දූපතේ අයිඑස් ලැව් ගින්න | දිනමිණ

දූපතේ අයිඑස් ලැව් ගින්න

අයිඑස් ත්‍රස්තවාදය පිළිබඳ සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙහි මුහුණුවර දෙකක් බවයි. දෘෂ්ටිවාදී ත්‍රස්තවාදය හා අවිගත් ත්‍රස්තවාදය ලෙසිනි. මෙයින් භයානකම මුහුණුවර නම් දෘෂ්ටිවාදී ත්‍රස්තවාදයයි. ලොව ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙනුයේ අවිගත් ත්‍රස්තවාදය අවි ආයුධ හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ යුද්ධයකින් හෝ මර්දනය කිරීම ඉතා පහසු නමුත් දෘෂ්ටිවාදය මර්දනය ඉතා අසීරු බවය. අන්තවාදීන් පළමුව කරනුයේ ඉතා සූක්ෂ්ම ලෙස සිය දෘෂ්ටිවාදය සමාජය තුළ පැතිරවීම හා රෝපණය කිරීමයි.

ඉස්ලාම් අන්තවාදයේ නූතන ප්‍රතිරූපය වන අයිඑස් ත්‍රස්තවාදය කිසිසේත්ම ශුද්ධ වූ කුරානය අදහන්නා වූ ඉස්ලාම් භක්තිකයින්ගේ විශ්වාසයන් අනුගමනය නොකරන බව පළමුව කිව යුතුය. ඔවුන්ගේ පළමු ගොදුරු වූයේ ද ඇෆ්ගනිස්ථානයේ සිට මැද පෙරදිග දක්වා වූ දහස් ගණනක් අහිංසක මුස්ලිම් ජනතාවයි. එමෙන්ම ධනවාදයේ හා උතුරු - දකුණු ගෝලීය බෙදීමේ භයානක අතුරු ඵලයක් ලෙස ද මෙම මුස්ලිම් අන්තවාදය හඳුන්වාදිය හැකිය. තලෙයිබානු ත්‍රස්තවාදීන්ගේ නිජබිම වූ ඇෆ්ගනිස්ථානයෙන් උපදින අයිඑස් ත්‍රස්තවාදයේ දෘෂ්ටිවාදී මූල බීජය පසුව අවිගත් ත්‍රස්තවාදය දක්වා පෝෂණය වනුයේ ඉරාකයේ හා සිරියාවේ වැලි මතය. ඒ අල්-කයිඩා සංවිධානයේ සෙවණ යටතේ ය. ක්‍රිස්තියානි ආගමට හා අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් මොවුන්ගේ පරම සතුරන් ය.

මෙම අන්තවාදී දෘෂ්ටියට අනුව ඔවුන් විසින් සැකසූ ප්‍රචණ්ඩ ඉස්ලාම් දහම හා නීතිය අනුගමනය නොකරන සියල්ලන්ම මිථ්‍යාදෘෂ්ටිකයින්ය. ඔවුන්ට වෛර කිරීම හා ඔවුන් විනාශ කිරීම දෙවියන් ළඟට යා හැකි මාර්ගය යැයි ඔවුහු විශ්වාස කරති. මේ නිසා අනෙකුත් සියලු ආගම් හා විශ්වාස ලෝකයෙන් තුරන්කර ඔවුන් විශ්වාස කරන්නා වූ ඉස්ලාම් රාජ්‍යය ලොව පුරා ස්ථාපනය කිරීම මෙම අන්තවාදීන්ගේ එකම පරමාර්ථයයි.

උඩිනුත් නෙමෙයි බිමිනුත් නෙමෙයි

පශ්චාත් මාක්ස්වාදීන්ට හා ඌණ සංවර්ධනය පිළිබඳ න්‍යයාචාර්යවරුන්ට අනුව සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් සංවර්ධිත බටහිර ලෝකයේ නිල නොලත් යටත්විජිතයන් ය. සංවර්ධිත රටවල් මත යැපෙමින් දිවි ගැටගහන්නා අප වැනි රටවල් දේශපාලන, ආර්ථික හා සාමාජීය යන සෑම ආකාරයකින්ම බටහිරකරණයේ අවජාතක දරුවන් හා සමානය. එයට ශ්‍රී ලංකාව කදිම උදාහරණයකි. ඒ කෙසේද යත්, බටහිරකරණය තුළින් පමණක් සංවර්ධනය සෙවීම, ව්‍යවස්ථාවක් නොමැති ව්‍යවස්ථාදායකය, වියපත් වූ නීතිය, අන්දමන්ද වූ විධායකය, පාර්ලිමේන්තුවට බෝම්බ හෙළනතුරු බලා සිටින ජනතාව, පරමාධිපත්‍ය නොදත් පුරවැසියන් සහ ජාතික ප්‍රතිපත්තියක් නොමැති ජාතියක් සිටීම යන සුවිශේෂී ලක්ෂණයන්ගෙන් සමන්විත වීම නිසාය.

ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා පිලිපීනය ආදී කොට ඇති ආසියානු කලාපය පුරා මෙම අන්තවාදී ත්‍රස්තවාදයේ ලැව්ගින්න පසුගිය වසර කිහිපය පුරා පැතිරෙමින් පැවතිණ. අපි වසර දහයක් මානව හිමිකම් ඉටිපන්දම් දල්වමින් දශක තුනක අවිගත් ත්‍රස්තවාදය අවියෙන් පරාජය කළ ආඩම්බරය සැමරුවෙමු. ඉන්දියන් සාගරයෙන් වට වූ නිසා පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙහා ලැව් ගිනි පැමිණේ යැයි කිසිවෙක් නොසිතූහ. අවසානයේ ගින්නෙන් දැවී අළු වී ගිය පසු ඉන්දියන් සාගරයත් ශ්‍රී ලංකාවත් ඇත්තේ ලෝක ගෝලය තුළ බව කාටත් සිහිපත් විය.

සිරියාව හා ඉරාකය තුළ අයිඑස් ත්‍රස්තයින්ට එරෙහිව දරුණු සටන් පවතී. එහෙත් මැදපෙරදිග, අප්‍රිකාව හා ආසියාව තුළ ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස ඇවිද ගියේ ය. එයට ගොඩබිම හෝ සාගරය හෝ ගුවන බාධාවක් නොවීය. මෑත භාගයේ යුරෝපයේ අයිඑස් ප්‍රහාර එල්ල වන විට ඕස්ට්‍රේලියාවේ තරුණයින් අයිඑස් හා එක්වීමට සිරියාවට පැමිණියේ ය. ලොව පුරා අයිඑස් විකෘතිකයින් දෙවියන් හමුවීමට සිය අවස්ථා එළඹෙනතුරු බලා සිටී. මෙලෙස අයිඑස් වේගයෙන් පැතිරී ගියේ කෙසේ ද? ඔවුන්ගේ උමං මාර්ග‍ය වූයේ දේශසීමා නොමැති සයිබර් අවකාශයයි. ලොව පුරා අයිඑස් දෘෂ්ටිවාදය පැතිරී යන්නේ මේ උමං මාර්ගය තුළිනි.

අයිඑස් ත්‍රස්තවාදය පිළිබඳ සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙහි මුහුණුවර දෙකක් බවයි. දෘෂ්ටිවාදී ත්‍රස්තවාදය හා අවිගත් ත්‍රස්තවාදය ලෙසිනි. මෙයින් භයානකම මුහුණුවර නම් දෘෂ්ටිවාදී ත්‍රස්තවාදයයි. ලොව ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙනුයේ අවිගත් ත්‍රස්තවාදය අවි ආයුධ හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ යුද්ධයකින් හෝ මර්දනය කිරීම ඉතා පහසු නමුත් දෘෂ්ටිවාදය මර්දනය ඉතා අසීරු බවය. අන්තවාදීන් පළමුව කරනුයේ ඉතා සූක්ෂ්ම ලෙස සිය දෘෂ්ටිවාදය සමාජය තුළ පැතිරවීම හා රෝපණය කිරීමයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුළ මුස්ලිම් විරෝධී ව්‍යාපාරය තදින් ක්‍රියාත්මක විය. මුස්ලිම් ජනතාවගේ රූපයෙන් පෙනී සිටිමින් අන්තවාදීන් ගෙන ගිය ප්‍රචාර මෙයට හේතු විය. ඒ තුළ දුටුවේ අයිඑස් නොව මුස්ලිම් ජනතාවයි. මෙය අයිඑස් අන්තවාදීන්ගේ සූක්ෂ්ම සැලැස්මේ කොටසකි. එමෙන්ම මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කිහිප විටක්ම ජනවාර්ගික ගැටුම් ඇති විය. ඒවා පිටුපස ද අයිඑස් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වූ බව දැන් පෙනී යයි. මාවනැල්ලේ බුදු පිළිම විනාශය එයට නිදසුනකි.

වසර ගණනාවක් තවුහිද් නම් රැඩිකල් නැතිනම් අන්තවාදී සංවිධාන රට තුළ ව්‍යාප්ත කරමින් අයිඑස් දෘෂ්ටිවාදය රෝපණය කළේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ දේශීය සංස්කෘතිය විකෘති කරමින් අරාබිකරණය කිරීම ද අන්තවාදීන්ගේ උපක්‍රමයකි. අල්-කුරානයේ පාඨයන්හි අර්ථ විකෘති කරමින් ඊට ප්‍රචණ්ඩත්වය හා වෛරය එක් කළේය. එසේම ඒවා මුස්ලිම් පාසල් හා දහම් පාසල්වල පොත්පත් තුළට ද සූක්ෂ්ම ලෙස ඇතුළත් කළ බවට ද සාක්ෂි හෙළි වී හමාරය. ස්වර්ගයට යන කෙටි මඟ පෙන්වමින් මුස්ලිම් තරුණයින්ගේ ආවේග අවභාවිත කරන ලදී. ඒ අතර ‍අනෙකුත් ජනවර්ග තුළ ද මුස්ලිම් ප්‍රජාවට එරෙහි අවිශ්වාසය හා වෛරය ඇතිකිරීමට අවශ්‍ය සාක්ෂි සාධක සැපයීය. එමඟින් මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදීන් බිහිකිරීම පහසු ය.

අයිඑස් නැකත් බැලීම

සිංගප්පූරුවේ 2009 වසරේ පැවති සම්මන්ත්‍රණයකදී ඉරාකයේ ත්‍රස්තවාදී අත්දැකීම් පිළිබඳ කතා කළ අමෙරිකාවේ මේජර් ජෙනරාල්වරයෙක්, පුද්ගලයින් අන්තවාදයට යොමුවීමට පෙලඹෙන කාරණා කිහිපයක් ඉදිරිපත් ‍කළේ ය. ඒවා නම් ආර්ථිකය, ජාතිවාදය, ආගමික අනවබෝධය හා පටලැවිල්ල, පුද්ගල හා පවුලේ ගෞරවය සහ විශේෂ‍ෙයන් තරුණයින් නම් පිරිමියකු වීම යන කාරණාවන්ය. තවත් අයුරකින් කිවහොත් පිරිමියෙකු වීමට නම් අන්තවාදී දෘෂ්ටිය වැලඳගත යුතුය. පසුගිය දිනක බස්රථයේ ගමන් කරන විට මේ හා සමාන කරුණක් මාගේ නෙත ගැටුණි. කාන්තා ඇඳුම් වෙළෙඳසලක දැන්වීම් පුවරුවේ මුහුණ ආවරණය වන පරිදි හිඳින බුර්කාවකින් සැරසුණු කාන්තාවකගේ රූපයක් විය. එහි කාන්තා රූපය සමඟ සඳහන් කර තිබුණේ for real women (සැබෑ කාන්තාවන් සඳහා) ලෙසය. මෙයින් පෙනී යන්නේ ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ සියුම් තැන් සූක්ෂ්ම ලෙස ස්පර්ශ කරමින් පුද්ගලයින්ගේ මතවාද වෙනස් කිරීමට ගත් උත්සාහය නොවේද?

මෙම කළු ලෝගුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතියට අදාළ නොවන බව මුස්ලිම් නායකයින්ම පෙන්වා දෙයි. එසේම වසර ගණනාවක් මුහුණ වසාගෙන සිටි නිසා එයින් මිදීමට අපහසු බව මුස්ලිම් කාන්තාවන් ප්‍රකාශ කරන බව තවත් මුස්ලිම් නායකයින් පිරිසක් පවසයි. වසර ගණනක් හිමින් සීරුවේ මෙරට මුස්ලිම් සංස්කෘතිය හා දර්ශනය අන්තවාදීන් විසින් ගිලගත් ආකාරය මෙයින් පැහැදිලි වේ. කෙසේ වුවද පසුගිය වසර කිහිපය පුරා අපි අයිඑස් ත්‍රස්තයින්ගේ නාඩගමේ නළුවන් වීමු. නාඩගමට එරෙහි වූවන්ට අපිම දඬුවම් කළෙමු.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකතට කටයුතු කරනුයේ එහි ආශිර්වාදය වසර පුරා ලැබේවා යැයි අපේක්ෂාවෙනි. අයිඑස් ත්‍රස්තයින් පාස්කු ඉරු දින නැකතට වැඩ ඇල්ලුවේද එවැනි අනාගත අපේක්ෂාවන් සහිතවය. අයිඑස් නැකතේ ග්‍රහචාරය ජාතික ආරක්ෂාව දුර්වල වීම, අස්ථාවර දේශපාලනය හා රූකඩ නායකයින්, ජනවාර්ගික අසමගිය, අයාලේ ගිය සමාජ මාධ්‍ය, මානව හිමිකම් භීෂණය, ආර්ථික අවපාතය හා සමාජ ඒකාබද්ධතාව බිඳ වැටීම ය. මෙවැනි ග්‍රහචාරයක් සහිත රටක් ඉලක්ක කිරීමට අයිඑස් ජ්‍යොතිෂවේදීන් හොඳම නැකත සකස් කළේය. එමෙන්ම අනාගත ජනාධිපතිගේ හඳහන සකස් කරන අපේ ජ්‍යෙතිශාස්ත්‍රඥයින්ට ශ්‍රී ලංකාවේ හඳහන බැලීමට අමතක විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය අයිඑස් ත්‍රස්තයින්ට ඉහළ ජයග්‍රහණයකි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වූයේ සමූල ඝාතනයක් සිදුකිරීම පමණක් නොවේ, අයිඑස් නායකයාට අනුව ඔවුන් මෙයින් සිරියාවේ හා ඉරාකයේ සිය පරාජයන්ට පළිගත්තේය. එසේම සිය බලය ලෝකයට පෙන්වීය. දකුණු ආසියාවට අනතුරු ඇඟවීය. දැන් අපේ රට පිළිබඳ අයිඑස් අපේක්ෂාව කුමක්ද?

බහු වාර්ගික හා මුල්බැසගත් ආගමික දර්ශනයන් සහිත ශ්‍රී ලංකාවේ කිසිඳු ජනවර්ගයක් අයිඑස් මතවාදයට හරවාගැනීම පහසු නොවේ. එසේ නම් කළ යුත්තේ සියල්ල විනාශ කර දැමීමයි. මෙම ප්‍රහාරය සමඟ කුඩා දරුවාගේ සිට සියල්ලන්ම අයිඑස් සංවිධානය හා මතවාදය පිළිබඳ පරීක්ෂාකාරී වෙති. එසේම කාලයක් පුරා වර්ධනය වූ ජනවාර්ගික අවිශ්වාසය මේ නිසා ශීඝ්‍රයෙන් මෝරා යයි. එසේම කුඩා කුඩා අන්තවාදී කල්ලි මෙයින් ප්‍රාණවත් වෙයි.

රටේ දේශපාලකයින් හා ආගමික නායකයින්ගේ ඒකාබද්ධ උපක්‍රමශීලීත්වය ඉතා දුර්වල බැවින් ජනතාව අතර සංහිඳියාව ඇතිකළ නොහැකි වෙයි. කොන්වීමට හා පිළිකුලට භාජනය වන මුස්ලිම් ප්‍රජාවේ විප්ලවවාදී තරුණයින් අන්තවාදයට නැඹුරු වෙයි. අවසානයේ අයිඑස් ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත්ව ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් වෙයි.

න්‍යායානුකූලව බලතොත් පෙලඹවීමක් සහිත අපරාධකරුවා ලෙස අයිඑස් ත්‍රස්තවාදය බලා සිටී. පවතින ‍කාලය හා අවකාශය තුළින් මුස්ලිම් තරුණයින් ගැළපෙන ඉලක්ක බවට පත්වෙයි. එයට ගොඩනැ‍ඟෙමින් පවතින සමාජ අනෝමීයත්වය නැතිනම් ධර්මතා විරහිතභාවය රුකුලක් වෙයි. පුළුල් හා දීර්ඝ කාලීන ක්‍රියාකාරී ත්‍රස්ත මර්දන සැලැස්මක් නොමැති වන විට ඉලක්කය වටා වූ ආරක්ෂාව නැතිවී යයි. විශේෂයෙන්ම මුස්ලිම් තරුණ ප්‍රජාවේ කොටසක් අයිඑස් ඉලක්ක වන අතර ඔවුන්ගේ ජීවිත බෝම්බ හඬින් කෙළවර වෙයි. මෙය අනාගත වාක්‍යයක් නොව සාධක විශ්ලේෂණයෙන් පෙනී යන යථාර්ථයේ එක් පැතිකඩකි.

අවුරුද්දකින් අයිඑස් පරාජය කිරීම

අන්තවාදී ත්‍රස්තවාදය පිළිබඳ ලොව පුරා අධ්‍යයනය කරන ශාස්ත්‍රඥයින් සහ ක්‍රියාකාරීන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පවසන කරුණ නම් අවිගත් ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් කිසිසේත් මෙය ජයගත නොහැකි බවයි. අන්තවාදී දෘෂ්ටිවාදය අනිවාර්යයෙන්ම මර්දනය කළ යුතුය. එමනිසා දින ගණනින්, මාස ගණනින්, අවුරුද්දෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීමට දකින දවල් හීනයෙන් අවදිවිය යුතුය. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමෙන්, අවි අයුධ හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් අවිගත් ත්‍රස්තවාදය පාලනය කළ හැකිය. ඒ සඳහා අපගේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය අගය කළ යුතුය. එහෙත් මෙය ප්‍රමාණවත් නොවේ.

මුලදී සඳහන් කළ පරිදි මෙම ත්‍රස්තවාදීන් සිය අන්තවාදී දෘෂ්ටිය සමාජය තුළ පතුරුවාලන්නේ ඉතා සූක්ෂ්ම අයුරිනි. එහි ප්‍රධාන ඉලක්කය වන්නේ තරුණයින්ය. දෘෂ්ටිවාදයක් තවත් දෘෂ්ටිවාදයකින් හෝ තුවක්කුවකින් පරාජය කළ නොහැක. ඒ සඳහා උපක්‍රමශීලී සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. මෙම සැලැස්ම සකස් කළ යුත්තේ කවුද?

අනෙක් රටවල අත්දැකීම් හා විද්වත් මත අනුව ආණ්ඩුව නැතිනම් දේශපාලන බල අධිකාරය, ශාස්ත්‍රඥයින්/ විද්වතුන් හා ප්‍රජාව යන පාර්ශ්ව තුන එකට එක්ව දෘෂ්ටිවාදී මර්දනය සඳහා පිඹුරුපත් සැකසිය යුතුය. එසේම එය ක්‍රියාකාරී සැලැස්මක් විය යුතු අතර ආගමික නායකයින්, අධ්‍යාපන බලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරකයින්, ජනමාධ්‍යවේදීන් සහ තරුණ නායකයින්ට මෙහි විශේෂ භූමිකාවක් පවරාදිය යුතුය. අප සටන් කරන්නේ ආගමික දෘෂ්ටිවාදයකට එරෙහිව වන බැවින් සියලුම ආගමික නායකයින්ට මෙහිදී විශේෂ වගකීමක් පැවරේ. ශාස්ත්‍රීය දැනුමක් සහිත රැඩිකල් මතවාදයන්ගෙන් බැහැර වූ ආගමික නායකයින් පිරිසක් වහා මේ සඳහා සංවිධානය විය යුතුය. විශේෂයෙන් ඉස්ලාම් ආගමික නායකයින් සිය ජනතාව හා තරුණ ප්‍රජාව අල්-කුරානයේ සත්‍ය අර්ථ පිළිබඳ දැනුවත් කළ යුතුය.

සයිබර් අවකාශය නියාමනය සඳහා නිසි ක්‍රමවේදයක් ද වහා සකස්විය යුතුය. තාක්ෂණික වශයෙන් ආරක්ෂණයන් ශක්තිමත් කරනවා සේම අන්තවාදී දෘෂ්ටීන් පරාජය කිරීම සඳහා සහ නිවැරදි ආගමික දර්ශනයන් ප්‍රචාරය සඳහා සමාජ මාධ්‍ය භාවිත කළ හැකිය. අයිඑස් දෘෂ්ටිවාදී ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යා හැකි බුද්ධිමය ප්‍රතිප්‍රහාරය මෙයයි. තවද ත්‍රස්තවාදය පිළිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණ සිදු කිරීමට, උපක්‍රම හා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ ආයතනයක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා වූ ආකෘතීන් ද පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා ලෝකයෙන් සොයාගත හැකිය.

ප්‍රාර්ථනා මධුවන්ති ද මෙල්
ශ්‍රී ලංකා ආසියානු අපරාධ
නිවාරණ පදනම


නව අදහස දක්වන්න