මෙවර වෙසක් විශේෂ ඇයි? | දිනමිණ

මෙවර වෙසක් විශේෂ ඇයි?

ලංකාවේ ප්‍රථම නවකතාව ලෙස බොහෝ අය නම් කරන්නේ සයිමන් ද සිල්වා මහතාගේ මීනා නවකතාවයි. එහෙත් ඊට පෙර ලියවුණු නවකතා කිහිපයක් ගැන නවකතා ඉතිහාසයේ සඳහන් වේ. ඉන් එකක් නම් ඇල්බට් සිල්වා මහතා ලියූ කාලකණ්ණි විවාහය හා වාසනාවන්ත විවාහයයි. තවත් කෘතියක් නම් "වෙසක් දූතයා" නමින් ලියවුණු ප්‍රබන්ධයයි. මේ වෙසක් දූතයා ප්‍රබන්ධයේ තිබුණේ කුරුල්ලෙකුගේ පාදයේ පණිවුඩයක් ලියා මිනිසුන්ව දැනුවත් කිරීමයි. එම පණිවිඩයේ තිබුණේ "වහාම වෙසක් උත්සවය පවත්වනු!" යන සන්නිවේදනයයි.

මීට පෙර සඳහන් කළ කාලකණ්ණි විවාහයෙත් වාසනාවන්ත විවාහයෙත් තිබුණේ කතෝලික ආගම නොඅදහන්නන් කාලකණ්ණි ජීවිත ගතකරන බවකි. නිතර පල්ලියට යමින් ඊට ආවතේව කරන්නන් වාසනාවන්තයන් බවත් ඉන් කියැවිණි. එම කෘතියට ප්‍රතිඋත්තරයක් ලෙස වෙසක් දූතයා යන ප්‍රබන්ධය රචනා කෙරෙන්නට ඇත. ඉන් ඇඟවෙන ප්‍රධානම කරුණ වන්නේ ක්‍රි. ව. 1900 ට පෙර උත්කර්ෂවත් වෙසක් උත්සව අප පවත්වා නැති බවයි.

සිංහල බෞද්ධයන් ගම මඟහැර නගර කරා අවුත් වෙසක් උත්සව පවත්වන්නට තීරණය කෙරුණේ නාගරික ප්‍රදේශවල කතෝලික ජනයා යේසුස් වහන්සේගේ කුරුසත්, දේව ප්‍රතිමාත් නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට පටන් ගත්තාට පසුය. වෙසක් උත්සවය යනු සිදුහත් කුමරුගේ උපතත්, බුදුවීමත්, පිරිනිවීමත් එකට අනුස්මරණය කරන නිහඬ චාම් උත්සවයකි. මෙරට කතෝලික ආගම නොපැතිරුණා නම් ගමින් කොළඹට හා තදාසන්න නගරවල ආටෝපයෙන් පිරුණු ඔලුබක්කන් ගැවසෙන විකාරි රූපී වෙසක් උළෙලක් පැමිණෙන්නේ නැත.

සිදුහත් උපතටත්, බුදුවීමටත්, පිරිනිවීමටත් ආටෝපයෙන් යුතු උත්සවයක් අවශ්‍ය නොවේ. වෙසක් උත්සවය යනු උණ බටවලින් සකසා ගත් කූඩු හා තොරණවලින් සරසන ලද උත්සවයක් නොවිය යුතුය. එය දාන ශීල භාවනාවට පමණක් සීමා විය යුතුය. මක්නිසාදයත් සිදුහත් කුමරුන්ගේ ඉපදීමට උත්සව පැවැත්වීම සාධාරණ වුවත් බුදුවීම වැනි ආධ්‍යාත්මික තත්ත්වයකට එබඳු අරුමෝසම් නොගැළ‍පීමයි.

බුදු රජුන් පිරිනිවන් පෑවෙත් එදිනම නිසා වෙසක් උත්සවය මළගෙයක තරම් ශෝකජනක විලාශයක් ගත යුතු යැයි මම පෞද්ගලිකව කල්පනා කරමි. පන්සලෙත්, පල්ලියෙත් ආභාසයෙන් එකට එක කරන්නට යෑමේ ප්‍රතිඵලය වූයේ නත්තලත් එලෙසින්ම පිරිහී වෙසක් උත්සවයත් විපරිත තත්ත්වයකට විකෘති වී යාමයි. මුස්ලිම් අන්තවාදය අපට මරණත්, තුවාලත් ඉතිරි කරමින් අපට යළිත් බුදු මඟ කියා දුන්නේය. පුදුමය වන්නේ මුස්ලිම් ත්‍රස්තවාදීහු ආගමික ප්‍රදර්ශන තරගයේ යෙදුණු කතෝලිකයා ගෙවල්වලට සීමා කළෝය. අපව ද නිවසේ සිර කළෝය.

දුටුගැමුණු මහරජු මරණය කරා පියනඟද්දී රුවන්වැලි මහා සෑය ඉදිකොට රජුට පෙන්වන්නට සද්ධාතිස්ස කුමරුට ඕනෑ විය. කුමරු කළේ කුළුපොත්තම් කැඳවා සිව්රැස් කොටුවක් කොත්වහන්සේ උණ පතුරුවලින් සකසා භාණ්ඩාගාරයෙන් සුදු රෙදි රැගෙන චෛත්‍ය වටා ඔතා කුළුපොත්තත්, උණ දඬු වළල්ලත් සිව්රැස් කොටුවත් සුදු රෙද්දෙන් එතීමයි. අද අප ගම්බද දුප්පත් මිනිසා සුදු පැහැති සව්කොළයෙකින් ඔතා සාදාගත්තේ එදා සද්ධාතිස්ස කුඵපොත්තන් ලවා සාදාගත් ප්‍රථම වෙසක් සැරසිල්ලයි.

සැබැවින්ම වෙසක් දවසේ සුදුසුම සුදු පැහැති අහිංසක චාම් වෙසක් කූඩුවක් තනා බුදු රජුන්ගේ මහා පරිනිර්වාණය සිහි කිරීමයි. එමෙන්ම මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් වූ ආදරණීය කිතුනුවන්ගේ පාස්කු ඉරිදාව ඒ සුදු පැහැති අහිංසක චාම් වෙසක් කූඩුවෙන් කියා පෑමයි.

මා සිතනා ලෙස සිංහල රජ දවස පවා වෙසක් උත්සවය මහා තරඟයකින් සැරසුවේ නැත. අන් ආගම් පැරදවීමට උගුලක් ලෙස භාවිතා කළේත් නැත. අපේ ඇතැම් භික්ෂුහු මුස්ලිම්වරුන්ට බිය නොවී දන් දෙන්නැයි සරසන්නැයි කියා බල කළත් වෙසක් උත්සවය යනු මුස්ලිම්වරුන් හා එකට එක කොට පළිගන්නා උත්සවයක් නොවේ.

නාලාගිරි ඇතා හමුවට බුදු රජුන් වැඩම කළේ ඇතාගෙන් මිනිසුන්ට වන හානිය වැළැක්වීමටයි. ඇතා හා සටන් කිරීමට නොවේ. කිතුනුවන් ‍ඔවුන්ගේ සංස්කෘතික ලකුණ වූ ඉටිපන්දම් දල්වද්දී අපි අපේ චාම් පොල්තෙල් පහනක් දල්වා වෙසක් උත්සවේ සියලු හැඟීම් මෙලෙස අනුස්මරණය කළ හැකිය.

මෙවර වෙසක් උත්සවය අන් වෙසක් උත්සවවලටත් වඩා අනුස්මරණීය වන්නේ 1505 පසු කතෝලික හා බෞද්ධ යනුවෙන් බෙදී තිබුණු ආගමික මතවාද දෙකම මුස්ලිම් ත්‍රස්තවාදයත් සමඟ ඒකාත්මික වීම නිසාය. අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා මුස්ලිම්වරුන්ට එරෙහිව අත එසවීම නොකරන ලෙස කිතුනුවන්ට තරයේ අවවාද කළහ. 21 වනදා විපතත් සමඟ සිංහල බෞද්ධයෝ මීගමුව, කොළඹ ලේ බැංකු කරා යමින් විපතට පත් කිතුනුවන්ට ලේ පරිත්‍යාග කළෝය. ක්‍රිස්තු භක්තිකයෝ බොදුනුවන්ගේ ‍මේ බෝසත් සිරිත හැඬූ කඳුළින් නැරඹූහ. ලේ බැංකු බෞද්ධයන්ගේ රුධිරයෙන් පිරී ගියේය. මේ දිනවලත් මහනුවර, පේරාදෙණිය නගරවල දැවැන්ත පෝස්ටර් මඟින් කාදිනල් උතුමාණන්ට බෞද්ධයන්ගේ හරසර පූජ‍ාවෙමින් තිබේ. බෞද්ධයන් නැති දේශයක කිතුනු දහම ස්ථාපිත නොවන බව කාදිනල්තුමා මීට බොහෝ කලකට පෙර ප්‍රකාශ කර සිටියේය.

ගෙවී ගිය සති දෙක තුළ ඇතැම් මුස්ලිම් පල්ලි තුළත් මව්ලවීවරුන් ළඟත් කඩු, කිණිසි, මන්නා පිහි දැක දැකත් සිංහල බෞද්ධයෝ එකදු පල්ලියකටවත් ගලකින්වත් පහර නොදුන්නෝය. එබැවින් කිතුනුවන්ගේ ශරීරවල දිවෙන බෞද්ධයන්ගේ රුධිරය මහා දාන පාරමිතාවක් විය. එබැවින් බොදුනුවන්ට දාන ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ නැත.

මේ වෙසක් උළෙල මට සිහිපත් කළේ සස ජාතක කථාවයි. දුගී මහල්ලකුගේ සාගින්න වෙනුවෙන් බෝසත් සාවා ගිනිගොඩට පනින්නට වෑයම් කළේය. මෙම වෙසක් උළෙල අපට කියා දුන් වැදගත්ම ‍පාඩම වූයේ සාම්ප්‍රදායික නොවන යථාර්ථවාදී බුදු තෙමඟුල සැමරිය යුතු බවයි. බොදුනුවන්ගේ මෙම බෝසත් සිරිත කඳුළු පිරි දෑසින් අන්තර්ජාලයට මුදාහැරීමයි.

ඕනෑම කළු වළාවක රිදී රේඛාවක් ඇතැයි කතාවක් තිබේ. මුස්ලිම් ත්‍රස්තවාදීහු මට පෙනෙන ලෙස නම් අන්ද මන්ද වී සිටිති. මාවනැල්ල බුදුපිළිම කැඩූ පසු බෞද්ධයෝ සිද්ධිය පොලිසියටත්, අධිකරණයටත් භාරදී නිහඬ වූහ. එදා ද සිංහලයෝ එකදු මුස්ලිම් ජාතිකයකුටවත් ගලකින්වත් පහර නොදුන්නෝය.

මහා සිකුරාදාවක ජේසුස් වහන්සේ කුරුසයට තබා ඇණ ගසා ඝාතනය කළ පාස්කු සිකුරාදාව ගෙවී ගොස් තිබුණි. මුස්ලිම් ත්‍රස්තයෝ උන්වහන්සේ ඇණ ගසා මරා දැමූ මහා සිකුරාදාව ලංකාවේදී කළු ඉරිදාවක් බවට පත් කළෝය. මේ ප්‍රධාන ආගම් දෙකම ලෙයට ලෙයින් පළි නොගෙන දැක්වූ මිනිස්කම ගැන කිතුනුවන්ටත් බොදුනුවන්ටත් හිස නමා ආචාර කළ යුතුය. මුස්ලිම් ත්‍රස්තවාදයට මෙතෙක් බෞද්ධයා මුහුණ දුන් විලාසය බුදු දහමට එකඟය.

කිතුනු දහමටත් එකඟය. එක්තරා තැනක කළු පැහැති කුරුසයට සුදු පැහැති සළුවක් එල්ලා බොදුනුවන් අපේ දයාබර කිතුනුවන්ගේ ඛේදවාචකයට බොදු අවිහිංසාව පළකර තිබෙනු මම දුටුවෙමි.

රට පුරා කිතුනුවන්ගේ පල්ලි ඉරිදා යාච්ඤාව නවතා කළු ඉරිදාව නිවෙස්වලට වී සමරමින් අපටත් ආදර්ශයක් දුන්නේය. කිතුනුවන්ගේ යාච්ඤාවට අපේ පන්සල් පරිත්‍යාග කෙරිණි. ඇතැම් තැනක දේව පූජාවක් භික්ෂූන් වහන්සේගෙන් සිදුවිය. රටපුරා අපද නිවෙස්වලට වී සුදු පැහැයෙන් පමණක් යුත් වෙසක් පහනක් දල්වා වෙසක් උත්සවයක් පවත්වා අපේ අහිංසාවාදී බවත් මිනිස්කමත් ‍ලෝකයාට පෙන්වා දිය යුතුයි.

අහිංසක මුස්ලිම්වරු මේ දිනවල පල්ලිවල රැස්වෙමින් තම ආගමික කටයුතුවල යෙදෙති. හමුදාවක්, පොලිසියක් තිබුණත් නොතිබුණත් අපි අහිංසක මුස්ලිම්වරුන්ට කිසිවක් කළේ නැත. කිසිවක් කළ යුතුත් නැත. මුසල්මානුවා තුළ අප ඇතිකළ යුත්තේ කිතු දහමේත් බුදු දහමේත් මානව ප්‍රේමය පිළිබඳ ආකල්පයයි. සෑම වෙසක් පෝයකටම අපට ඇසුණු උපන්දා සිටම බොදුනුවකු නොවූ බොදුනුවකු වන මොහිදින් බෙග් ගේ හඬ මේ වෙසක් දවසේ නෑසී යනු ඇත. ඔහුගේ පුත් ඉෂාක් බෙග් මහතා කඳුළු සළමින් කියා සිටියේ තම පියාටත්, තමන්ටත් ජීවත්වීමට ආදායම් මඟක් කියා දුන් ශ්‍රී ලංකාවට මේ සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අන්දුන් කුන්දුන් වූ බවයි.

මේ වෙස‍ඟේ ඊළඟ වැදගත් ලක්ෂණය නම් වෙසක් උත්සවය වෙළඳාමෙන් ව්‍යාපාරවලින් ධනවතුන් බිහිකරන සංස්කෘතියට තිත තැබූ බවයි. යෝධ තොරණ තරඟකාරී දන්සල් මේ වෙස‍ඟේ දකින්නට නැත. මේ උත්සවයෙන් පාඩු වන්නේ ජාවාරම්කාර කෝටිපතියන්ට පමණි. එබැවින් සීලයත් ව්‍යාපාරයක් කරගත් අයටත් මෙතැන තර්ජනයක් තිබේ. ආදායම් බද්දෙන් නිදහස් වීමට දන්සල් දීමට සිටි වෙළෙන්දෝ අන්දුන් කුන්දුන් වී සිටිති.

මේ වෙසක් උත්සවය මම දකින්නේ විවිධ ආගම් කේන්ද්‍ර කරගත් කෝටිපති ව්‍යාපාරිකයන්ට සිදුවූ බරපතළ සමච්චලයක් ලෙසිනි. අපේ වෙසක් එක නැවතත් අපිට ලැබී තිබේ.

 

නව අදහස දක්වන්න