සමහරු මළමිනී උඩින් බලය ගන්න හදනවා | දිනමිණ


 

සමහරු මළමිනී උඩින් බලය ගන්න හදනවා

දුමින්ද සම්පත්
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සන්සුන් වෙමින් පැවැති රට ඉන් සති තුනකට පසු යළිත් නොසන්සුන් වීමට හේතුව කුමක්ද? ජනතාව අතර පැවැති සාමය නැවත ගොඩනැඟිය හැක්කේ කෙසේද? ජාතික මඟ සංවිධානය ගොඩනැඟීමේ අරමුණ කවරේද ආදී කරුණු පිළිබඳ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මෙසේ අදහස් දක්වයි.

* වහාබිවාදය ඉස්ලාම් ධර්මය විකෘති කළා
* අන්තවාදයට විරුද්ධ මුස්ලිම් නායකයන් රැකගන්න ඕන
* භාරකාර ආණ්ඩු අවශ්‍ය නැහැ
* පළමු තලයෙදිම ත්‍රස්තවාදය පරද්දමු
* වෙනදාටත් වඩා සංහිඳියාව ඕන

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

මේ ප්‍රහාරය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ ගැන අපි බරපතළව හිතන්න ඕන. ත්‍රස්තවාදය සෑම තලයකදීම පරාජය කළ යුතුයි. මේ ප්‍රහාරයෙන් පස්සෙ ජාතිවාදී, වර්ගවාදී කෝලාහල ඇතිකරන්න සමහර පිරිස් උත්සාහ ගනිමින් ඉන්නවා. ඒ තත්ත්වයත් ත්‍රස්තවාදී ප්‍රහාර හා සාමානයි. අපි මේ තත්ත්වයත් පරාජය කරන්න ඕන. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදය උත්සාහ කළේ, සිරියාව, ඉරාකය වගේ රටවල ඉස්ලාම් රාජ්‍යයක් හදන්න. ඒ රටවල් මේ ත්‍රස්තවාදය පරාජය කළා. දැන් ලංකාව ඒ සඳහා භාවිතා කරන්න ඔවුන් උත්සාහ කරනවා. ලංකාවෙ වහාබිවාදය ප්‍රචලිත වෙන්නෙ 1989 දී විතර. මේ අය ක්‍රමානුකූලව ඔවුන්ගේ මතය ප්‍රචාරය කරමින් හිටියා. ඔවුන් වහාබිවාදය හරහා ඉස්ලාම් දහම විකෘති කළා. මුස්ලිම් සමාජය මේ වහාබිවාදයේ ගොදුරක් බවට පත්වුණා.

මේ ප්‍රහාරය අන්තවාදී ප්‍රහාරයක් හැටියට බොහෝදෙනා හැඳින්වුවත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව අසමත් බවයි කියන්නෙ?

මම ඒක පිළිගන්නෙ නැහැ. ආණ්ඩුවෙ ආරක්ෂක අංශයෙ හිඩැසක් තිබුණා. ඒ හිඩැස නිසයි මේ ප්‍රහාරය ඇතිවුණේ. බුද්ධි අංශ වාර්තා පදනම්කරගෙන හරියට මෙහෙයුම් වුණේ නැහැ. ආරක්ෂක අංශය බාරව ඉන්නෙ ජනාධිපතිතුමා. මේ හිඩැස කාගෙන් වුණාද කියන එක සදාකාලික අභිරහසක් හැටියට තියාගන්න බැහැ. මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි. එතැන පක්ෂ විපක්ෂ හැමෝම ඉන්නවා. වගකිවයුතු සියල්ලො ඒකට ගෙන්වන්න ඕන. වගකිවයුත්තො හෙළිදරව් කරන්න ඕන. සිද්ධියෙන් සති දෙකක් යන්න කලින් අපේ ආරක්ෂක අංශ ත්‍රස්තවාදින්ට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. පුපුරන ද්‍රව්‍ය ආයුධ සොයාගත්තා. සංවිධාන ජාලය හෙළිදරව් කරගත්තා. ත්‍රස්තවාදය ආරක්ෂක ක්‍රියාමාර්ග හරහා පරාද කරන්න පුළුවන්. ඒත් ව්‍යුහාත්මකව තිබෙන වහාබිවාදී මතවාද පරාජය කළේ නැත්නම් අල්කයිඩා, බොකෝහරම්, අයි.එස්. අයි.එස්. නැත්නම් වෙනත් මුහුණුවරකින් මේ තත්ත්වය නැවත මතුවෙන්න පුළුවන්.

ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කළත්, සාමාන්‍ය ජන ජීවිතය තාමත් යථාතත්ත්වයට පත්වෙලා නැහැ?

ආරක්ෂක අංශවල ජයග්‍රහණය දියාරු කරන්න බොරු, කාඩ්බෝඩ් ජාතික වීරයෝ උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරනවා. මුස්ලිම් ව්‍යාපාරිකයගෙ කඩේට ගහනවා. ජනතාව අතර වේගයෙන් කටකතා පැතිරෙනවා. ඇත්තට වඩා ආවේගාත්මක, ජාතිවාදී කතාවලට, භීතියට පත්කරන කතාවලට සවන්දෙන්න මිනිස්සු කැමතියි. සමහරු මේ ඛේදවාචකය දඩමීමා කරගෙන දේශපාලනය කරනවා. මළ කඳන් මතින් බලයට එන්න හදනවා. පාසල්, විශ්වවිද්‍යාල වහන්න, රට අකර්මන්‍ය කරන්න, ජන ජීවිතය අනාරක්ෂිතයි කියන්න, රටට එන සංචාරකයො නතර කරන්න, කර්මාන්තශාලා වහන්න සමහරුන්ට ඕන වුණා. ඒ හරහා තමන්ගෙ පටු දේශපාලන වුවමනාව ඉටුකරගන්නයි ඔවුන් හදන්නෙ. මේ පිටුපස්සෙ ඉන්නෙ කවුද? කියන ඇත්ත මිනිස්සු වටහාගන්න ඕන.

නීතිය ක්‍රියාත්මකවීමේදී විවිධ බලපෑම් එල්ල වෙන බවත් කියනවා. සමහර මැති ඇමතිවරු පවා අත්අඩංගුවට ගන්න අය ගැන බලපෑම් කරන බවත් කියනවා?

නීතිය හා සාමය වැඩපිළිවෙළ හරියට වෙනවනම්, මේ ගැටලු ගොඩක් ඉවරයි. තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් ඇල්ලුවට පස්සෙ සමහර බලවත් දේශපාලකයන් ඔවුන් නිදහස් කරගන්න උත්සාහ කළා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැඟිටිනකොට උතුරෙ දෙමළ දේශපාලකයනුත් වැඩ කළේ මෙහෙමයි. අන්තිමේදී තුවක්කු උණ්ඩය ඒ නායකයන්ගෙ ඔළුකට්ට පසාරු කරගෙන ගියා. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන පහසුකම් සපයන ඕනම කෙනෙකුට අත්වෙන ඉරණම ඒක. තවත් සමහරු මේ ප්‍රහාරයෙන් පස්සෙ ගොඩනැඟෙන වර්ගවාදයට, ජාතිවාදයට, අනුබල දෙනවා. සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ වීරයො බිහිවෙනවා. ඒවට රැවටෙන පිරිස් මුස්ලිම් කඩසාප්පු ගිනි තියනවා. සමහර දේශපාලකයන් මේ වැරදි කරන අය බේරගන්න ගිහින් වීරයො වෙන්න හදනවා. මේ අය ඉතිහාසයෙ කුණු බක්කියට යනවා. අයි.එස් ත්‍රස්තවාදයට වගේම, මුස්ලිම් විරෝධී වර්ගවාදයටත් අලගුතියන, අනුබල දෙන බාල ලාබ දේශපාලනය අපි බැහැර කරන්න ඕන.

මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ආණ්ඩුවෙ සංහිඳියා වැඩපිළිවෙළටත් චෝදනා එල්ල වෙනවා?

සංහිඳියාව නැතිවෙච්ච නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. සහජීවනය, මෛත්‍රිය, කරුණාව සමාජයකට අවශ්‍යයි. මේව එපා කියල කවුරුවත් කියන්නෙ නැහැ. සංහිඳියාව කියන්නෙත් ඒ ටිකමයි. අපේ රටේ තිස් අවුරුදු යුද්ධෙන් පස්සෙ තමයි සංහිඳියාව අවශ්‍ය බව තේරුම් ගියේ. දැන් ඒ වචනෙට බැටදෙනවා. නමුත් සංහිඳියාව එපා කියල කවුරුවත් කියන්නෙ නැහැ. ආණ්ඩුව අවධානය යොමුකළේ උතුරු නැගෙනහිර සංහිඳියාව ගැන විතරයි. ඒකට යටින් ඉතාම බියකරු ආගමික උම්මත්තක වාදයක් දලුලා වැඩී තියෙනවා. ඒ ගැන අවධානයට ලක්වුණේ නැහැ. වෙනදාටත් වඩා ජාතික, ආගමික, වාර්ගික සංහිඳියාවක් දැන් අවශ්‍යයි.

ජාතික මඟ වැඩසටහන පටන් ගන්නෙත් මේ අරමුණ ඇතුව. එවැනි වැඩසටහනකට ප්‍රමාද වුණේ ඇයි?

මේ සිද්ධියත් එක්ක දේශපාලන භූ දර්ශනයෙ ලොකු වෙනසක් වුණා. ගෝලීය ත්‍රස්තවාදයෙ දඩබිමක් බවට ලංකාව පත්වෙලා. ලංකාව දේශපාලනික, මතවාද, සංස්කෘතික වශයෙන් අලුතෙන් සන්නද්ධ වෙන්න ඕන. ජාතික මඟ පටන්ගත්තෙ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. මේ සිදුවීමෙන් පස්සෙ තවමත් වෙන්නෙ එකිනෙකාට ඇඟිල්ල දිගු කරන එක; බණින එක රටේ ප්‍රශ්න එහෙම විසඳන්න බැහැ. සමාජයට සබුද්ධික මතයක් ගේන්න, සමාජය ඒ සඳහා සංවිධානය කරන්න අවශ්‍යයි.

මුස්ලිම් සමාජය අන්තවාදයට එරෙහිව පෙනී සිටින ආකාරය ගැන විවේචනයක් තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

මුස්ලිම් ජන සමාජයේ දේශපාලන, ආධ්‍යාත්මික නායකයන් මේ සිදුවීම පොදු හෙළා දැකීමට එහා යන ඉදිරි පියවරක් තැබිය යුතුයි. මේ අන්තවාදය ග්‍රහණය කරගත්තු, මේවාට මුදල් හදල් දුන් පිරිසක් ඉන්නවා. මුස්ලිම් සමාජය තුළ මේ අන්තවාදය බොහෝසෙයින් පැතිරී තිබෙනවා. මේවාට විරුද්ධව වැඩකරන මුස්ලිම් නායකයන්ට ද්‍රෝහීයා, ජාති ආගම් ද්‍රෝහියා කියන ලේබල් වදින්න පුළුවන්. ඒ වගේම ඒ අයට මරණ තර්ජන එන්න පුළුවන්. මේ අන්තවාදයට එරෙහිව ඔත්තුවක් දීපු කබීර් හෂීම් ඇමතිතුමාගෙ ලේකම්ට වෙඩි තිබ්බා. මුස්ලිම් නායකයන්ට අනතුර වැඩියි. මේ වෙලාවෙ අන්තවාදයට එරෙහි වෙන්න මුස්ලිම් නායකයන්ට ලොකු නිර්භීතකමක් අවශ්‍යයි. අපි ඔවුන්ව රැකගන්න ඕන. ඒ වගකීම සිංහල දෙමළ සමාජය සතුයි. ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්. මැලේසියාව, ඉන්දුනීසියාව මේ වහාබ්වාදයට එරෙහිව කටයුතු කළා.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් නායකයන්ට මීට වඩා වගකීමක් තිබෙන බව කියනවා. අන්තවාදීන් ආරක්ෂා කිරීම ගැන චෝදනා ඔවුන්ටත් එල්ල වෙනවා?

ආණ්ඩුවෙ මුස්ලිම් ඇමතිවරු කිහිපදෙනෙකුටත් ජනාධිපතිතුමා පත්කළ ආණ්ඩුකාරවරයෙක්ටත් චෝදනා එල්ල වෙනවා. කොටි සංවිධානය හිස ඔසවද්දි උතුරේ දෙමළ දේශපාලනඥයන්ටත් මේ වගේම චෝදනා එල්ල වුණා. ත්‍රස්තවාදයට සහාය දීල තියෙනව නම් ජාතිය, ආගම බලන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

මේ ගැටුම් අස්සෙ භාරකාර ආණ්ඩු යෝජනාවකුත් ඇවිත් තියෙනවා?

ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන කියල කියන ජාතියෙම හඬක් තමයි ඔය නැගෙන්නෙ. භාරකාර ආණ්ඩු අවශ්‍ය නැහැ. මේ තියෙන්නෙ ජනවරමක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව හරියට මෙහෙය වන්න ඕන. රටේ ආරක්ෂාව බාර ජනාධිපතිතුමාට. කැබිනට් මණ්ඩලයෙ සහාය ගන්න එතුමා දැනගන්න ඕන. එ්කට කැබිනට් මණ්ඩලයට උපදෙස් දිය යුතුයි. භාරකාර ආණ්ඩු ඇතිකරන්න තරම් අර්බුදයකට රට ගිහින් නැහැ. පහුගිය කාලෙ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයත් එක්ක රට අරාජික වුණා. මේ ඒවයෙ ප්‍රතිඵල.

ඔබේ පක්ෂයේ මතය විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළ යුතු බව, තවදුරටත් ඒ මතය වලංගුද?

අපේ අදහස ඕක නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ ස්ථාවරභාවය යන දෙකම එකට තියෙන්න ඕන. මේ මැතිවරණ ක්‍රමය නිසා ඇතිවන දුර්වල ආණ්ඩු ශක්තිමත් කරන්න විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙලා තියෙනවා. රටේ ස්ථාවර බව ආරක්ෂා කරන සාධකය විධායක ජනාධිපති ක්‍රමය. රටේ නිදහස, අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙ පාර්ලිමේන්තුව. මේ තුළනය වැදගත්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව නම් ස්ථාවර පාර්ලිමේන්තුවකට අවශ්‍ය ලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. විධායක ජනාධිපතික්‍රමය තවමත් තියෙනවා. එහෙම තියෙද්දිත් රට අස්ථාවර බවක තියෙන බවයි බොහෝදෙනෙක් කියන්නෙ?

අපේ රටේ දේශපාලන සංස්කෘතියෙ ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයයි, අගමැතිවරයයි එකට වැඩ කරන්නෙ නැහැ. ඒක රහසක් නෙවෙයි. ජනවරම දුන්නෙ එකට වැඩකරන්න. ආණ්ඩුව බිඳදමන කුමන්ත්‍රණ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ නැහැ.

නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න කියල ආණ්ඩු පක්ෂයෙ ඉල්ලීමක් තියෙනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමා අමාත්‍යාංශවලට විෂයයන් වෙන්කරනවා. ඒ විෂයයන්වලට අදාළ පුද්ගලයන් නම් කරන්නේ අගමැතිතුමා ව්‍යවස්ථාවට අනුව. දැන් සරත් ෆොන්සේකා මහත්තයට අමාත්‍යාංශය දෙන්න ඕන.

මීට පෙර අවස්ථා දෙකක් මඟ හැරලා ආණ්ඩුව දැන් සරත් ෆොන්සේකා මහත්තයට නීතිය හා සාමය දෙන්න හැදීම පිටුපස තියෙන්නෙ වෙන කතාවක් නේද?

‍මේ අන්තවාදී ප්‍රහාරයෙන් පස්සෙත් පසුගිය දේශපාලන කුමන්ත්‍රණයෙන් පස්සෙත් නීතිය හා සාමය අමාත්‍යාංශය ආණ්ඩු පක්ෂයට දෙන්න ඕන කියල අපි කිව්වා. ජනාධිපතිවරයා යටතේ ඒක තියාගෙන ඉන්නවා.ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු පක්ෂයට එය දෙන්න ඕන. දෙන්නෙ කාටද කියල තීන්දු කරන්නෙ අගමැතිතුමා.

වෘත්තීය පුහුණු ආයතනයක් හැටියට ගොඩනැඟුණ නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයෙ වැඩකටයුතු ගැන ආණ්ඩුවේ අවධානයක් යොමුනොවීම සම්බන්ධව ඔබ මොකද කියන්නෙ?

හිරා පදනම මඟින් මේ ආයතය පටන්ගත්තා. පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතනයක් හැටියට මේ පදනම අයිති හිස්බුල්ලා මහත්තයට. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉන්න කාලෙ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය එක්ක අවුරුදු 3ක ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම 2017 දී අවසන් වුණා. බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියල ආයතනයක් BOI එක හරහා පටන් ගන්න උත්සාහ අරගෙන තියෙනවා. මේ ආයතනයෙ වැඩ එකිනෙකට පටහැනි නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දුන්නෙ නැහැ. හිස්බුල්ල මහත්තයගෙ හිරා පදනම රජයෙ ඇහැට වැලි ගහල වැඩකරල තියෙනවා.

ආණ්ඩුවෙ ඇහැට වැලි ගහපු අය ගැන තවමත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ නේද?

හිස්බුල්ල මහත්තයව ආණ්ඩුකාර හැටියට පත්කර‍න්නෙ ජනාධිපතිතුමා. ඒ ගැන ජනාධිපතිතුමා සොයාබලයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම සැලකිල්ලෙන් මේ ආයතනය ගැන සොයා බලනවා. උසස් අධ්‍යාපන ආංශික කාරක සභාව හරහාත් මේ ගැන සොයා බලනවා. මේ ස්ථානයෙ අන්තවාදය පැතිරවීමේ චේතනාන්විතව වැඩ කරල තියෙනව නම් ඒ අයට වැඩ වරදීවි.

ඡායා-විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න