දිවිමඟ සරු කරන බොදු මඟ | දිනමිණ

දිවිමඟ සරු කරන බොදු මඟ

කොළඹ දිසාවේ සංඝනායක, කොළොන්නාව,ශාසනාරක්ෂක බල මණ්ඩලයේ බටහිර කලාපයේ සභාපති,
ගොතටුව පාරමිතා ශ්‍රී මහ බෝධිමලු විහාරාධිපති ලේඛනසූරී,
ශාස්ත්‍රපති පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

බුදුවරයකු ලොව පහළවන්නේ අටුවාවල දක්වන පරිදි සාරාසංඛ්‍ය කල්පයකට පසුවය. සාරසංඛ්‍ය කල්පයක් පෙරුම් පුරා ඉතාම දුෂ්කර ගමනක යෙදී බුද්ධත්වයට පත්වන්නේ දුකෙන් වෙලී පැටලී සිටින සත්ත්වයා එම අති දුෂ්කර දිවියෙන් ගලවා ගැනීමට ය.

දිවියේ විවිධ පැතිකඩවල උපත ලබා එයින් සුවිශාල වශයෙන් අත්දැකීම් ලැබ ඒ අනුසාරයෙන් මහා කරුණාව, මහා ප්‍රඥාව, මෛත්‍රිය සහගත චිත්තය ආදියෙන් සමලංකෘත වූ චරිතයක් වශයෙන් බුදුවරයකු ලොවට පහළ වීම අතිශය ආශ්චර්යයකි.

සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා දුකෙන් මුදා ගන්නට දිවා - රෑ නොතකා, අව්ව - වැස්ස නොබලා, වේලාව - අවේලාව නොතකා සියලු සත්ත්වයා දුකෙන් මුදා ගන්නට කටයුතු කිරීම බුදුවරයකුගේ මූලික අභිප්‍රායයි.

බුදු සමයේ මූලික හරය රැඳී ඇත්තේ චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය මතය. සියලුම සත්ත්වයා දුකෙන් වෙලී පැටලී ඇත. දුක - දුක ඇතිවීම - දුක නැතිකිරීම - දුක නැතිකිරීමේ මාර්ගය වශයෙන් චතුරාර්ය සත්‍යයෙන් පහදා දෙන්නේ සත්‍යයයි. මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව යථාවබෝධයක් පුද්ගලයාට නියත වශයෙන්ම තිබිය යුතුය.

පුද්ගලයා නිවැරදි මාර්ගයකට යා යුතු නම් “මැදුම් පිළිවෙතට” නැඹුරු විය යුතුය. ‍කාමසුඛල්ලිකානුයෝ ග හෙවත් සිරුරට වඩාත් සැප දීම හා අත්තකිලමථානුයෝගය හෙවත් සිරුරට වඩාත් දුක් දීම බැහැර කොට මේ අන්ත දෙකටම නැති මැදුම් පිළිවෙත උපයෝගී කොට ගත යුතුය.

සසරින් එතෙර කිරීමයි බුද්ධ ආඥාව වන්නේ. අනවරාග්‍ර හෙවත් කෙළවරක් නැති භවයෙන් මුදා ගැනීමයි මූලික අභිප්‍රාය. කෙළවරක් නැති භවයේ ‍දිගටම රැඳී සිටිනවාද එසේ නැත්නම් එයින් මිදෙනවාද යන්න ගැනත් සිතා බැලිය යුතුය. කෙළවරක් නැති භවයෙන් මිදෙන්නේ කෙසේද?

භවය දිග්ගැස්සෙන්නේ පුද්ගලයා කෙරෙහි පවත්නා, ආශාව, ඇල්ම, තෘෂ්ණාව හේතුකොටගෙනය. මෙහි අරමුණ පුද්ගලයා යමක ඇලී ගැලී සිටීමයි. මේ නියතයෙන් අනවරණයෙන්ම නිරන්තරයෙන්ම දුරස්ථ විය යුතුය. ආශාව පොදි බැඳගෙන යා යුතු ගමන දුරු කළ යුතුය යන්න බුද්ධ දේශනාවයි.

තෘෂ්ණාව තුනී කිරීමට උපමා කොට ඇත්තේ තමන් පසුපස එන සෙවණැල්ලටය. දිවියට කිසිදු බරක් නොදැන යන ගමනක සරල සැහැල්ලු සංකේතය සෙවණැල්ලයි. එමෙන්ම බර දරාගෙන යන ජීවන ගමන සමකරන්නේ ගැලටය. ගොනා පසුපස යන ගැල වූ කලී අතිශය බරකි. එම බරෙන් නිදහස් වන්නේ කවදාදැයි ගොනා සිතයි. එහෙත් ඒ සිතිවිල්ලේ පරිසමාප්තියක් නොමැත. පුද්ගලයා තේරුම්ගත යුත්තේ ගොනා පසුපස යන ගැල කරට ගත යුතුද එසේ නැත්නම් තමන් පසුපස යන සෙවණැල්ලද තෝරා බේරාගත යුත්තේ ද යන්නයි. මෙයට අතිශයින්ම බලපාන්නේ ප්‍රඥාවයි.

විශේෂයෙන් මනුෂ්‍යාත්මයක් ලබාගන්නේ ඉතාම අමාරුවෙනි. එය හරියට උපමා කරන්නේ කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ වැනි ඉතාම දුෂ්කර කාර්යයක් යන්නයි. මේ තත්ත්වය මිනිසා වටහා ගන්නේද? මේ ආත්මයෙන් දිවිය කෙළවර වන්නේ නැත. අනාත්ම ලක්ෂණවලින් උපයුක්ත දිවිය සම්බන්ධයෙන් පුද්ගලයාට මනා අවබෝධයක් තිබිය යුතුය.

බුදුසමයේ උගන්වන්නේ අනාත්මවාදී ස්වරූපයයි. පුද්ගලයා “නිවනට” යන තෙක් භව කතරේ සැරිසරයි. නිවනට සේන්දු වූ පුද්ගලයාට යළි ඉපදීමක් නොමැත. මේ දුක්ඛාවලියෙන් ගැලවුණු පුද්ගලයා පත්වන්නේ නිවනටය.

පුද්ගලයා හඹා යන්නේ “හොඳ” හා “නරක” පසුපසය. නරක ඉවත්කොට හොඳ පමණක් දිවියට විෂය කරගත යුතුය. මනුෂ්‍යාත්මයක් ලත් පුද්ගලයා ඒ කාල පරාසයේදී යහතින් හොඳින් දිවි ගෙව්වා නම් ඊළඟ භවය ගැන අපට ගැටලුවක්, ප්‍රශ්නයක්, අර්බුදයක් ඇතිවන්නේ නැත. මන්දයත් ඊළඟ භවය පෙර භවයට වඩා ප්‍රසාර්ථ ලක්ෂණවලින් උපයුක්ත බැවිනි.

මෙතැනදී පුද්ගලයා ආත්මාර්ථකාමී හැඟීම්වලින් බැහැරව පරාර්ථකාමී තලයකට ප්‍රවේශ විය යුතුය. තමන් ගැන නොව අන් අය ගැනත් සෙවීම ප්‍රඥාවන්ත පුද්ගලයාගේ කාර්ය භාරයයි. බුද්ධ දේශනාවේ මෙය මුලට එයි. බුදුරදුන්ගේ කාර්යයත් එයය.

ප්‍රඥාවන්ත පුද්ගලයා ද ඒ කාර්යයේ නියැළී සිටිය යුතුය. මෝහයෙන් පිරි පුද්ගලයාව ඒ මඟින් බැහැර කළ යුතුය. පුද්ගලයා අවරට යන්නේ මෝහය මතය. මෝහය හෙවත් මෝඩකමෙන් ගලවාගෙන ප්‍රඥාවන්ත මාවතට නැඹුරු කිරීම පරාර්ථකාමී පුද්ගලයාගේ කාර්ය භාරයයි. බුදුරදුන් පන්සාළිස් වසරක් පුරා සිදු කෙළෙත් මෙයමය.


නව අදහස දක්වන්න