බුදුන් අනුදත් ගැටුම් නිවාරණය | දිනමිණ

බුදුන් අනුදත් ගැටුම් නිවාරණය

චතුමී පිටිපන
රොෂාන් පිටිපන

බුදුදහම යනු මානව කේන්ද්‍රීය ධර්මයකි. මානව කේන්ද්‍රීය ධර්මයක් යනු මනුෂ්‍යත්වය අගය කරන දහමකි. බුදුන්වහන්සේගේ දර්ශනය තුළ මනුෂ්‍යත්වය අගය කිරීමේ පණිවුඩය ගැබ්ව තිබේ. මනුෂ්‍යත්වය අගයකරන දහම තුළ මනුෂ්‍යයාට එරෙහිවන කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය. මනුෂ්‍යයා අගය කිරීම යනුවෙන් අදහස් කරනුයේ මනුෂ්‍යයාගේ පැවැත්ම තහවුරු කිරීම, මනුෂ්‍යයාගේ දියුණුව ප්‍රාර්ථනා කිරීමයි. එබඳු දහමක් තුළ මානවයා අතර විසංවාදයක් ඇතිකරන, ඝට්ටනයක් ඇතිකරන, නපුරක් නිර්මාණය කරන ඉගැන්වීමක් තිබිය නොහැකිය.

සෛද්ධාන්තිකව කරුණු සාකච්ඡා කළවිට බුදුන් වහන්සේගේ සමස්ත දේශනා තුළ පුද්ගලයාගේ චිත්ත විසුද්ධිය (සිතේ ඇතිවන පිරිසුදුකම) තබාගන්නේ කෙසේද? එය දියුණු කළ යුත්තේ කෙසේද, නිර්මාණය නමැති අරමුණ කෙරෙහි රඳවා තබන්නේ කෙසේද යන කාරණා ප්‍රකට කෙරේ. මේ නිසා බුදුන්වහන්සේගේ දේශනා තුළ තවත් දර්ශනයකට, තවත් ආගමකට හානියක් සිදුවන කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුයේ ද අතීතය, වර්තමානය, අනාගතයේදී ලෝකයේ පහළවන බුදුවරුද ප්‍රකාශ කරනු ලබන්නේ ද මේ ලෝකයේ පවතින සත්‍යය පිළිබඳවය. එම සත්‍යය ප්‍රකාශ කරන විට දාර්ශනික වශයෙන් යම් යම් විසංවාද පැවතිය හැකිය. නමුත් ඒවා විවාදය පිණිස හෝ කළහය පිණිස යොදාගත යුතුයැයි බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක දේශනා කොට නැත. සූත්‍ර පිටකයේ සඳහන් වන පරිදි ඇතැම් අන්‍ය මතධාරීන් බුදුන් වහන්සේ සමඟ වාද ඇතිකර ගැනීමට අවසර ඉල්ලා තිබේ. නිදසුනක් ලෙස, උපාලි ගෘහපතියා මෙලෙස තමන්ගේ මතය තහවුරු කරගැනීම සඳහා බුදුන්වහන්සේගෙන් විවාදයකට අවසර ඉල්ලා සිටියද ඔහුට නිගන්ඨනාථපුත්තගෙන් ඒ සඳහා අවසර නොලැබිණි.

නමුත් ඔහුගේ තනි මතයට අනුව ඔහු බුදුන්වහන්සේ සමඟ වාදයකට එළඹිණි. බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාගේ චින්තාවලිය තුළ තිබෙන දෝෂ එකින්එක ගෙන ඔහුට සත්‍යය වටහා දුන්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු බුදුන්වහන්සේගේ දර්ශනය අනුගමනය කිරීමට අවසර ඉල්ලූවිට බුදුන්වහන්සේ දේශනා කර සිටියේ, “ඔබ නිගන්ඨනාථපුත්තගේ ප්‍රබල ශ්‍රාවකයෙක්. එබඳු කෙනෙක් මේ විදියට තමන්ගේ ලබ්ධිය වෙනස් කිරීම අගෝචරයි” යනුවෙනි. එතැනදී බුදුන්වහන්සේ පෙන්වීමට උත්සාහ දරනු ලැබූයේ සත්‍යය වටහා ගැනීමත්, නමුත් සංස්කෘතිමය ලෙස සම්බන්ධ වන ආගමික පරිසරයට එරෙහිව යෑමත් ගැටුමක් ඇති කර ගැනීමට හේතුකාරක වීමට හැකි බැවින් එය වළක්වා ගැනීම සුදුසු බවය.

තවත් අවස්ථාවකදී නිගන්ඨනාථපුත්තගේම ශ්‍රාවකයකු වන හමුදාපතිවරයකු (සේනාධිනායකයකු) ද බුදුන් වහන්සේ හමුවී සාකච්ඡාවක් සඳහා අවසර ඉල්ලා සිටියද, නිගන්ඨනාථපුත්තගේ අවසරය ඔහුටද ලැබී නොතිබිණි. ඔහුගේ තනි මතයට අනුව හමුදාපතිවරයා බුදුන්වහන්සේ සමඟ සාකච්ඡාකොට බුදුන්වහන්සේ සරණ ගොස් ඇතිබව සඳහන්වේ. නමුත් බුදුන්වහන්සේ ඔහුටද එම අවස්ථාවේ දේශනා කොට ඇත්තේ, “ඔබ වැන්නකුට මෙවන් තීරණයකට පැමිණීම සුදුසු නැති බවයි” හේතුව ලෙස උන්වහන්සේ දේශනා කළේ ඔහු නිගන්ඨනාථපුත්තගේ ප්‍රබල ශ්‍රාවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවක එකවිට එම දහම අතහැර බුදුන්වහන්සේගේ අනුගාමිකයකු වීමේදී ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇති බැවිනි. නමුත් ඔහු තුන්වැනි වතාවටත් ඊට අවසර පැතූවිට උන්වහන්සේ එයට අවසර ලබාදී තිබෙන බව සූත්‍ර පිඨකයේ සඳහන් වේ.

එමෙන්ම, ගෝ වෘතය (ගවයකු ලෙස ජීවත්වීම), කුක්කුර වෘතය (සුනඛයකු ලෙස ජීවත්වීම) සමාදන් වුණ දෙදෙනකු පිළිබඳව කුක්කුරවතික සූත්‍රයේ සඳහන් වේ. පුණ්ණ සහ සේන යන මේ දෙදෙනාද බුදුන් සමීපයට පැමිණ තමන් සමාදන් වන මෙම වෘත දෙක පිළිපැදීමෙන් මරණින් පසු කුමක් සිදුවේදැයි ප්‍රශ්න කොට තිබේ. නමුත් බුදුන් වහන්සේ එයට පිළිතුරුදීම තුන්වරකදීම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ඉන් ඇතිවන ඝට්ටනය වැළැක්වීම සඳහාය. තමන් දකින දර්ශනය, තමන් දකින ප්‍රතිපදාව නිදහස්ව කරගෙන යාමට ඕනෑම අයකුට හැකියාවක් තිබිය යුතුය. එය බුදුන්වහන්සේගේ දර්ශනය තුළ මනාව පැහැදිලි වේ.

ආගම යනු පෞද්ගලික දෙයකි. තමන්ගේ ජීවිතයේ පෞද්ගලික දේ ඕනෑතරම් තිබිය හැකිය. නමුත් ඒවා විවේචනය කිරීම, ගැරහීමට ලක්කිරීම නොකළ යුත්තකි. මන්ද එය පුද්ගලයාගේ පෞද්ගලික අත්දැකීමක් වන හෙයිනි.

කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට අතපෙවීම ශීලාචාරකමක් ලෙස ලෝකයා නොපිළිගනී. බෞද්ධාගමද එවැනි දෙයකි. තමන්ගේ ඉලක්කය පිළිබඳව අදහසක් දැරීම තමන්ට අයිති වගකීමකි. කෙනකුට උරුම නිදහසක් තිබේ. ඒවා විවේචනය කිරීම එය කඩාකප්පල් කිරීම සුදුසු දෙයක් ලෙස බෞද්ධාගම නොපිළිගනියි.

“එක් අවස්ථාවක බුදුන්වහන්සේගේ කුලයට අයත් එනම් ශාක්‍යවංශිකයන් පිරිසක් සවස්වරුවක

සන්ථාගාරයට (නගරශාලාවට) එකතු වී ආහාරපාන ගනිමින් විනෝද වෙමින් සිටියහ. එම අවස්ථාවට වැඩිහිටි බමුණකු පැමිණ තිබේ. නමුත් එම ශාක්‍යවංශික පිරිස එම බමුණා නොපිළිගැනීම නිසා ඔහු බෙහෙවින් උරණ වී මේ පිළිබඳව බුදුන් වහන්සේට චෝදනා කළේ ශාක්‍යවංශිකයන් යනු උද්ධච්ච මිනිසුන් පිරිසක් බව කියමිනි. එම අවස්ථාවේ බුදුන්වහන්සේ දේශනා කළේ වටු කුරුල්ලන්ට තමන්ගේ කැදැල්ලේ නිදහසේ සිටීමට ඉඩ දිය යුතු බවයි.” මින් බුදුන්වහන්සේ අදහස් කළේ පුද්ගලයාගේ පෞද්ගලික නිදහස විඳීමට ඉඩකඩ දිය යුතු බවයි. වටු කුරුල්ලාට තමන්ගේ කැදැල්ලේ නිදහසේ සිටිය නොහැකි නම් ඌගෙ අයිතීන්වලට පහරක් වදියි. එමනිසා ඒ නිදහස තිබිය යුතුය. ආගමද පෞද්ගලික දෙයක් බැවින් එය නොයෙක් ආකාරයෙන් ඇදහීමට ඕනෑම පුද්ගලයකුට නිදහස තිබිය යුතුය. තමන්ට එය නොගැළපේ නම් නිහඬව එය අත්හැරීම මිස එම ලබ්ධියට ඇතුළත් වුණු පුද්ගලයා විවේචනය කිරීම, එම ආගම විවේචනය කිරීම නොකළයුතු බව බුදුන්වහන්සේගේ දේශනා මගින් පැහැදිලි පණිවිඩයක් ලබාදේ.

අපගේ සිත් කිළිටි කරන ප්‍රධාන චෛතසික ධර්ම 3ක් තිබේ. එනම් ආශාව, තරහව (කෝපය) , සහ වැරදි දැකීමයි. මෙම කරුණු තුන නිදිගත් ස්වභාවයෙන් මනසේ තැන්පත් වී තිබේ. ඒවා උද්දීපනය කිරීමට කටයුතු සලස්වා ගැනීම අපගේ පිරිහීමේ දොරටුවය. එම නිසා බුදු දහම තුළ සෘජු ලෙසම පැහැදිලි කර ඇත්තේ මෙම චෛතසික ධර්ම තුන තුනීකර ගැනීමට යටපත් කරගැනීමට එය සම්පූර්ණයෙන් අයින්කර ගැනීමට කටයුතු සලස්වා ගන්නාලෙසය. මෙම රාමුව තුළ තමන්ට කටයුතු කිරීමට හැකියාව ලැබේ නම් සංහිඳියාව යන දෙය අනිවාර්යයෙන්ම නිර්මාණය වේ.

මනා අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයකුට අවට පරිසරයේ තිබෙන්නා වූ වැරදි දර්ශනවාද, ප්‍රකාශන, චින්තන කිසිවක් අදාළ නොවේ. මේ නිසා බුදුන්වහන්සේ සෑම විටම අපට දේශනා කිරීමට උත්සාහ කළේ මෙම චෛතසික ධර්ම තුන ඉස්මතු වීමට ඉඩ නොදී කටයුතු කරන ලෙසය. එසේ කිරීම කරනකොට ගෙන උපශාන්ත ලෙස සන්සුන්ව ජීවත්වීමට හැකියාව ලැබේ. සන්සුන් මනසක් ඇති පුද්ගලයකුගෙන් කිසි දිනෙක කිසිවකුට කරදරයක් නොවේ. තව කෙනකුගේ නිදහසට බාධාවක් ඇති නොවේ. තව කෙනකුගේ හැසිරීමකට කරදරයක් ඇති නොවේ.

මේ නිසා බුදුන්වහන්සේ සතියෙන් යුතුව ජීවත්වෙන ලෙස දේශනා කළහ. මෙයින් අදහස් කරනුයේ වර්තමානය තුළ සිත තබාගැනීමයි. මෙය ඉතා වැදගත් ඉගැන්වීමකි. සතිපට්ඨානය ලෙස උගන්වන්නේ මෙම දහමයි. වර්තමානයේ සිදුවෙන තමන්ගේ හැසිරීම, තමන්ගේ සිතිවිලි, තමන්ගේ ප්‍රකාශන පිළිබඳව අවදියෙන් සිටීමයි. අවදියෙන් සිටින පුද්ගලයකුට තමන්ගේ සිතේ ඇතිවන ආශාව , ද්වේශය, ක්‍රෝධය ආදී සිතිවිලි, වැරදි දර්ශන සියල්ලම මර්දනය කළ හැකිය. වැරදි සිතිවිලි එනවිටම මෙය වැරදි බව දැනේ. මෙම මානසික ක්‍රියාවලිය නිවැරදිව භාවිත කළවිට සංහිඳියාව නිර්මාණය කරගැනීමට පුළුවන.

නමුත් තමා දෙස බලනවිට අනෙක් අය කරන්නේ කුමක්ද, අනෙක් අය හිතන්නේ මොනවාද යන කාරණාවන්ට තමන්ට ප්‍රවේශවීමට කැක්කුමක් ඇතිවිය හැකිය. බුදු දහම වඩාත් අවධාරණය කරනු ලබන්නේ තමා දෙස බලන ලෙසය.

“අත්තාහි අත්ථනෝ නාථෝ” - තමන්ගේ පිළිසරණ තමාමය. එමෙන්ම “අත්ථනෝව අවෙක්ඛෙය්‍ය - කතානි අක තානිච” යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ, අනුන්ගේ දේවල් ගැන නොසොයා තමුන්කළ, නොකළ දේ ගැන සොයන්න යනුවෙනි. පුද්ගල කේන්ද්‍රීය වශයෙන් අප අපගේ මතය සන්සුන් කරගන්නා විට සංහිඳියාවට අවශ්‍ය පරිසරය එතුළින්ම නිර්මාණය වේ යනුවෙනි.

ගැටුම් ඇතිවන්නේ අනෙක් අයගේ ක්‍රියාකාරකම්, ප්‍රකාශන, විවේචනය කිරීමට යාමෙනි. ගුණදොස් ප්‍රකාශ කිරීමට යාමෙනි. අනුන් ගැන සොයන්නේ නැතුව තමුන් ගැන සොයන පණිවුඩය බුදුන්වහන්සේගේ මෙම දේශනාව අනුගමනය කිරීමෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.

නව අදහස දක්වන්න