සතර බ්‍රහ්ම විහරණය ජීවිතයට වැදගත් | දිනමිණ

සතර බ්‍රහ්ම විහරණය ජීවිතයට වැදගත්

ජාතික මහා සභාවේ සභාපති, රාජගිරිය සඳහම් සෙවණේ විහාරාධිපති, අතුරලියේ රතන හිමි

අප මහා බෝධි සත්ත්වයාණන් වහන්සේ සියලු ලෝ සතුන් දුකින් මුදා ගැනීම සඳහා මෙලොවට පහළවීම බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ කාරණා මුල් කරගත් වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඇති ප්‍රධානතම සුවිශේෂම උත්සවයයි. අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ඨාචාරයට ආගමික ගුණධර්මවලට ජාතික හා ආගමික කලාවන්ට පණදෙන එකම දිනය වෙසක් පො‍හෝ දිනයයි. බෞද්ධයාගේ ශ්‍රද්ධා භක්තියෙන් කලාකරුවාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිෂ ප්‍රීතිය, සැනසිල්ල අන් කිසිදු දිනක නොලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එකම උත්සවයද වෙසක් උත්සවයයි.

ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙමින් ඉවසීම, අධ්‍යාත්මික සංයමය, කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග පුරුදු පුහුණු කළ යුතුයි. මේ වෙලාවේ බියට කම්පනයට පත්වූ අයට මෙන්ම දුකට පත්වූ අයට පිහිටවිය යුතුයි. බුදු දහමට අනුව ප්‍රබලම කරුණු 04 වන බ්‍රහ්ම විහරණ 04 වන මෙත්තා , කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණාංග අනුව ජීවත් විය යුතුයි. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් මුහුණ නොදී මෛත්‍රියෙන් මුහුණ දිය යුතුයි. ඊට අනුගමනය කළ යුත්තේ බුද්ධියට හා ප්‍රඥාවට ඉඩදී ඉවසීමෙන් ප්‍රශ්න විසඳා ගැනීමයි.

බුදුදහමට අනුව සතර බ්‍රහ්ම විහරණවලින් මේ සියල්ල මැඩලීමට හැකියි. දරුණුම ඛේදවාචකයේදී පවා මෛත්‍රීය තුළින් මිනිසුන්ගේ සිත දමනය කළ හැකිසේම කරුණාව තුළින් මිනිසුන්ගේ හදවත තුළින් හදවතට ළංවීමේ ගුණයෙන් බොහෝ දේ වළක්වා ගත හැකියි. මුදිතා ගුණය යනු අන් අයගේ සතුටේදී අප තුළ ඇතිවන සතුටය. ඒ තුළින් අපහට අනෙකාට සතුට ඇතිකරවීමට හැකිනම් එයින්ම අපටද සතුට ඇතිකර ගත හැකිවේ. උපේක්ෂා ගුණය යනු සියල්ල දෙස වෙනසක් නැතිව බලමින් මනස උසස්ව තබා ගැනීමේ ගුණයයි. මේ නිසා මෙම වෙසක් සමයේ සතර බ්‍රහ්ම විහරණවලට මුල් තැනක් දෙමින් කටයුතු කළ යුතුයි.


නව අදහස දක්වන්න