්වන්න