රන් රුවන් පරයන ප්‍රතිපත්තිගරුක බව | දිනමිණ

රන් රුවන් පරයන ප්‍රතිපත්තිගරුක බව

ආමිස පූජාව ගහක ඵලය මෙනි. ප්‍රතිපත්ති පූජාව ගහේ අරටුව වැනිය. ප්‍රතිපත්ති ගරුක අයකු වීමට නම් පළමුව ධර්මය පිළිගත යුතුය. දෙවනුව ඒ පිළිගත් ධර්මය පිළිපැදිය යුතුය. පිළිපදින්නේ නැතිව ප්‍රතිඵල ලබාගැනීමටත්, පිං පෙත් අනුමෝදන් කිරීමටත් නොහැකිය. ධර්මය පිළිගැනීම හෝ පිළි නොගැනීම එක් එක් පුද්ගලයන් අනුව සිදුවන්නකි. එය දැනුම අනුව සිදුවන සිතිවිලි මාත්‍රයකි. ධර්මය අවබෝධ කර ගැනීමට පිනක් හා නුවණක් තිබිය යුතුය. බුද්ධ යනු බුද්ධියයි. ධර්ම යනු න්‍යායයයි. සංඝයා යනු අනුගාමිකයායි. ධර්මය යනු කුමක්ද? සියලු සත්ත්වයන් වෙනුවෙන් මෛත්‍රී සහගතව ක්‍රියා කිරීමයි.

මල් පහන් පූජා කිරීම දානමානාදිය පිරිනැමීම ගිලනුන්ට උපස්ථාන කිරීම යනාදිය ආමිස පූජාවට වැටෙන දේවල්ය. ඒවා කළ යුතුය. ධර්මානුකූල ජීවිතයක් ප්‍රතිපත්ති ගරුකව ජීවත් නොවී හිත කියන කරන හැසිරීම් සීලයේ පිහිටා කටයුතු කිරීම ප්‍රතිපත්ති පූජාවයි. බුද්ධාගමත්, බුද්ධ ධර්මයත් අතර වෙනස අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ වෙසෙන බෞද්ධ ජනතාව පාරම්පරිකව හෝ සාම්ප්‍රදායිකව උරුම කරගෙන “බුද්ධාගම” යථා පරිදි අවබෝධ කර නොගෙන ප්‍රතිපත්තිගරුක සිල්වතෙකු බවට පත්වීම දුෂ්කරය. බෞද්ධ ප්‍රඥප්තිය යටතේ සිල්පද කඩන්නන් හට ප්‍රතිපත්ති පූජාවට පැමිණීම අතිශයින් දුෂ්කරය.

ප්‍රතිපත්තිගරුක නියම බෞද්ධ උපාසකයකු වීමට නම්, බුදුරජාණන් වහන්සේ විසින් අතහැර දමන්නටය කියා නිර්දේශකොට ඇති.“සීලබ්බත පරාමාස”යනු කවරේදැයි හඳුනාගත යුතුය. “සීලබ්බත පරාමාස” යනු අපගේ භව ගමන නොනැවතී ඇදගෙන යන සංයෝජන නම් වූ මහා බලවේග දහසක් අතර ප්‍රධාන එකකි. ගසක පෝෂණයට “මුල් පද්ධතිය” අත්‍යවශ්‍ය සාධකයකි. එසේම පෘථග්ජන මානසිකත්වයේ පෝෂණයට අත්‍යවශ්‍ය සාධක තුන නම් සීලබ්බත පරාමාස එක් සාධකයක් වන්නේය. මානසිකත්වය පෝෂණය කරන සාධක තුනේ පළමුවැන්න “සත් - කාය දිට්ඨි” යයි. දෙවැන්න නම් “විචිකිච්ඡා” වයි. තුන්වැන්න “සීලබ්බත පරාමාස” යන්නයි. ආමිස පූජාව තුළින් ප්‍රතිපත්ති පූජාවට පිවිසෙන්නට ඉහත සඳහන් කාරණා තුන එකට ගැටගැසී ක්‍රියාත්මක වන ආකාරය පළමුවෙන්ම අවබෝධ කරගත යුතුයි.

අපව ජීවත් කරවන ශරීරය සෑදී තිබෙන්නේ මොනවායින්ද? ශරීරය ක්‍රියා කරන්නේ කෙසේද? ජීවිතය ජීවත් කරවන්නේ මොනවායින්ද? මගේ කියන සිත වැඩ කරන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධයක් නිසි ලෙස නොලදහොත් අප තුළ සැකයක් පහළ වීම වළකාලන්නට නොහැකිය. ඉහතින් සඳහන් විචිකිච්ඡා කියන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව යනු නෙදැනුවත්කම හේතුකොටගෙන ඇතිවන සැක සහිත මානසිකත්වයයි.

සීලබ්බත පරාමාස යනු සක්කාය දිට්ඨිය ප්‍රකාශයට පත්වන විධියයි. සිත් - කාය දිට්ඨිය යනු ස්වාභාවික ඉන්ද්‍රීය පිනවීම්, සැප විඳීම් හැටියට හරවා ගැනීමට ඇති තණ්හා ආශා මඟින් මවාගන්නා පුද්ගල දෘෂ්ඨියක් පමණයි. මේ තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගන්නාතුරු ප්‍රතිපත්ති පූජාවට කිසිවකුට පැමිණිය නොහැකි බව ධර්මානුකූලව - පැහැදිලිව පෙනෙන්නකි.

ගිරවුන් සේ ගාථා කීමෙන් පමණක් මිනිස් ජීවිතය යහපතක් නොවන්නේය. අර්ථය අවබෝධ කරගෙන උතුම් ගුණාංග ජීවිතය හා බද්ධ කර ගනිමින් දිවිපෙවෙත ගෙන යන්නා ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙකි. පවක් - වැරදි ක්‍රියාවක් කිරීමට සිතේ හටගන්නා පිළිකුල් ගතිය, හිරිගතිය, ලැජ්ජාව මෙන්ම පාපී ක්‍රියාවෙන් සිදුවන ආදීනව ද වටහා ගැනීමට අප සමත් විය යුතුය.

ප්‍රතිපත්තිගරුක උසස් ඇත්තන් තුළ පවතින ශ්‍රේෂ්ඨ ගුණයකි ආත්ම ගෞරවය රැකගැනීම. ආත්ම ගෞරවය රැකගැනීමට නම් ලැජ්ජා, භය යන ගුණ ගැන සැලකිලිමත් විය යුතුය. මේ ගුණ රන් රුවන්වලටත් වඩා අගනා ආභරණ වන්නේ ප්‍රතිපත්තිගරුක සැදැහැවතාටය. ආමිස පූජාව තුළින් ප්‍රතිපත්ති පූජාවට පැමිණීමට නම් අප තුළ පිරිසිදු බවක් පළමුව ඇතිකරගත යුතුය. ප්‍රතිපත්තිගරුක පුද්ගලයා වරදෙහි නොබැඳී උසස් ශිෂ්ටාචාරයක් ඇතිකර ගනියි.

මේ සඳහා කළ යුතු ක්‍රියාමාර්ගයට පිවිසීමට සිත පිළිබඳ අවබෝධය ලබාගැනීමට උත්සුක විය යුතුය.

ප්‍රතිපත්ති පූජාවට පැමිණීමට අභිසමාචාර සීලය නමින් හඳුන්වන ආමිස පූජා හා වත්පිළිවෙත් මාලාව අවශ්‍ය වෙයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බෞද්ධකම පෝෂණය කරවන ජීව රුධිරය සද්ධාවයි. ඒ සද්ධාව පෝෂණය කිරීමට උපකාර වන්නේ ආමිස පූජාවයි. ඉතා බුද්ධිමත්ව ප්‍රතිපත්ති පූජාවට අවශ්‍ය වන පරිසරය ආමිස පූජාව තුළින් සකසාගත යුතුය.

ජීවන ගමනේ දී මුහුණපෑමට සිදුවන සියලුම ප්‍රශ්න - අර්බුද සහ අභියෝග ජය ගැනීමට සමත්වන ආධ්‍යාත්මික ශක්තියක් අප තුළ තිබීම ඉතා වැදගත්ය. සුළි සුළඟට කඩාවැටෙන්නේ එලය පමණ තිබෙන කෙසෙල්, පැපොල් වැනි ගස්ය. අරටුව ඇති ශක්තිමත් ගස් මාරුතයට ඔරොත්තු දෙන්නාක් මෙන් අපගේ ආධ්‍යාත්මික අංගය වැඩි ලෙස සකස් කරගත යුතුය. ආමිස පූජාවට පමණක් මුල් තැන දී ප්‍රතිපත්ති පූජාව නොසළකා හැරියහොත් බෞද්ධකමට - සදාචාරයට මනුස්සකමට හානි පැමිණීම වළකා ගැනීමට නොහැකිය.

පුද්ගල පෞරුෂය ශක්තිමත් කරවන ප්‍රතිපත්තියෙන් ඈත්වී, කල්‍යාණ මිත්‍ර සමාජයෙන් දුරස්ථ වී නොහොබිනා පාපකර්මයන්ට ගොදුරු වී සසර ගමන සුවපත් කර ගැනීමට කිසි දිනක නොහැකි වනු ඇත. ආමිස පූජාව පවා කුසල් ජනිත වන අයුරින් භාවනාවන් තුළින් චෛතසික ඒකාග්‍රතාව ඇතිවන අයුරින් අර්ථවත්ව, බුද්ධිමත්ව අභ්‍යාස කළ යුතු වන්නේය. පෙර වාසනාවට ලැබී ඇති බෞද්ධකමට අයාලේ යාමට ඉඩ ප්‍රස්ථා නොසදා මේ හේතුඵල ධර්මයට ම පමණක් ආවේණික වූ ආර්ය මාර්ගයට ඇතුළුවීමට උත්සුක වීම නියම බෞද්ධයාගේ කාර්යයයි.

ප්‍රථමයෙන්ම තෙරුවන් සරණ යමින් පන්සිල් පද පහ හරියට රකිමින් ත්‍රිවිධ අධි ශික්ෂාව වන සීල - සමාධි - ප්‍රඥා වැඩීමට උත්සාහ කිරීම ප්‍රතිපත්ති පූජාවයි. බුදුදහමට අනුව අප විසින් පිළිපැදිය යුතු කරුණු කාරණා අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමට දැඩි කැපවීමක් කිරීමට සිදුවෙයි. ප්‍රතිපත්තිගරුක නොවී උතුම් තලයට ළං වීමට හැකියාවක් නැත්තේය.

සීලයෙන් සිදුකරන්නේ කය, වචනය සංවර කර ගැනීමෙන් ආරක්ෂක වැටක් තනා ගැනීමයි. යහපත් පින්කම් කිරීමට පාදක වන්නේ ද සීලයයි. උතුම් ගමනට සුදුසු අලංකාර මෙන්ම උචිත ඇඳුම සිත, කය, වචනය සංවර කර ගැනීමයි. මේ සීලය වනාහි නිර්වාණ මාර්ගයට ඇතුළුවන දොරටුවයි. සිත පිරිසිදුව තබාගැනීමට අවශ්‍යම ප්‍රධාන දේ සීලයයි. කයට ව්‍යායාම අවශ්‍යයි. සිතට අවශ්‍ය ව්‍යායාමය භාවනාවයි. භාවනාව නමැති මල් වවන්නට නම් හිතේ ඇති වල් පැළෑටි නමැති අපිරිසිදු අදහස් ඉවත් කළ යුතුය. එය කළ හැක්කේ ප්‍රතිපත්තිගරුක සැදැහැති පිංවතාට පමණයි. පිරිසිදු අපිරිසිදු බව තම තමා වෙතමයි. කෙනකුට තවත් අයකුගේ සිත පිරිසිදු කිරීමට අවකාශයක් නොමැත. භාවනාව යනු වැඩීමකි. වැඩීමක් හෝ වීමක් නොවේ. කැලෑවේ මල් හටගනී. උද්‍යානයේ මල් වැවිය යුතුය.

සිත තරම් ප්‍රකට වන දෙයක් ලොව කොහේවත් නොමැත. බුද්ධාගමේ මුල් තැන දෙන්නේ සිතටය.

ආමිස පූජාව තුළින් ප්‍රතිපත්ති පූජාවට පිවිසීමට තම චිත්ත සන්තානයේ පවතින ලෝභ, ද්වේශ සහ මෝහ දුරුකර ගැනීම මෙන්ම මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා වර්ධන කරගත යුතුය. තථාගතයාණන් වහන්සේ, Òමාගේ ශ්‍රාවකයෙනි, මේ ලෝභ - දෝස - මෝහයෝ සිතෙහි ඉපිද සිත කිළිටි කරන්නා වූ කිළිටි ක්‍රියාවල යොදන්නා වූ සිතෙහි පවත්නා මළකඩයෝය. සිතෙහිම ඉපිද සත්ත්වයන්ට නොයෙක් දුක් උපදවන ඇතුළත සතුරෝය. සතුරුකම්, කරදර, විරුද්ධකාරයෝය යැයි වදාළ සේක.

රටක් ජාතියක් සඳහායි.
ජාතියක් ආගමක් සඳහායි.
ආගමක් ප්‍රතිපත්තියක් සඳහායි.

නව අදහස දක්වන්න